UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත දොස් දුරලන නිවාත ගුණය

නමො තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
කතමෙ චාවුසො දොවචස්සකරණා ධම්මා?
ඉධාවුසො භික්ඛු පාපිච්ඡො හොති
පාපිකානං ඉච්ඡානං විසං ගතො
යම්පායවුසො භික්ඛ පාපිච්ඡො හොති
පාපිකානං ඉච්ඡානං වසං ගතො
අයම්පිධම්මො දොවචස්සක රණොති
අනුමාන සූත්‍රය - මජ්ඣිම නිකාය

පින්වත්නි,

අද බිනර පුර පසළොස්වක පොහොය දවසයි. තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශීතව මජ්ඣිම නිකායට සංගෘහිතව ඇති මෙම අනුමාන සූත්‍රය නූතන සමාජයට බෙහෙවින් වැදගත් ධර්ම කාරණා රාශියක් විවරණය වන්නකි. බුදුදමෙහි හික්මෙන ශ්‍රාවකයා තුළ පිහිටිය යුතු උසස් ගුණධර්මයක් ලෙස සුවචබව නිතර නිතරම සාකච්ඡාවට ගැනෙන්නකි. කරණීය මෙත්ත සූත්‍රයෙහි ‘සුවචො’ යන වචනය ආරම්භයෙහි ම දැක්වෙන්නේ නිවන් මගට ප්‍රවේශ වීමට අපේක්ෂිත පුද්ගලයා තුළ අතිශියන් ම වර්ධනය කර ගත යුතු කරුණු වන බැවිනි. ‘ඕවාදකාරී’ යනුවෙන් ප්‍රශංසාත්මක පුද්ගයෙකුගේ ජීවිතයේ පැවැතිය යුතු ප්‍රධාන ම කරුණක් ලෙස හික්මීම හෙවත් සුවචකම දක්වා තිබේ. විනය පිළිබඳව ද වැඩිම අවධානයක් යොමු කරන බුදුදහමේ ශ්‍රාවකයා අතිශයින්ම විනයගරුක පුද්ගලයෙකු විය යුතු බව දැක්වෙයි. මෙම අනුමාන සූත්‍රයද පැහැදිලි කර ඇත්තේ විනයගරුක පුද්ගලයකු බවට පත් විය හැකි ආකාරය යි.

විශේෂයෙන් මෙහිදී අවවාද කළ යුතු හා නොකළ යුතුª පුද්ගලයන් කවරේද? යන්නත් අකීකරු බව හා කීකරු බව ඇතිකරවන කරුණ කෙරෙහිත් අකීකරු ධර්ම ඇති කෙනෙකු එයින් මිදිය හැකි ආකාරයත් සාකච්ඡාවට ලක් කෙරෙයි.

මෙම සූත්‍රය දේශනා කරෙන්නේ මුගලන් මහ තෙරුන් වහන්සේ විසිනි. උන්වහන්සේ බුදුරදුන් වෙතින් අසා ශ්‍රාවක පිරිසකට දේශනා කරන ලද්දක් ලෙස මෙය විවරණය වෙයි. මුගලන් හිමියන් භගූ රට ‘සුංසුමාර’ ගිරි නුවර ‘භේෂකලා’ නම් මුව වනයෙහි වාසය කරන අතර ;මම සූත්‍රය දේශනා කර තිබේ. ඒ අනුව යමෙක් අවවාද කිරීමට අකමැති අවවාද නොඉවසන, නොරිස්සන කෙනකු වේ නම් ඔහුට අවවාද නොකළ යුතු බවත් ඔහුගේ අකීකරු බව ඇතිකරවන ධර්ම දහයක් පවතින බවත් මුගලන් රහතන් වහන්සේ වදාළහ.

කවරේද යත්?

1. ලාමක, පහත්, ආශාවන්ගෙන්ද අදහස් වලින් ද යුතු වූයේ ඒවායෙහි වසඟය පත් වූ පුද්ගලයා.
2. තමා ම උසස් යැයි සිතා කටයුතුª කරන අන්‍යයන් හෙළා දකින අත්තුක්කංසන පරවම්භන පුද්ගලයා
3. ක්‍රෝධයටම යොමු වූ ක්‍රෝධයෙන් මඩනා ලද පුද්ගලයා
4. ක්‍රෝධයට ම යොමු වූ ක්‍රෝධයෙන් වෛර බැඳ ගන්නා වූ තැනැත්තා
5. ක්‍රෝධයෙන් ම නිතර නිතර අන්‍යයන් හා ගැටෙන තැනැත්තා
6. ක්‍රෝධ සහගත වචන භාවිත කරන පුද්ගලයා
7. යම් චෝදනාවක් කරන කල්හී එයට ප්‍රතිවිරුද්ධ ව කටයුතු කරන පුද්ගලයා
8. යම් චෝදනාවක් කරන කල චෝදනාව කරන්නාට හෙවත් චෝදකයාටම ගරහන පුද්ගලයා
9. චෝදනාවක් කරන කල්හි චෝදකයාට ප්‍රතිචෝදනා කරන පුද්ගලයා.
10. චෝදනා කරන කල්හි වෙනත් කථාවකින් එය වසා දමන්නට උත්සහ කරන්නා
11. චෝදනාවක් කරන කල්හි තමාගේ් චරිතයෙහි පිරිසුදු බව දක්වමින් එය ප්‍රතික්ෂේප කරන්නට උත්සාහ කරන පුද්ගලයා
12. චූදිතයා ගුණමකුවෙකු ව චෝදකයාට චෝදනා කරන පුද්ගලයා
13. ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව පුද්ගලයා
14. කපටි කෛරාටික පුද්ගලයා
15. තද ගති සහිත අධික මානයෙන් යුතු පුද්ගලයා
16. තමන්ගේ ම මතයන්හි දැඩිව පිහිටා කටයුතු කරන පුද්ගලයා

මෙම ගති ඇති පුද්ගලයාට කිසි ලෙසකින් හෝ අවවාද නොකළ යුතු බවත් මෙම ගති වලින් තොර වූ පුද්ගලයා සුවච කීකරු කෙනකු වන බවත්, ඔහුට කවරාකාරයෙන් වුව අවවාද කිරීම සුදුසු බවත් මුගලන් මහරහතන් වහන්සේ වදාළහ.

මෙම සූත්‍රයේ දෙවන කොටසින් කියැවෙන්නේ කෙනකු අකීකරු බවට පත් කරවන මෙම ධර්ම තුළින් මිදෙන ආකාරය යි.

එනම් යම් ලාමක අදහස් ඇති පහත් ආශාවන්ගෙන් යුතු වූ පුද්ගලයකු දැකීමට තමන් තුළ ඇත්තේ අපි‍්‍රය බවක් නම්, තමා එසේ වූ විට අන්‍යයන් ද තමා කෙරෙහි කටයුතු කරන්නේ එසේ බව සලකා එවැනි දැඩි පහත් ලාමක ආශාවන්ගෙන් මිදී වාසය කරන්නට උත්සාහ කළ යුතු බවත් මෙහි කියැවේ. එවිට ඔහු සුවච පුද්ගලයෙකු හෙවත් කීකරු පුද්ගලයකු බවට පත්වන අතර ඔහුට අවවාද දීම සුදුසු බව ද මෙහිදී දැක්වෙයි.

එලෙසින්ම අනෙක් කරුණ පිළිබඳව ද කල්පනා කළ හැකිය. අත්තුක්කංසන පරවම්භන හෙවත් අනුන් හෙළා දකිමින් තමන් ම හුවා දක්වා ගන්නට උත්සාහ කරන පුද්ගලයකු පිළිබඳව තමන්ට දැනෙන්නේ අපි‍්‍රය බවක් නම් දැකීමට පවා තමන් තුළ ඇත්තේ අසතුටක්නම් තමා ද එවැනි දුර්ගුණයෙන් යුතු වූයේ නම් තමා කෙරෙහි අන්‍යයන් තුළද එවැනි අපි‍්‍රය බවක් ඇතිවන්නේ යැයි සිතා ඒ වැරැද්දෙන් මිදෙන්නට උත්සාහ කළ යුතුයි. ක්‍රෝධශිලී පුද්ගලයා මෙන්ම ඉහතින් දැක්වූ සොළොස් ධර්ම වලින් යුතු කවර ම පුද්ගලයෙකු වුව කිසිවකුට පි‍්‍රයමනාව නොවන්නේ ය. ආශ්‍රයට ද අකමැති වන්නේ් ඇතැම් විට දැකීමට පවා අපි‍්‍රය වන්නේ ය.

එසේ නම් මේ සොළොස් ලාමක ධර්මයන්ගෙන් කවරක් හෝ තමා තුළ ඇති කල්හි ඒ බව සලකා තමා තුළ එම ලාමක ධර්ම නැති කොට කීකරු, සුවච අවවාද ලැබීමට සුදුසු කෙනෙකු බවට පත්වීමට උත්සාහ දැරීම ධර්මානුකූල ජීවිත සකසා ගැනීමක් ලෙස දැක්විය හැකිය.

මෙම අනුමාන සූත්‍රය අපගේ ධර්ම ශාලාවල නිතර නිතර සාකච්ඡාවට ගතයුතු සූත්‍රයකි. එයට හේතුව වන්නේ බොහෝ දෙනා හොඳින් ධර්මය අසා සතුටින් නිවෙස් වෙත ගියද ගෙදර තුළ අභ්‍යන්තර ගැටලු ආරාවුල් සංසිඳුවා ගෙන ජීවිතයට මුහුණ දීමට උත්සාහ නොකරන බැවිනි.

ගෙදර දොරේ ජීවත් වන අඹු සැමියන් අතර බරපතළ ආරාවුල් ගොඩනැගී දරුවන් ගැන ද නොතකා ගහ මරා ගන්නා පමණක් නොව එකිනෙකාගෙන් වෙන්ව වසන්නට උත්සාහ ගන්නා නූතන ඇතැම් පිරිස් නිතර නිතර අපට හමුවේ. මේ බොහෝ ගැටලුවලට හේතුවක් නම් අවවාද උපදෙස් නොරිස්සන ගතියයි.

තමන් ම නිවැරැදි යැයි සිතන තමන්ගේ් මතය ම සාධාරණ යැයි සිතන කිසිවකු අන්‍යයන්ගේ අවවාදවලට හික්මෙන්නේ නැත. අවවාද දෙන්නාටද චෝදනා කරයි. වෛර බඳියි. නිග්‍රහ කරයි. නිහතමානී ව තම අඩුපාඩු වැරදි සකසා ගන්නට වෙර වීරිය දරන්නේ නැත.

එබැවින් බුදුදහමේ උගන්වන ‘අනතිමානී’ ගුණය තරම් චරිතය පවිත්‍ර බවට පත්කරවන ගුණයක් තවත් පවතීද? අනතිමාන පුද්ගලයා ලොව ඕනෑම අභියෝගයක් ජය ගනී. අප ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ආලවක, ජය ගත්තේ ද අංගුලිමාල ජය ගත්තේ ද ආලවකයෙකු, අංගුලිමාලයෙකු බවට පත්ව නොවේ. ඔවුන්ගේ් බිහිසුණු හැසිරීම් ඉදිරියේ දී අනතිමානීව හැසිරීමෙනි. මෙය නිවටකමක් ලෙස කවරෙකු සලකන්නේද? මානයෙන් දිවිය අවුල් කර ගන්නවාට වඩා නිහතමානයෙන් දිවිය සරු කර ගැනීම, නිවා ගැනීම මොන තරම් සැනසිලිදායකදැයි සිතා බලන්න.

තෙරුවන් සරණයි!

 

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]