UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුරුතු මහිම

‘දුරුත්ත’ යන්න භෞගෝලීය වශයෙන් හා ඓතිහාසික වශයෙන් යැයි ප්‍රධාන ලෙස දෙයාකාරයකට අර්ථ නිරූපණය කළ හැකි වචනයකි. භෞගෝ. ලීය වශයෙන් බලන කල ශ්‍රී ලංකාවට ඉතා දුරින් ඉර ගමන් කරන්නේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මැද භාගයේ සිට ජනවාරි මැද භාගය දක්වා කාල සීමාවට ගැනෙන දුරුත්තේදි නොහොත් දුරුතු මාසයේදීය. දුරුතු මාසය ශ්‍රී ලංකාවට ශීත ඍතුවක් වන්නේ මෙසේ සුර්යයා ඉතා දුරින් ගමන් ගන්නා නිසාය. දෙසැම්බර් 22 දා ඉර ගමන් කරන්නේ ශ්‍රී ලංකාවට අංශක තිහක පමණ දුරින්ද නිරක්‍ෂ රේඛාවට අංශක 23 1/2 ක් දකුණින්ද පිහිටි මකර නිවර්තනයට ලම්භාකාරව ඕස්ටේ‍්‍රලියාව හරහාය.

පුරාවෘත්තගත ඓතිහාසික වාර්තා අනුව බුදු හිමියන් ප්‍රථම වර සිරිලක් බිමට වැඩම කර සිරිලක් බිමින් අධර්ම බලය දුරුකර ශ්‍රී සද්ධර්ම බලය ස්ථාපිත කළේ බුද්ධත්වයෙන් නව මාසයකට පසු උදා වූ දුරුතු පුරපසළොස්වක පොහෝ දිනකය. ශ්‍රී සද්ධර්ම බලයෙන් අධර්ම බලය දුරු වන්නේ පහනක් දැල් වූ කල ඒ අවට ඝනාන්ධකාරය දුරුවන්නාසේ ය.

ඒ අනුව දුරුත්ත යනු ශ්‍රී සද්ධර්මාලෝකයේ බලයෙන් මෝහාන්ධකාරය දුරුකළ මාසයකි. දුර යන විශේෂණය හා ඍතු යන සංස්කෘත වචනයෙන් නිපන් උතු යන නාමය එක් වූ කල නිපදවෙන්නේ දුර + උතු නොහොත් දුරුතු යන නාම පදය යි. ඉන් ලැබෙන්නේ දුරු කළ ඍතුව නොහොත් කාලසීමාව යන තේරුම යි. මේ කාල සීමාව තුළ මොහාන්ධාකාරය දුරුවුයේ සද්ධර්මාලෝකයෙනි. භෞතික විද්‍යාව අනුව ආලෝකය යනු භෞතික ශක්ති ප්‍රවාහයකි. එහෙත් අඳුර යනු භෞතික වශයෙන් ගත හැකි ශක්ති විශේෂයක් නොවේ. අඳුර යනු ආලෝකය මෙන් ඇති දෙයක් නොවේ. ඇති දෙයක් ලෙස පෙනෙන මායාවකි. අප අඳුර යැයි කියන්නේ ආලෝකය නැතිකමට නොහොත් විශ්වය පුරා අනන්තව පැතිරෙන ආලෝකය කිසිවකට මුවාවීමෙන් නැති වී යෑමට ය. ඒ අනුව අඳුර යනු, ආලෝක ශක්තියෙන් තොර වූ තැනක ඇතිවන ස්වභාවයයි. අපට අඳුර දැනෙන්නේ භෞතික වස්තුවකින් ආලෝකය ආවරණය වු විට ය. මෝහය යනු මානසික වශයෙන් සත්‍යය වසන් කරගෙන මනසට වැටෙන අඳුරු සෙවණැල්ලකි. එසේ සිත තුළට මොහඳුරු සෙවණැල්ල වැටෙන්නේ තෘෂ්ණා පාදක ආත්ම දෘෂ්ටියේ අඳුරු සෙවණැල්ලක් ලෙසය. ඒ අනුව මොහදුර යනු ආත්ම දෘෂ්ටියේ සෙවණැල්ලයි. එනම් මමය මාගේය යන ආත්ම දෘෂ්ටියෙන් අගතිගාමීව සිත අඳුරු වු ඇත්ත ඇති සැටියේ නොපෙනී යාමය. ආලෝකෝ උදපාදී යනුවෙන් බුදු වදනෙහි සඳහන් පරිදි ප්‍රඥාලෝකය උදාවන්නේ මෝහාන්ධකාරය මවන ආත්ම දෘෂ්ටිය මුළුමනින්ම දුරු වූ විටය. එම නිසා මෝහාන්ධකාරය දුරු වු තැන උදාවන්නේ ප්‍රඥාවේ ආලෝකයයි. එවිට සිදු වන්නේ මෝහාන්ධකාරයෙන් වැසී තිබුණු ඇත්ත. ඇති සැටියෙන් පෙනී යෑම යි.

භෞතික වස්තුවක අඳුරු සෙවණැල්ලක් නොවැටෙන තැනක දහවල් කල ඇත්තේ ආලෝකය යි. අඳුර පමණක් ඇත්තේ ආලෝකය ඇතුළු භෞතික වස්තූ®න් සියල්ලම උරාගෙන ගිල ගන්නා “බ්ලැක්හෝල්” නම් දැවැන්ත අන්ධකාර ආගාධ වල යි. එහෙත් ඒ අඳුරු ආගාධය පුපුරා ගිය විට දස අත පැතිරෙන්නේ ආලෝකය යි. තාරකා සහ සූර්ය මණ්ඩල ලෙස දිස්වන්නේ එසේ පැතිරෙන ආලෝකයන් කැටිකරගත් දැවැන්ත වස්තු සම්භාරයයි. එයින් පෙනී යන්නේ ආලෝකය ඇත්තේ අඳුර තුළම බව ය. ඒ අනුව ප්‍රඥාලෝකය ඇත්තේ ද මෝහාන්ධකාරය ඇති සිත තුළ මය. මෝහාන්ධකාරය දුරු වු විට දිස්වන්නේ එම ප්‍රඥා ආලෝකයයි. එය සිදුවන්නේ භෞතික අන්ධකාරය දුරු වු විට භෞතික ආලෝකය උදාවන්නා සේ ය.

නිවන් දුටුවකුගේ ගත ලෙඩ විය හැකි වුවත් සිත තුළ මතු වී ඇති පරම නිවන් සුවය එයින් නැති නොවේ. අපේ ගත සිත දෙක බොහෝ විට ලෙඩ වන්නේ සද්ධර්මාලෝකය දුරු වී අධර්මාන්ධකාරය බිහි වූ විටය. වෙන ලෙසකින් කියතොත් ගත ලෙඩ වන්නේ කෙළෙස් මළ නිසා ඇතිවන අඳුරින් සිත ලෙඩ වූ විටයි. පාරම්පරික ඇදහිලි අනුව ගත සිත ලෙඩ කරන කෙළෙස් මළ යක්‍ෂ පේ‍්‍රත භූ®ත පිශාචාදි අමනුස්සයින් ලෙස මූර්තිමත් වී ඇත. බුද්ධත්වයේ දී පරදවන ලද ක්ලේශ මාරයන්ද ජීවමාන මාරසේනාවක් ලෙස මූර්තිමත් වී ඇත. බුදු හිමියන් බුද්ධත්වයෙන් නව මාසයකට පසු දුරුතු පුන් පොහෝදා සිරිලක මහියංගනයට වැඩි ගමනේදී බුදු බණ අසා සිරිලක ආදිවාසින්ගේ සිත් තුළ කෙළෙස් මළ දුරුවීම ක්ලේශ මාරයන් පරාජය කළ බුද්ධ බලයෙන් යක්‍ෂයන් දුරු කිරීමක් ලෙස පැරණි පුරාවෘත්ත වලදි ජීවමාන ලෙස මූර්තිමත්ව ඇත. එසේ යක්‍ෂයන් දුරු කළ මාසය දුරු ඉරුතුව නොහොත් දුරුත්ත ලෙස හැඳින්වේ. ධර්ම බලයෙන් අධර්ම බලය දුරුකර සිත් සතන් සුවපත් කිරීම නොහොත් සද්ධර්මාලෝකයෙන් අසද්ධර්මාන්ධකාරය දුරු කිරීම පුරාවෘත්ත මගින් කියැවෙන්නේ බුදු හිමියන් සිරිලක් බිමට අරක්ගෙන සිටි යක්‍ෂයන්ව සිය සද්ධර්ම බලයෙන් ගිරිදිවයිනට පලවා හැරිය ලෙස ජීවමාන ස්වරූපයකින් මූර්තිමත් කරමිනි. අපේ ගත ලෙඩ කරන යකුන් වන්නේ කිපුණු වා,පිත්, සෙම් දෝසයි. අපේ සිත ලෙඩ කරන යක්‍ෂන් වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ යන ක්ලේශ මූලයි. අප තුළ අරක්ගෙන සිටින යකුන් ලෙස හැඳින්විය හැකි වන්නේ මෝහාන්ධකාරය තුළ අරක්ගෙන සිටින ලෝභ ද්වේෂ ඊර්ෂ්‍යා ක්‍රෝධාදී ක්ලේශ ධර්මයි. අපට ඒ යකුන් දුරු කරගත හැක්කේ අප තුළින්ම සද්ධර්මාලෝකය අවදි කර ගැනීමෙනි. සද්ධර්මාලෝකයෙන් මෝහාන්ධකාරය දුරුවු විට මෝහ පාදක ලෝභය හා ද්වේෂයද දුරුවේ. එවිට ලෝභ, දෝස, මෝහ යන අකුසල මූල වෙනුවට අලෝභ අදෝස, අමෝහ යන කුසල මූල මතු වෙයි

දුරුතු පුන් පොහෝ දිනක බුදු හිමියන් අතින් සිදු වුයේ මනුස්ස ස්වරූපයෙන් හැසිරුණු අමනුස්සයින් වැනි වූ ආදි කාලීන සිරිලක් වැස්සන් මනුස්ස ස්වරූපයෙන් හැසිරෙන මනුස්සකම ඇත්තන් බවට පත් කිරීම ය. සුමන සමන් දෙවියන් යනු එසේ මනුස්සකම අවදි වී දේවත්වයට පත් අමනුස්සයෙකි අපට අපගේ ශාරීරික රෝග මෙන්ම අපගේ චෛතසික ක්ලේශ දෝෂ නමැති මානසික රෝගද දුරුකරගත හැකිවන්නේ, ඒ දෝෂ අවදිවන විට අවදියෙන් සිටීමෙනි. නරක ඍතුව යන තේරුම දෙන දුරුත්ත අපගේ ශාරිරික හා මානසික දෝෂ ස්වභාවිකව අවදි කරන මාසයක් නිසා දුරුත්ත යනු ක්ලේශ ධර්ම දුරුකර ගැනීමට අවදියෙන් සිටිය යුතු මාසයකි.

සියලු ක්ලේශ ධර්මයන්ට මුල් වන්නේ කාම නමැති චිත්ත කාන්දම් ශක්තියයි. ඒ කාම ශක්තියෙන් මූලිකවම කෙරෙන්නේ භෞතික වූ ශරීරයට අයත් පංචේන්ද්‍රය මගින් පංචකාම සම්පත් විඳීමේ ආශාව ඇති කරන කාම තණ්හාව මතුකිරීමයි. සියලු සත්වයන්ගේ ජීවිත පරම්පරාව පවතින්නේ මෙම කාම තණ්හා වේ බලයෙනි. එසේම සියලු සත්වයන්ගේ සංසාර ගමන මෙහෙයවන බලය කාම තණ්හා ව යි.

භව යන්නෙහි තේරුම ‘සිදුවීම’ යන්න නිසා භව තණ්හාව යනු තමා කැමැති ආකාරයේ කාම වස්තු ලැබීම නමැති සිදුවීමට ඇති ආශාවය. විභව යන්නෙහි තේරුම සිදු නොවීම යන්න නිසා විභව තණ්හා යනු තමා අකැමැති කාම වස්තු නොලැබීම යන නො සිදුවීමට ඇති ආශාව ය. මේ භව තණ්හා වෙන් කෙරෙන්නේ කැමැති දේ සිතෙන් ඇදී ම ය. විභව තණ්හාව යනු අකැමැති දේ සිතෙන් තල්ලු කිරිම ය. මෙසේ ඇදීම නමැති ආකර්ශණයත්, තල්ලු කිරීම යන විකර්ශණයත් සිදුවන්නේ කාම නමැති චිත්ත කාන්දම් බලයේ ධන හා ඍණ ශක්තියෙනි.අපේ සියලු දුක් කරදරවලට මුල මෙසේ කැමැත්තට හා අකැමැත්තට මුල්වන තණ්හාව බව ය.. දුරුත්තේ සීතලය සිත තුළ සැඟවී සිටි කාම තණ්හා නමැති යක්‍ෂයන් සිත තුළින් මතුව එළියට එන නිසා දුරුත්ත එම යක්‍ෂයින් එළියට එන විට අල්ලා දුරු කරලීමට සුදුසු ඍතුවක් නොහොත් කාල වකවානුවකි.

දුරුතු පුර පසළොස්වක

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 10 වනදා සෙනසුරාදා අපර භාග 12.39 ට ලබයි.
11 වනදා ඉරිදා පූර්ව භාග 8.59 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජනවාරි 10 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජනවාරි 18 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

Second Quarterඅව අටවක

ජනවරි 18

New Moonඅමාවක

පෙබරවාරි 02

පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]