UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුන් වහන්සේ සන්නිවේදනය ලබන ඇතැම් අයගේ මානසික තත්ත්වය තේරුම් ගෙන දෘෂ්‍යමය උපක්‍රම මගින් දහම් අවබෝධයට සුදුසු තත්ත්වයට ඒ අය පත් කළහ. ප්‍රායෝගික ක්‍රම භාවිතා කර දහම සන්නිවේදනය කළ තවත් අවස්ථාවක් ලෙස, නන්ද තෙරුන්ට ධර්මාවබෝධය ලබා දීම සැලකිය හැකි ය. තුන් මාසයක් තුළදී ගාථාවක් කටපාඩම් කිරීමට අසමත් වූ චුල්ල පන්ථක තෙරුන්ට, ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි ප්‍රායෝගික ක්‍රමයක් පෙන්වූ බුදුන් වහන්සේ, සත් හැවිරිදි රාහුල සාමණේරයන්ට දහම සන්නිවේදනය කළේ ජලය සහිත බඳුනක් උපමාවට යොදා ගැනීමෙනි.

සමාජ අවශ්‍යතාවක් ලෙස සලකනු ලබන සන්නිවේදනය මගින් සිදුවන්නේ එක් අයකුගේ ආකල්ප හා අදහස් තවත් අයකුට දැන්වීමයි. හැම මිනිසකුම තමා වසන සමාජ පරිසරය තුළ තම පෞරුෂය වර්ධනය කර ගන්නා අතරම, සමාජයේ පවතින සියලු සංස්කෘතික හා සමාජ කටයුතු මෙන්ම එකිනෙකා අතර පවත්නා සමාජ බැඳීම් වලින් පැවත එයි. සමාජයේ ජීවත්වන අපගේ අපේක්‍ෂා ඉටුවීම හා සතුට එකී සමාජ බන්ධන මත රඳා පවතිනු ඇත. මේ සියලු සබඳතා ඇති වන්නේ, සන්නිවේදනය හේතු කොට ගෙනය.

අපේ අදහස් තවත් කෙනකුට දන්වනු ලබන්නේ කථා කිරීම, ලිවීම, අංග චලනය ආදියෙනි. සන්නිවේදනයේ ප්‍රධාන ඒකක වූ එම ක්‍රියාකාරකම් මගින් අතීතයේ හා වර්තමානයේ අත්දැකීම් අනාගතය කරා ගෙන යෑම මෙන්ම සිතිවිලි ප්‍රවාහනය ද සිදු වෙයි. ප්‍රමාණවත් අයුරෙන් සිය අදහස් අන් අයට දැන්වීමට නොහැකි නම්, මිනිසාට සමාජයේ ජීවත් වීමේ දී අවශ්‍ය ප්‍රතිඵල ලබාගත හැකි නොවෙයි. සමාජයේ ජීවත්වන වැඩිහිටි අය, බාල පරපුරේ ඉදිරි පැවැත්ම සඳහා වැදගත් අදහස් ආකල්ප ආදිය සන්නිවේදනය නොකරත් නම්, සමාජය පරිහානියට පත්වෙයි. පුද්ගලයා හා සමාජය අතර පණිවිඩ හුවමාරුවට උපකාරී වන සන්නිවේදනය, මූලික අවශ්‍යතාවක් ලෙස අර්ථ දැක්විය හැකි ය.

යම් අදහසක් සන්නිවේදනය කිරීම සාර්ථක වූවක් ලෙස ගැනෙන්නේ, එම අදහස ප්‍රකාශ කරන්නා සිතූ අර්ථයම එය ලබන්නා විසින් අවබෝධ කර ගැනීම සිදුවුවහොත් පමණි. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු වලදී ද මේ අරමුණු බෙහෙවින් අවධාරණය කර ඇත. යසකුල පුතු ඇතුළු යහළුවන් පනස් හතර දෙනා ද පැවිදි කොට ප්‍රථම රහත් හැටනම අමතා කළ ප්‍රකාශයේ ඉතා වැදගත් සන්නිවේදන ක්‍රමයක් අන්තර්ගතව ඇත. ඒ අනුව වැඩි පිරිසකට පණිවිඩය ලබාදීම සඳහා දෙදෙනකු එක මඟ නොයන ලෙස උපදෙස් දීමත්, දහම තේරුම් ගැනීමට හැකිවන ආකාරයට අර්ථ සහිතව ව්‍යඤ්ජන සහිතව ධර්මය දේශනා කිරීමට උපදෙස් දීමත් ඉතා වැදගත් ය.

ඉන් අනතුරුව තුන් බෑ ජටිලයන්, භද්ද වග්ගිය කුමාරවරුන් පැවිදි කරවමින් අර්හත් තත්ත්වයට පත් කළහ.

ඒ හැම දෙනාම ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයෙහි යෙදවූහ. බුදුන් වහන්සේගේ සන්නිවේදන ක්‍රියාවලිය සාධක හතරක් මත සිදු විය. අත්ථජ්ඣාස (තම සිතැගි අනුව) පරජ්ඩාස (අන් අයගේ ආරාධනයෙන් ) පුච්ඡාවසික (ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්) අට්ට්‍රප්පත්තික

සුනාථ (අසව්) ධාරෙථ (වටහා ගනිව්) චරාථ (ඒ අනුව හැසිරෙව්) යන උපදෙස් ලබා දී තමන් සන්නිවේදනය කළ පණිවිඩයේ ඵලය අසන්නාට ලබා දීමට උත්සුක වූ බව පෙනෙයි. පිරිනිවන් මඤ්චකයේ දී පවා සුභද්ද නමැති භික්‍ෂුවට සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දුන්හ.

තමන් වෙත ඉදිරිපත් වන ප්‍රශ්න විසඳීමේ ක්‍රම හතරක් බුදුන් වහන්සේ භාවිතා කළහ. එකංස ව්‍යාකරණීය, (එක එල්ලේම විසඳන ප්‍රශ්න) විභජ්ජ ව්‍යාකරණීය (බෙදා වෙන්කොට විසඳන ප්‍රශ්න) පටිපූච්ඡා ව්‍යාකරණීය (ප්‍රශ්න ඇසීම මගින් විසඳන ප්‍රශ්න) ඨපනීය (පිළිතුරු නොදුන් ප්‍රශ්න) යනුවෙනි. විශේෂයෙන් පුද්ගල මනෝභාව දැන ගැනීමේ හැකියාව ඇති ඉන්ද්‍රිය පරොපරියත්ත ඤාණය හා ආසයානුසය ඤාණය බුදුන් වහන්සේට ධර්ම දේශනා ක්‍රියාවලියේ දී වැදගත් විය. බුදුන් වහන්සේ සන්නිවේදන ක්‍රියාවලියේ දී යොදා ගත් මාධ්‍ය හා භාෂාව ද ඉතා වැදගත් ය.

පුද්ගලයන් පිළිබඳ මනාව වටහා ගැනීමේ හැකියාව තිබූ බැවින්, බුදුහිමියෝ ඒ ඒ පුද්ගලයා හික්මවීම පිණිස නොයෙක් ශිල්පීය ක්‍රම උපයෝගී කොට ගත්හ. අංගුලිමාල නම් දරුණු මිනීමරුවා දමනය කොට අර්හත් ඵලයට පත් කිරීමට ක්‍රියා කළහ. සිය සැමියාගේ හා දරුවන්ගේ මරණය නිසා සංවේගයට පත්ව පිස්සියක මෝ කටයුතු කළ පටාචාරාවට ජීවිත අවබෝධය ලබා දුන්හ. කිසාගෝතමියට දහම් දෙසා ඇයගේ දුක නිවීමට බුදුරදුන් ක්‍රියා කළ ආකාරය ඉතා විශිෂ්ටය.

බිම්බිසාර රජුගේ බිසවක වූ ඛේමා රූපයෙන් අගතැන්පත්ව මානයෙන් සිටියා ය. එහෙත් අවසානයේ දී බුදුන් වෙත යවන ලද ඇයට බුදුන් වහන්සේ දහම සන්නිවේදනය කළේ රූපය ප්‍රමාණ කරගත් කෙනෙකුට රූපය පිළිබඳ අවශ්‍ය අවබෝධය ලැබෙන අයුරිනි. ඇයට රූපයේ අනිත්‍යතාව පෙන්වමින්, නිවැරැදි මාර්ගයට ගැනීමට උන්වහන්සේ දහම් දෙසූහ.

සන්නිවේදනය ලබන ඇතැම් අයගේ මානසික තත්ත්වය තේරුම් ගෙන දෘෂ්‍යමය උපක්‍රම මගින් දහම් අවබෝධයට සුදුසු තත්ත්වයට ඒ අය පත් කළහ. බුදුන් වහන්සේ ප්‍රායෝගික ක්‍රම භාවිතා කර දහම සන්නිවේදනය කළ තවත් අවස්ථාවක් ලෙස, නන්ද තෙරුන්ට ධර්මාවබෝධය ලබා දීම සැලකිය හැකි ය.

තුන් මාසයක් තුළදී ගාථාවක් කටපාඩම් කිරීමට අසමත් වූ චුල්ල පන්ථක තෙරුන්ට, ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි ප්‍රායෝගික ක්‍රමයක් පෙන්වූ බුදුන් වහන්සේ, සත් හැවිරිදි රාහුල සාමණේරයන්ට දහම සන්නිවේදනය කළේ ජලය සහිත බඳුනක් උපමාවට යොදා ගැනීමෙනි. පුබ්බෙසු අනනුස්සුතෙසු ධම්මේසු (කලින් නො අසන ලද) දහමක් දේශනා කළ බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු ද, එම දහම සන්නිවේදනය කිරීම සඳහා ගිහි පැවිදි දෙපක්‍ෂය විසින් මහත් වෙහෙසක් දරන ලදී. ශ්‍රී ලංකාවට ද ඒ උතුම් දහම ලැබීම, බුදුරදුන්ගෙන් පසු සිදුවූ ශාසනික සන්නිවේදන මෙහෙවරෙහි, වැදගත් ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය.

බක් පුර අටවක පෝය අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 9.7 ට ලබයි. 3 වන දා සිකුරාදා පූර්ව භාග 7.3 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 2 වන දා බ්‍රහස්පතින්දාය. මීළඟ පෝය අපේ‍්‍රල් 9 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

Second Quarterඅව අටවක

අප්‍රේල් 17

New Moonඅමාවක

අපේ‍්‍රල් 24

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]