UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව සංඝනායක පදවියේ සන්නස් පත්‍ර ලද උඩුගම විමලකිත්ති නා හිමි

හොරේතුඩුව පුරාණ සංඝිකාරාමය අඟුලාන සමන්පුර ශ්‍රී ඥානවිමල බෞද්ධ මධ්‍යස්ථානය, ගොරකාන පුරාණ කන්දෙ විහාරය, වත්තල්පල සිරිනිවාසාරාමය යන සිව් මහා විහාරාධිපති පානදුර උතුර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සභාපති, ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නා හිමියන්ට ‘‘සද්ධර්ම කීර්ති ශ්‍රී විමලතිස්ස’’ යන ගෞරව නාමය සහිත මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රයිගම්,හේවාගම්, පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 25 වනදා සිදු කිරීම නිමිත්තෙනි.

නව නා හිමි සසුන් මෙහෙවර

දකුණු පළාතේ ගඟබඩ පත්තුවේ උඩුගම ග්‍රාමය ගිංගඟ කොමලියගෙන් හැඩවුණු සුන්දර ගම් පියසකි. ගිරි ශිඛර වලින් කෙත්වතු වලින් සශ්‍රීක ගමකි. ගාල්ල නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මෙම රමණීය ගම් පියසේ අතිශය සම්භාවනීය පරපුරක් ලෙස ජයසුන්දර පරපුර හැඳින්විය හැකිය. ජාගොඩගේ ග්‍රෙගරි ජයසුන්දර මහතාද පනන්ගල ලියනගේ් නිමල්හාමි ජයසුන්දර මහත්මියද ආගම දහමට ඉතා ලැදි දැහැමි ජීවිත ගත කරමින් කාලය ගත කෙරිණි. කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගතකළ මේ දෙමාපියන් ගොවිතැන් බතට මුල්තැන දෙමින් සිය ජීවිකාව ගත කළේය.

මේ දෙමාපියන්ට දාව ඉපදුණු දූ පුතුන් අතර සසුනට ගැලපෙන පුත් රුවනක්ද විය. කුඩා කල සිටම අධ්‍යාපනයට වගේම ආගම දහමටද මනා රුචියක් එම පින්වත් කුමරා සතු විය. සහෝදර සහෝදරියන් සය දෙනෙකුගෙන් යුත් පවුලේ සිව්වැන්නා වූ එම කුමරා ජාගොඩගේ යසරත්න විය.


මල්වතු මහ නා හිමි සුරතින් ශ්‍රී සන්නස් පත්‍ර ලබමින් ...

එම කුමරා දුටු ශාස්ත්‍රවේදී ලබුගම විමලතිස්ස නාහිමියන් ඒ වන විට සේවය කළේ උඩුගම මහා විද්‍යාලයේය. අපවත් වී වදාළ ගාලු කෝරළයේ ප්‍රධාන සංඝනායක විශ්ව කීර්ති නෙළුවේ ශ්‍රී ගුණානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විහාරස්ථානය වූ ගාල්ල උඩුගම ශ්‍රී ශාසනාලංකාරාමයේ රැඳී සිටිමින් ලබුගම නාහිමියන් අධ්‍යාපනික සේවය උඩුගම මහා විද්‍යාලයේ සිදුකොට ඇත. නෙළුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට අතිශය භක්තිවත් වූ ජයසුන්දර පවුලෙන් මේ කුමරා සසුන්ගත කරලීමට ලබුගම නාහිමියන්ට සහාය ලැබුණි.

1964 පෙබරවාරි 14 වැනිදින මොරටුව හොරේතුඩුව පුරාණ සංඝිකාරාම විහාරස්ථානයේදී එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපකුලපති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාරාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ වෙතින් පැවිදි බව ලැබීය. කුඩා සාමණේර අවදියේ සිටම මනා හික්මීමකින් සිප්සතර හැදෑරීය. ගිහිකළ මූලික අධ්‍යාපනය ලැබුයේ ගාල්ල උඩුගම මධ්‍ය මහා විද්‍යාලයෙන්ය. උඩුගම විමලකිත්ති සාමණේරයන් වහන්සේ ලබුගම විමලතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1965 පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුලත් කරවීය. තවද විද්‍යාලංකාර පිරිවෙනේ ප්‍රථම නේවාසික සාමණේරනම වීමද විශේෂ සිදුවීමකි. විද්‍යාලංකාර පරිවේණාධිපති කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිඨක වාගීශ්වරාචාර්ය ධුරන්දර සාහිත්‍ය චක්‍රවර්තී ආචාර්ය වැලමිටියාවේ කුසලධම්මාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු ආචාර්ය මණ්ඩලයෙන් අධ්‍යාපනය ලැබීය. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, එම විශ්ව විද්‍යාලයෙන්ම 1989 වසරේදී ශාස්ත්‍රපති උපාධියද ලබාගත්හ.

මේ අතර ඉහළ අධ්‍යාපන සුදුසුකම් වලින් සම්පූර්ණ වූ උන්වහන්සේ 1968 ජුනි 07 වනදින ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මංගල උපෝසථාගාරයේ දී උපසම්පදාව ලැබීය. මොරටුව හොරේතුඩුව පුරාණ සංඝිකාරාමය අඟුලාන සමන්පුර ශ්‍රී ඥාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය යන උභය විතාරාධිපති විමලකීර්ති ශ්‍රී ඤාණවිමල රයිගම් හේවාගම් පස්යොදුන් තුන්කෝරළයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී ලබුගම විමලතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වූ උඩුගම විමලකිත්ති හිමියන් සිය අධ්‍යාපන කටයුතු නිමවා මුල්ම ගුරු පත්වීම හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල විහාරන්දෙණියේ මහා විදුහලෙහි ගුරු තනතුරු ලැබීය. එහි කලක් සේවය කළ උන්වහන්සේ සිය දහස් ගණනකගේ ගුරුවරයෙකු පමණක් නොව කල්‍යාණ හිතවතෙකුද විය. ඉන්පසු බෙලිඅත්ත පල්ලත්තර මහා විද්‍යාලයේ සේවයට අනුයුක්ත විය. එහිද කලක් සේවය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම මධ්‍යමහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් සේවය කළේය. සිය ගුරු ජීවිතයේ පරිණතභාවය සහ මනා කළමනාකාරීත්වයකින් හෙබි පාලන ශක්තියක් උන්වහන්සේ සතු වූ නිසා කොළොඹ දිස්ත්‍රික්කයේ මොරටුව ජනජය විදුහලේ විදුහල්පති ධූරයට පත්විය. ජනජය විද්‍යාලය දියුණු කිරීම සඳහා උන්වහන්සේ කළ සේවය අපමණය. උන්වහන්සේ පාසලෙහිම රැඳෙමින් දරුවන්ගේ දැනුම මෙන්ම අධ්‍යාත්මික ගුණධර්ම ප්‍රගුණ කිරීම සඳහා වැඩසටහන් රැසක්ද ක්‍රියා කළහ. අනතුරුව ගුරු උපදේශකවරයෙකු ලෙස අධ්‍යාපන සේවයෙහි උත්කෘෂ්ට සේවාවක් විශ්‍රාම යනතුරුම සිදු කළහ. උන්වහන්සේ අධ්‍යාපනික වශයෙන් විශාල මෙහෙවරක් දශක තුනකට අධික කාලයක් සිදු කළහ.

වසර 30කට අධික කාලයක් අප මාතෘ භූ®මිය රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් වෙලා ගිය අවධියේ උතුරේ ත්‍රස්තවාදී අරගලයේ උච්චතම අවස්ථාවේදී කිහිපවරක් උතුරට වැඩම කරන ලදී. වරක් පොලිස්පති රාජගුරු මහතා සමග පලෙයි පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වූ උන්වහන්සේ තවත් අවස්ථාවකදී කිලාලි හමුදා කඳවුරට වැඩමකර සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා යුදබිමේ සිටි විරෝදාර රණ විරුවන්ට ආශිර්වාද පවත්වන ලදී. සංඝිකාරාමය කේන්ද්‍රකොට ගෙන ජාතික ආගමික සේවාවන් රැසක් උන්වහන්සේට සිදු කිරීමට සිදුවූයේ විහාරාධිපති ලබුගම විමලතිස්සාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමත් සමගය.

සිය පැවිදි සහෝදර භික්ෂූන් වහන්සේලා සමග පුරාණ සාංඝිකාරාමය කේන්ද්‍ර කොටගත් අඟුලාන සමන්පුර ඥාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය, ගොරකාන පුරාණ කන්දේ විහාරය, වත්තල්පල සිරිනිවාසාරාමය යන විහාරස්ථාන තුළින් ලෝක ශාසනයට අති විශාල මෙහෙයක් ඉටු කරති. හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමයේ ශ්‍රී ඥණවිමල දහම්පාසල, ඉංගී‍්‍රසි දහම් පාසලද, ඥාණවිමල පදනම, තරුණ බෞද්ධ සංගම්, මරණාධාර සමිති මගින් සුවිශාල මෙහෙයක් ඉටු කරති. අඟුලාන සමන්පුර ඥාණවිමල බෞද්ධ මධ්‍යස්ථානයේද උන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉදිවෙන තෙමහල් ගොඩනැගිල්ලද මේවනවිට ඉදිවෙමින් පවතී. එහි දහම් පාසල, ඉංගී‍්‍රසි පීඨය පරිගණක පහසුකම් දේශනශාලා වලින් සමන්විත කිරීම යෝජිත වැඩ පිළිවෙළ වෙයි. ගොරකාන පුරාණ කන්දෙ විහාරස්ථානයද කළුතර දිස්ත්‍රික්කයේ පෞරාණිකම විහාරස්ථානයයි. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණය සතුව පවතී. එම ඓතිහාසික පින්බිමේද සංවර්ධන කටයුතු රැසක් ආරම්භ කෙට ඇත. වත්තල්පල සිරිනිවාසාරාමයද උන්වහන්සේට හිමි වූ තවත් විහාරස්ථානයකි. දෙමහල් සංඝාවාසයකින් හා අනෙකුත් විහාරාරාංගවලින් සමන්විත එම පින්බිමද ප්‍රදේශයේ සිය දහස් ගණන් ජනතාවගේ පැහැදීමට සහ වන්දනාමානත්වයට පත්ව ඇත.

සිය ගුරුදේවපාදෝත්තමයාණන් වහන්සේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ රයිගම් හේවාගම් පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය ‘සද්ධර්මකීර්ති ශ්‍රී විමලතිස්ස යන ගෞරව නාම සම්මාන සම්මුතිය සහිතව මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර’ ප්‍රමුඛ වින්සත්සානුනායක කාරක සංඝසභාව මගින් ඉකුත් නොවැම්බර් 28 වන දින මල්වතු විහාරීය මංගල උපෝසථාගාරයේදී ප්‍රදානය කෙරුණි. නොවැම්බර් 28 වන දින මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ සානුනායක කාරක සංඝසභාව මගින් ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කළේ ශ්‍යාමෝපාලික වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්බර සුරතිනි.

රාජ්‍යතාන්ත්‍රික උත්සවය දෙසැම්බර් 25 වන දින සවස 3 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය. එදින මුලසුන දරන්නේ ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අනුනායක ධුරන්දර නියංගොඩ ශ්‍රී විජිතසිරිභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේය. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මැතිතුමන් විශේෂ ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණීමට නියමිතය. මෙම උත්තරීතර අවස්ථාවට මැතිඇමැතිතුමන්ලා ඇතුළු විදෙස් ආරාධිතයින් රැසක් ද සහභාගිවීමට නියමිතය. අභිනව සංඝනායක පදවියෙන් පිදුම් ලබන, හොරේතුඩුව පුරාණ සාංඝිකාරාමය, අඟුලාන සමන්පුර ශ්‍රී ඥාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය ගොරකාන පුරාණ කන්දේ විහාරය, වත්තල්පල සිරිනිවාසාරාමය යන සිව්මහා විහාරාධිපති, සමස්ත ලංකා සාමවිනිසුරු පානදුර උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති රයිගම් හේවාගම් පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක උඩුගම විමලකිත්ති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින් දළදා සමිඳු පිහිටෙන් නිදුක්ව නිරෝගීව ශාසනික සේවය ඉදිරියට ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා.


මහා විහාර සම්ප්‍රදායට මැනවින් ගරු කරන හිමි නමක්

ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති ස්ථවිරයන් අපේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් දැන උගත් ශික්‍ෂාකාමී, මහා විහාර සම්ප්‍රදායන් මැනවින් ගරු කරන නායක ස්ථවිර නමකි. මොරටුව හොරේතුඩුව පුරාණ සංඝිකාරාමය , පානදුර වත්තල්පොළ සිරිනිවාසාරාමය, පානදුර ගොරකාන පුරාණ කන්දේවිහාරය, අඟුලාන ශි‍්‍ර ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය යන විහාරයන් හි අධිපති ධුරය දරමින්, මෙම ස්ථවිරයන් එම විහාරස්ථානයන් හි අභිවෘද්ධිය සහ මනා පැවැත්ම උදෙසා සිදු කර ඇති සේවාව ප්‍රශංසනීය වේ.

ලංකාවේ ප්‍රමුඛපෙළේ අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල යන්ගෙන් ස්වකීය අධ්‍යාපනය සාර්ථක ලෙස නිම කරන ලද මෙකී නායක ස්ථවිරයන්ගේ සේවය, ගුරුවරයෙකු සහ විදුහල්පතිවරයෙකු වශයෙන් විශාල සිසු දරු දැරි පිරිසකගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට උපස්ථම්භක වී ඇති අතර, ජාතික, ආගමික හා සංස්කෘතික කටයුතු වලදී කරන ලද සේවාව වත්මන් සමාජයට මාහැඟි ආදර්ශයක් වන බවට විශ්වාස කරමු.

මේ පිළිබඳව ප්‍රසාදයට පත් අප මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාව මගින් “ සද්ධර්ම කීර්ති ශ්‍රී විමලතිස්ස “ යන ගෞරව නාමය සහිතව රයිගම් හේවාගම් පස්යොදුන් කෝරළත්‍රයේ ප්‍රධාන සංඝනායක පදවිය උඩුගම විමලකිත්ති නායක ස්ථවිරයන් වහන්සේ වෙත පත් කරන්නට යෙදුණි. ඒ නිමිති කරගෙන අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහයක් එළිදැක්වීමට කටයුතු යොදා තිබීම ද බෙහෙවින් අගය කළ යුතු කරුණකි. අනාගතයේදී ප්‍රශස්ත ආගමික ,ජාතික සහ සමාජයීය සේවාවන් ඉෂ්ඨ සිද්ධ කිරීම සඳහා උඩුගම සද්ධර්ම කීර්ති ශ්‍රී විමලතිස්ස විමලකිත්ත්‍යාභිධාන රයිගම් හේවාගම් පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් හා සිරි දළදා සමිඳු පිහිටෙන් ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධවේවායි ආශිංසනය කරම්හ.


අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂ මෙහෙයක් කළා

මොරටුව ,හොරේතුඩුව , පුරාණ සාංඝිකාරාමය , කෙසෙල්වත්ත ගොරකාන කන්දේ විහාරය, පානදුර වත්තල්පොල සිරි නිවාසාරාමය, මොරටුව , අඟුලාන ශ්‍රී ඤාණවිමල බෞද්ධ මධ්‍යස්ථානය යන සිව් මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී විමලතිස්ස ශාස්ත්‍රපති ගෞරවාර්හ උඩුගම විමලකිත්ති නායක ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ විංසද් කාරක සංඝ සභාව මගින් රයිගම්, හේවාගම්, පස්යොදුන් තුන් කොරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ අතිශයින් සතුටට පත්වෙමි.

දකුණු පළාතේ ගාලු කෝරළයේ ජන්ම ලාභය ලැබූ උන් වහන්සේ වර්ෂ 1964 දී ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් වූහ.

පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධි ලබා ගත්හ.

දශක තුනකට වැඩි කාලයක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වූ උන් වහන්සේ දක්ෂ විදුහල්පතිවරයෙකු වශයෙන්, සුවිශේෂී සේවාවක් ඉටු කළහ. විහාරස්ථාන කිහිපයක අධිපතීත්වය දරමින් මහජනතාව වෙනුවෙන් උදාර මෙහෙවරක් ඉටු කරන උන් වහන්සේ , දූ දරුවන්ගේ ධර්ම ඥානය වර්ධනය සඳහා දහම් පාසල් රැසක් ආරම්භ කර ඇත.

උන් වහන්සේගේ සුවිශේෂී මෙහෙයන් අගය කිරීම් වස් රයිගම්, හේවාගම්, පස්යොදුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම අතිශයින් කාලෝචිත ක්‍රියාවකි. ලැබූ අභිනව තනතුරත් සමග උන්වහන්සේට තම සේවාවන් පුළුල්ව ඉටු කිරීමට හැකිවනු ඇතැයි මා හුදෙක්ම විශ්වාස කරමි. ගෞරවාර්හ උඩුගම විමලකිත්ති නායක ස්වාමින් වහන්සේට, නිදුක් නිරෝගී සුවයත්, දීර්ඝායුෂත් ලැබේවා!යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


ශාසනික සේවයට නව තනතුර උපහාරයකි

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව විසින් පුරාණ සංඝිකාරාමය, සිරිනිවාසාරාමය, පුරාණ කන්දේ විහාරය සහ ශ්‍රී ඤානවිමල මධ්‍යස්ථානය යන විහාරයන් හි විහාරාධිපති ධුරන්දර ශාස්ත්‍රපති පූජ්‍ය උඩුගම විමලකිත්ති ස්වාමින්ද්‍රයාණන් වහන්සේ වෙත රයිගම, හේවාගම, පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම, අප නා හිමියන් බෞද්ධ ශාසනයටත් සංඝ සමාජයටත් කරන අනවරතන ශාසනික සේවාවට කළ ගෞරව පූජෝපහාරයකි.

දකුණු පළාතේ ගාලු කෝළරයේ ගඟබඩපත්තුවේ උඩුගම ග්‍රාමයේදී ජන්ම ලාභය ලබා ප්‍රකට පඩිරුවනක් වූ කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නාහිමියන් වෙතින් පැවිදි දිවියට ඇතුළත්ව බෞද්ධ භික්ෂුවක් ලැබිය යුතු සියලු අධ්‍යාපන දැනුමෙන් පරිපූර්ණත්වය ලත් විමලකිත්ති හිමියෝ තමා ලද දැනුම පරාර්ථයෙහිම යෙදවීම අරමුණු කරගෙන ගුරු සේවාවට අවතීර්ණව පුරා වසර තිහක් සිසු නැණ පහන් දැල්වූහ.

ශ්‍රී ලංකාවත් සිංහල ජාතියත් ව්‍යසනයට පත්ව සිටි පසුගිය කාලයේදී ඊට එරෙහිව නියම බුද්ධ පුත්‍රයෙකු වශයෙන් උතුරු නැගෙනහිර පළාත්වල උන්වහන්සේ කළ ශාසනික, සමාජීය සේවාව අගය කළ යුතුය.

බුදු දහමට අනුකූ®ලවම ධර්ම ප්‍රචාරයේ නියැළෙන විමලකිත්ති නාහිමියෝ බුද්ධ ධර්මයෙන් පිරි සමාජයක් බිහිකරනු වස් දහම් පාසල් රැසක් ආරම්භ කර ඇත.

රයිගම, හේවාගම, පස්යොදුන් තුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියට පත් පූජ්‍ය උඩුගම විමලකිත්ති නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තව තවත් ශාසනික සේවාවන්හි නිරත වීමට බුද්ධ රත්නයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි.

 

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]