UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කොළඹ විශ්ව විද්‍යාලයේ බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත දර්ශනපති, - උඩුහාවර ආනන්ද හිමි අපරාධ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව බරපතල අපරාධ වශයෙන් නීතිය මගින් පිළිගන්නා ජීවිත විනාශය, සොරකම, ස්ත්‍රී දූෂණය හා බොරුකීම යන සතරවිධ කර්ම ක්ලේෂයන්ට මූලික පදනම වන්නේ සුරා පානයයි. සුරා පානයෙන් මත් වී මුළාවට පත්වන පුද්ගලයා අතින් මෙකී වැරැදි සතරම සිදු වන්නට අවස්ථාව තිබේ.(අ.නි.5 රාජ සුත්ත)

බෞද්ධ සදාචාර දර්ශනය යටතේ ගෘහස්ථයාට නිර්දේශිත නිත්‍ය ශීලය වශයෙන් පංච ශීලය හඳුන්වා දී තිබේ. පංච ශීලයට අමතරව උපෝසථ දිනයන්හි ඔහු විසින් උපෝසථ ශීලයට අයත් අෂ්ඨාංග, නවංග, දශාංග යන ශිලයන්හි හික්මිය යුතු වේ. උපෝසථ දිනයන් හි සමාදන්වන ශීලය මගින් කාමභෝගී ජීවිතයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කෙරේ. මෙහිදී අපගේ අවධානය යොමු කෙරෙන්නේ පංචශීලය යටතේ් දැක්වෙන පස්වන ශික්ෂාපදය කෙරෙහිය. එය කඩ කිරීමෙන් සිදු වී තිබෙන හා සිදුවෙමින් පවතින පුද්ගල හා සමාජ හානිය පිළිබඳ සෑම පුද්ගලයෙකුටම ප්‍රමාණවත් අවබෝධයක් තිබෙන බැවින් ඒ පිළිබඳව විවරණය කිරීමට අපේක්ෂා නොකෙරේ. මෙම ලිපියෙන් අදහස් කරන්නේ සුරා පානය පිළිබඳ ධර්මානුකූ®ල විවරණයක් ඉදිරිපත් කිරීම කෙරෙහිය.

ධර්මය පිළිබඳ මනා දැනුමක් නොමැති බොහෝ දෙනෙකු තුළ මෙම ශික්ෂා පදය සම්බන්ධයෙන් පවතින්නේ සාවද්‍ය මතයකි. එහි දැක්වෙන වචනාර්ථ විග්‍රහයට අනුව එයින් ඉදිරිපත් කෙරෙන්නේ මදයට (මජ්ජ) ප්‍රමාදයට (පමාද) හේතුවන (ඨාන) සුරාමේරය පානයෙන් වැළකිනවා’ යන්නයි. ඒ අනුව මදයට හා ප්‍රමාදයට හේතුවන සුරාපානයෙන් වැළකිය යුතුය යනු එහි අදහසයි. නමුත් ඇතමෙක් මෙය වැරදි ආකාරයෙන් අර්ථ දක්වමින් ප්‍රකාශ කරන්නේ ‘මදයට හා ප්‍රමාදයට හේතුවන අයුරින් සුරාපානය නොකළයුතු බවයි’ වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් ‘ මද පමණින් බීවාට වරදක් නැත’ යන්නෙන් අරුත් ගන්වති. මෙවැනි අර්ථයක් එම ශික්ෂා පදයෙහි ඇතුළත් වන්නේ නැත. සුරාව මදක් පානය කළත් බහුලව පානය කළත් එයින් මත් වීමක් සිදුවේ. එවැනි පුද්ගලයෝ ධර්මය විකෘති කිරීමෙන් තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවන් ඉටු කරගන්නා අතර ධර්මයට හානි කිරීමකුත් පාප කර්මයකුත් සිදුකර ගනී. සුරාපානය අයත් වන්නේ පංච දුශ්චරිතයටයි. ගිහියාගේ නිත්‍ය ශීලය වශයෙන් දැක්වෙන පංච ශීලයේ අවසාන ශික්ෂා පදය එයට අයත් වේ. එසේම ගිහියා විසින් ආරක්ෂා කළයුතු වූ උපෝසථ අෂ්ඨාංග ශීලයටත් උපෝසථ දශ ශීලයටත් එය අයත් වේ. මේ නිසා සුරාපානයෙන් වැළකීම ගිහි ෂනය සම්බන්ධයෙන් ප්‍රධාන කරුණක් වශයෙන් සැළකිය හැකිය.

සුරා පානය ප්‍රධාන කරුණක් වශයෙන්ම අයත් වන්නේ ආර්ය මාර්ගයේ පදනම වන ශීලයටයි. විමුක්ති මාර්ගය ශීල, සමාධි, ප්‍රඥා යනුවෙන් කොටස් තුනකින් යුක්ත වේ. සුරාපානයෙන් වැළකී සිටින අයෙකුටත් මනා සිහිය පවත්වා ගතහැකි වන්නේ කොතරම් අපහසුවකින්ද? සුරාපානයෙහි නිරත පුද්ගලයෙකුට එම සිහිය පවත්වා ගැනීමට හැකියාවක් තිබේද? දුශිල්වත් වීමේ ආදීනව පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. එනම්

* ප්‍රමාදය නිසා ධනය විනාශ වීම (භෝග ජානි නිගච්ඡති)
* පවිටු කීර්තියක් ඇතිවීම හෙවත් නරක අයෙකු යැයි ප්‍රසිද්ධ වීම
* සමාජ පිළිගැනීමක් නොමැතිවීම (අවිසාරදො)
* මුලාවට පත්වීම
* මරණින් පසුව නිරයෙහි ඉපදීම (අ.නි. 5 - ශීල සුත්ත)

මෙම කරුණු සුරාව හා සම්බන්ධ කළවිට ඔබට පහසුවෙන් වටහා ගත හැකිය. එහි නිරත වන පුද්ගලයාට මෙකී අලාභ හා පාඩු පහම සිදුවන බව නුවණැති කවර අයෙකුට වුවත් පහසුවෙන් වටහා ගත හැකිවේ. අපරාධ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව බරපතල අපරාධ වශයෙන් නීතිය මගින් පිළිගන්නා ජීවිත විනාශය, සොරකම, ස්ත්‍රී දූෂණය හා බොරුකීම යන සතරවිධ කර්මක්ලේෂයන්ට මූලික පදනම වන්නේ සුරා පානයයි. සුරා පානයෙන් මත් වී මුළාවට පත්වන පුද්ගලයා අතින් මෙකී වැරැදි සතරම සිදුවෙන්නට අවස්ථාව තිබේ. (අ.නි.5 රාජ සුත්ත) දිනපතා වාර්තාවන විවිධ අපරාධ ඉතා සියුම්ලෙස විවරණය කළ විට තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ මෙම දේශනාවෙහි වටිනාකම හොඳින්ම පැහැදිලි වෙයි. ධර්මය කියවන ඔබට එම ධර්ම කරුණු ප්‍රායෝගික ජීවිතයත් සමග එකට ගලපාගත්විට මැනවින් වටහාගන්නට පුළුවන. සුරාව නිසා පුද්ගලයාගේ් සමාජ ජීවිතය මෙන්ම මානසික ස්වභාවයද පිරිහීමට පත්වන බවත් මෙලොව හා පරලොව ජීවිතය අඳුරුවන බවත් පැහැදිලිය. සුරාව හේතුවෙන් පුද්ගලයා ධනයෙන් කීර්තියෙන් යසසින් හා ශීලයෙන් ද පිරිහීමට පත්වන නිසා ඔහුට මෙලොව හා පරලොව වශයෙන් මහත් දුකකට පත්වන්නට සිදුවන බව බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව පැහැදිලි වේ.

සුරාපානය නිසා ඇතිවන තවත් ආදීනව සතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ (අ. නි. 5 - වේර සුත්ත) එනම්

* මෙලොව වශයෙන් භය හා වෛරය ඇතිකරයි (දිට්ඨධම්මිකම්පි භයං වේරං පසවති)
* පරලොව වශයෙන් භය හා වෛරය ඇතිකරයි (සම්පරායිකං භයං වේරං පසවති)
* මානසික වශයෙන් දුකට හා වේදනාවට පත්කරයි (චේතසිකම්පි දුක්ඛං දොමනස්සං පටි සංවේදෙති)

සුරාපානය හේතුවෙන් තමන් විසින් සිදුකරන ලද විවිධ පාප කර්ම නිසා මෙලොව වශයෙන් පුද්ගලයා බියට මෙන්ම වෛරයෙන් යුක්ත අයෙක් බවට පත්වේ. එසේම තමන් විසින්ම වෛරක්කාරයන් ඇති කර ගනී. මෙලොව වශයෙන් වැරදි ජීවිතයක් ගත කිරීම නිසා ඔහුට පරලොව වශයෙනුත් දුකට හා වේදනාවට පත්විමට සිදුවේ. වැරදි බහුල ජීවිතයක් ගතකිරීම හේතුවෙන් නිතරම මානසික අසහනයෙන් යුක්ත වේ. මෙම මානසික වියවුල් බව නිසා පුද්ගලයා නැවත නැවතත් සුරාවට ලොල් වේ. එයින් සිදුවන්නේ අවුල් සහගත මානසික තත්ත්වය තවතවත් අවුලෙන් අවුලට පත්වීමයි. මානසික අවුල් සහගත තත්ත්වය නිසා යෝනිසෝමනසිකාරය හෙවත් නුවණින් යුක්තව කටයුතු කිරීමේ හැකියාව නොමැති වේ. මනස සියල්ලට මුල්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (ධම්මපදය) අවුල් සහගත මනස නිසා සිත තව තවත් නීවරණ ධර්මවලින් කිලිටි බවට පත්වේ. මෙනිසා සුරාව කෙරෙහි තවදුරටත් ආශාව වර්ධනය (කාමච්ඡන්ද/ දිව පිනවීමේ ආශාව/ මානසික අවුල්සහගත බවට පවතින කැමැත්ත) සුරාව ද්වේශයට හෙවත් කෝපයට හේතුවන නිසා වධක චේතනාව හෙවත් අනුන් විනාශ කිරීමේ කැමැත්ත ඇතිවේ. (ව්‍යාපාද) සුරාපානය නිසා කායික හා මානසික වශයෙන් ඇතිවන්නේ පසු බැසීමකි.

සිත හා කයෙහි පවතින ක්‍රියාශීලි බව සුරාව හේතුවෙන් විනාශයට පත්වේ. එනිසා කයින් හා මනසින් පසුබසින අයෙක් බවට පත්වේ. (ථීනමිද්ධ) සුරාවෙහි ආදීනව වශයෙන් මානසික වශයෙන් නොසන්සුන් බවට පත්වේ. (උද්ධච්ච) එසේම දීර්ඝ කාලයක් සුරාවෙහි යෙදීම හේතුවෙන් නිතරම සිතේ් පසුතැවිල්ල ඇතිවේ. සුරාවට ලොල්වීම නිසා තමන්ගෙන් ඉටුවිය යුතුකම් මගහැරේ. මේ හේතුවෙන් අවසානයේ මහත් පසුතැවිල්ලකට පත්වේ. (කුක්කුච්ච) තමන් විසින් ජීවිත කාලයක් තිස්සේ සුරාව හේතුවෙන් නොයෙකුත් වැරදි කළ නිසාත් කුශලයක් හෝ පුණ්‍ය කර්මයක් නොකළ නිසාත් මරණින් පසු තත්ත්වය පිළිබඳ පවතින්නේ් මහත් සැකයකි. මෙම සැකයද මානසික අසහනයට හේතුවක් (විචිකිච්ඡා) වේ. මෙකී නීවරණ ස්වභාවයන් නිසා නිතරම පුද්ගලයා කුශල මාර්ගයෙන් හා පුණ්‍ය මාර්ගයෙන් ඉවතට ඇද දමා තවදුරටත් පාපකාරී මාවතකට ඇද දමනු ලැබේ.

සුරාපානය නිසා පුද්ගලයෙකුගේ විශාරදත්වයට හා පෞරුෂයට මහත් හානියක් සිදුවේ. සෑම පුද්ගලයෙකුට ආත්ම ගරුත්වයක් පවතී. එය විනාශ වුවහොත් සමාජ පිළිගැනීම ගිලිහී යයි.

සුරාව නිපදවන්නාත් එය පානය කරන්නාත් දෙදෙනාටම සසර නොයෙකුත් දුක් වේදනා විඳින්න සිදුවේ. උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන මෙසේ දුකට හා වේදනාවට පත්වන්නේ අනුවණකම නිසා නොවේද? පංච ශීලය නිත්‍ය වශයෙන්ම ආරක්ෂා කරන පුද්ගලයාට තමන් නිරය, පේ‍්‍රත, තිරච්ඡාන, අපාය ආදී දුගතිවලින් නිදහස් වූ පුද්ගලයෙක්ය යනුවෙන් ස්ථාවර නිගමනයකට එළඹෙන්න හැකියාවක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (අ.නි. ගිහි සුත්ත) ඒ අනුව පංචශීලය සුරකින පුද්ගලයෙකුට වර්තමාන ජීවිතයේම තමන් සසර දුගතීන්ගෙන් නිදහස් වූ අයෙක්ය යනුවෙන් සහතිකයක් ලබාගත හැකි නම් එය මොනතරම් වාසනාවක්ද? එහෙත් එම වාසනාව උදාකරගෙන තිබෙන්නේ අප අතරින් කීදෙනෙක්ද?

වර්තමානයේ සුරාව පානය කිරීම නිසා පවුල් ජීවිතය මොනතරම් අඳුරට පත් වී තිබෙනවද? යම් පවුලක ස්වාමියා මෙන්ම බිරිඳත් සුරාවට ලොල්ව වාසය කරන්නේ නම් සුරා පානයෙහි නිරතවන්නේ නම් එම පවුල මළ මිනී දෙකක් එකට වාසය කිරීමක් වශයෙන් දක්වා තිබේ. (ඡවො ඡවාය සද්ධිං විහරති අ.නි. 4 පඨම සංවාස සුත්ත) මළ මිනී දෙකක් එකම නිවසක තිබෙන්නට සැළසුවහොත් ඇතිවෙන තත්ත්වය කුමක්දැයි අමුතුවෙන් පැහැදිලි කළයුතු නොවේ. ස්වාමියාත් බිරිඳත් යන දෙදෙනාම මතට ලොල්ව වාසය කරන්නේ නම් එම නිවස අමුසොහොනක් වශයෙන් හඳුන්වන්න පුළුවන.

එසේම ස්වාමියාත් බිරිඳත් යන දෙදෙනාම පන්සිල් සුරකින්නේනම් එම නිවස දෙවියෙක් හා දේවතාවියක් වාසය කරන ස්ථානයක් වශයෙන් දක්වා තිබේ. (දෙවො දෙවියා සද්ධිං විහරති) නිවස දෙව් විමනක් බවට පත්කර ගැනීමට සුරාවෙන් තොරවීම හේතුවන බව පැහැදිලියි.

කාන්තාවගේ ආධිපත්‍ය හා බලය වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූයේ ශීලයයි. එය බිදගත් කාන්තාවකට කුමන බලයක්ද? එවැනි කාන්තාවක් වාසය කරන පාලනය කරන නිවසත් ආයතනයත් මුළුමනින්ම විනාශ වන බව පරාභව සූත්‍රයේ දැක්වේ. වර්තමානයේ සමහරවිට කාන්තාව සුරාවට ලොල්වීම නිසා ඇයගෙන් බ්‍රහ්ම ගුණ ( මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා) ගිලිහී ගොස් පරිහානියට පත්වී තිබේ.

බොහෝ දෙනෙක් හිතන්නේ කලාතුරකින් සුරාව ටිකක් ගත්තට කමක් නැහැ කියලයි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාපය කුඩා යැයි අවම කොට නොසැළකිය යුතු බවයි. (මා අප්පමඤ්ඤෙත පාපස්ස - ධම්මපද) කුඩා ජල බිංදු එකතු වී කලයක් පිරෙන්නාක් මෙන් කුඩා පව් එකතු වී අවසානයේ පව් ගොඩක් බවට පත්වන බව දේශනා කළහ. ඇතැම් විට දානයට බණට පිරිතට මෙන්ම මළ ගෙදරටත් සුරාව යොදා ගැනීම නිසා පින්කමක වටිනාකම කොතරම්දුරට විනාශ කරගෙන තිබෙනවාද?

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමනුත් සුරාව පානය කරමින් අන් අයත් එයට එකතුකර ගන්නා පුද්ගලයා අසත්පුරුෂතර අයෙකු බවයි. (අ.නි 4 සප්පුරිස වග්ග) මෙවැනි අසත්පුරුෂතර පුද්ගලයන් සමාජයේ කොතෙකුත් දකින්න පුළුවන.

අන් අයට සුරාවෙන් සංග්‍රහ කරන පාපතර පුද්ගලයන් සංවිධානය කරන එවැනි උපන්දින උත්සව මංගල උත්සව හා වෙනත් සාද මෙන්ම පින්කම් ද කොතෙකුත් දක්නට ලැබේ. ඔබ නුවැණැති බෞද්ධයෙකු නම් තිසරණයෙහි ස්ථිරව පිහිටි අයෙකු නම් එවැනි අවස්ථාවලට සහභාගී වූවත් පහතට නොවැටී සෘජුව කටයුතු කිරීමට වගබලා ගත යුතුවේ.

මොලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතයත් අඳුරු කරගත් පුද්ගලයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ කරුණු දේශනා කළහ. ඒ අනුව සුරා පානයෙහි නිරත පුද්ගලයා දෙලොව පිරිහුණු අයෙකු වශයෙන් දක්වා තිබේ. (අ.නි. 4 සික්ඛාපද සුත්ත) ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි පුද්ගලයෙකු පිරිහීමට පත්වන කරුණු වශයෙන් ස්ත්‍රීන් කෙරෙහි ලොල්වීම සුරාව කෙරෙහි ලොල්වීම පාප මිත්‍ර සේවනය හා සූදුවට ලොල් වීම ආදිය දැක්වේ. (අ.නි. 8 ව්‍යඝ්ගපජ්ජ සුත්ත) පුද්ගලයා දෙලොවින් පරිහානියට පත්කරන සුරාව එයින් එකක්. එහෙත් සුරාව සම්බන්ධයෙන් සලකන විට සෙසු කරුණු තුනටද එය පදනම් වන බව පැහැදිලියි.

සුරාවෙන් වළකින පුද්ගලයා කරුණු තුනකින් සමාජයට අභය, අවෛරය හා මෛත්‍රිය දානය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (අ.නි.8 පුඤ්ඤාභිසන්ද සුත්ත) ඒ අනුව සුරාවෙන් තොර පුද්ගලයා තමන් චතුර්විධ දුශ්චරිතයන්ගෙන් වැළකින අතර මුළු මහත් සමාජයටම තමන්ගෙන් කිසිවෙකුටත් බයක් වෛරයක් හා විනාශයක් කිසිසේත්ම සිදුනොවන බවට සහතිකයක් ලබාදෙයි.

මෙම අගනා සහතිකය සමාජයේ සිටින සියලුම සාමාජිකයන්ට දෙන්නට හැකිනම් එය මොනතරම් සුන්දර සමාජයක් වේද? පවුලක සිටින ස්වාමියාට, බිරිඳට, මවට, පියාට, දරුවන්ට තම පවුලේ එකිනෙකාට එම සහතිකය ලබාදෙන්න හැකි නම් එම පවුල කොතරම් වාසනාවන්ත එකක්ද? මුළු ලෝකයම බියෙන් ඛ්ා වේදනාවෙන් මෙන්ම වෛරයෙන් අසහනයට පත්ව තිබෙන්නේ මෙකී පංච දුශ්චරිතයේම නිරතවන්නන් නිසා නොවේද? අඩුම තරමින් තමන් නිසා කිසිවෙකුටත් අයහපතක් සිදුවන්නේ නැතැයි හිතන්න හැකිනම් එය උසස්ම මෛත්‍රිය පැතිරවීමයි.

සුරාව පානය කිරීම නිසා පුද්ගලයාට මරණින් පසුව මුහුණ දෙන්නට සිදුවන ආදීනව පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපායසංවත්තනික සූත්‍රයෙහි දක්වා තිබේ. ඒ අනුව සුරාපානයෙහි නිරත පුද්ගලයා මරණින් පසුව

* නිරය, තිරච්ඡාන, පේ‍්‍රත යන තුනෙන් එකක උපත ලබයි.

* මනුෂ්‍යයෙකු වුවහොත් උන්මත්තකයෙකු බවට පත්වෙයි (මනුස්සභූතො උන්මත්තක සංවත්තනිකොහොති)

මෙය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් කරුණු පැහැදිලි කළ යුතුය. සුරාව චතුර්විධ දුශ්චරිත හා සම්බන්ධවන නිසා එය සාමාන්‍ය වශයෙන් ඔබට වටහා ගන්න පුළුවන. බුදුරජාණන් වහන්සේ ගිහියාගේ ප්‍රතිපදාව දක්වමින් මෙසේ දේශනා කළහ.

‘ගිහිතෙම සුරාවෙන් වළකින්නේ ය. යම් ගිහියෙක් සුරාපානයෙන් වැලකීමට කැමති වන්නේ ද ඔහු එය උන්මාදය ඇති කරන්නක් බව දැන එයින් තමන්ද වළකින්නේය අන් අයද වළක්වා ගන්නේය’.

‘සුරා මදය හේතුවෙන් අනුවණ පුද්ගලයා පව් කරයි. අන් අයත් ප්‍රමාදයට පත්කරයි. පරලොවදී උමතු බවට හේතුවන මෙලොවදී පුද්ගලයා මුලාවට පත්කරන සුරාපානය මෝඩයන්ගේ සිත්ගත් ක්‍රියාවකි. (මෝඩයන්ගේ කාර්යකි) එබැවින් නුවණැති ගිහියා එයින් මුළුමණින්ම වැළකෙන්නේය (සුත්නිපාත ධම්මික සුත්ත)

බුදුරජාණන් වහන්සේගේ මෙම අවවාදය පිළිපදින සැබෑ බෞද්ධයන් ලොව ඉතාමත් දුර්ලභය. බෞද්ධ යැයි කියාගන්නා බොහෝ දෙනෙක් මෙම පාප කර්මයෙහි තවදුරටත් යෙදෙන අතර එය සාධාරණය කරනු පිණිස නොයෙකුත් කරුණු ඉදිරිපත් කරති. ඒ අය එම ශික්ෂාපදයෙහි අර්ථ විකෘති කරමින් වරද සිදුකරන අතර ධර්මයටත් හානියක් සිදු කරති. මංගල සූත්‍රයේ දැක්වෙන ‘මජ්ජපානාච සංයමො’ යන වචන විකෘති කරමින් මද්‍යපානයෙහි සංවරවීම යනුවෙන් අදහස් ඉදිරිපත් කරති.

තවදුරටත් ඔවුන් ප්‍රකාශ කරන්නේ ටිකක් පානය කළාට වරදක් නැති බවයි. වැළකීම යන අර්ථය දෙන එම වචනයට වැරදි අර්ථ දක්වමින් පාප කර්මයේ නිරත වෙති. බුදුරජාණන් වහන්සේ පාපය හෝ අකුශල මුළුමනින්ම දුරුකරන්න මිසක් ටිකක් දුරු කරන්න කියා දේශනා කර ;නාමැත.

(සබ්බ පාපාස්ස අකරණං) ධම්මපදයේ දැක්වෙන ආකාරයට යම් කෙනෙක් සුරාපානයේ නිරත වන්නේ නම් ඔහු විසින් මෙලෝ පරලොව දෙකෙදීම තමන්ම තමන්ගේ වළ කපාගන්නා පුද්ගලයකු වන බව දේශනා කළහ.

(මූලං ඛනති අත්තනො) එබැවින් නුවණැති පුද්ගලයෙකු වශයෙන් සුරාපානය මගින් තමන්ගේ අභිවෘද්ධිය විනාශ කර ගැනීමෙන් වළකින්නට කල්පනා කළ යුතුවේ.

පංචශීලය ආරක්ෂා කරන ගෘහස්ථ පුද්ගලයා සිල්වතෙක් බවට පත්වේ. (මහනාම සුත්ත) පංචශීලය ආරක්ෂා කරමින් ඔහුට මෙම ගිහි ජීවිතයේදීම (පැවිදි නොවී) දැහැමින් අඹුදරුවන් පෝෂණය කරමින් සකෘර්දාගාමි අවස්ථාවට පත්වීමට හැකිබව ධර්මයේ දැක්වේ. (මිගසාලා සුත්ත) එබැවින් දෙලොව දියුණුව නසන සුරාවෙන් වැළකී එම උතුම් ආර්ය ප්‍රතිපදාව වැඩීමට අධිෂ්ඨාන කරගැනීම වැදගත් වේ.

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]