UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මොන්ටෙස්කියු න්‍යායෙන් ඔබ්බට

ව්‍යවස්දායකය, විධායකය හා අධිකරණය පමණක් නො ව ජනමාධ්‍ය මෙන් ම ආගමික සංස්ථාවන්හි මනා ක්‍රියාකාරිත්වය ද රටක යහපැවැත්මට අත්‍යවශ්‍ය බව අප ගේ විශ්වාසය යි. රජයේ බලයයන්, ව්‍යවස්ථාදායක, විධායක හා අධිකරණ යනුවෙන් කොටස් තුනකට බෙදීමේ න්‍යාය ලොවට ඉදිරිපත් කළ දහඅට වන සියවසෙහි විසූ මොන්ටෙස්කියු නමැති ප්‍රංශ ජාතික නීතිමීමාංසිකයා සෙසු අංග දෙක ගැන අවධානය යොමු කැර නොමැත. එහෙත් අප රටේ උත්තරීතර ම නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරීක්ෂා කළ විට ජනමාධ්‍ය හා ආගමික සංස්ථාවන්හි පැවැත්ම රජයේ මනා ක්‍රියාකාරිත්වයට කෙ තරම් අත්‍යවශ්‍ය සාධකයක් දැයි වටහා ගැනීමට පුළුවන.

ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේ යැයි ද, සියලු අගම්වනලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කැර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් යැයි ද ව්‍යවස්ථාවේ සඳහන් ය. එ පමණක් නො ව, සෑම පුරවැසියකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ, නිදහස ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (4) වගන්තිය මෙ සේ ය. “භික්ෂූන් වහන්සේගේ් විනය හා සම්බන්ධ කාරණා හෝ භික්ෂූන් වහන්සේලා අතර ඇති යම් ආරාවුලක් හෝ විහාරස්ථානවල හෝ විහාරස්ථානවලට අදාළ සේවාවන් ඉටු කිරීම හා සම්බන්ධ වෙනත් යම් ආරාවුලක් හෝ විනිශ්චය කොට සමථයකට පත් කිරීම සඳහා අධිකරණ, විනිශ්චය අධිකාර හෝ ආයතන ඇතිකොට පිහිටුවීමට පාර්ලිමේන්තුව විසින් නීතියෙන් විධිවිධාන සැලැස්විය හැක්කේ ය.

භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් මෙ බඳු විශේෂ වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට හේතුව, උන්වහන්සේ සුවිශේෂ සමාජ කණ්ඩායමක් ලෙස සැලැකීම ය. මෙය අතීතයේ සිට පැවැත එන සාම්ප්‍රදාය අනුව ලැබුණු සුවිශේෂ තත්ත්වයකි. ක්‍රි.ව. 1660 සිට 1679 දක්වා සිරකරුවකු ලෙස ලංකාවේ රැඳී සිටි ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් විසින් ලියන ලද ‘ලංකා ඉතිහාස කථාන්තරයේ’ මෙ සේ දැක් වේ.

“භික්ෂූන් වහන්සේ අසමාන සම්මානයට පාත්‍ර වූවාහු වෙති. අයබදු නො ගෙවා ස්ථාන සන්තක ගොඩ මඩ ඉඩම් භුක්ති විඳිති. ජනතාව උන්වහන්සේට දණ ගසා නමස්කාර කැරෙති. එහෙත් ඔවුහු කිසිවකුට නො වඳිති. මහ රජතුමාට හැර සෙසු කෙනකුට ඉසලන්නට අවසරයක් නැති පුළුල් කොන් සහිත තල්පත් ඉසලති. කවර ස්ථානයකට ගිය ද අසුනට සුදක් නො එළා වැඩ හිඳින්නට නො දෙති. මෙය ද මහරජු සඳහා නියම වී ඇති ගෞරව චාරිත්‍රයකි.

ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතර ම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය දා අනුගමනය කළ පිළිවෙතක් නිසා මේ සුවිශේෂී සමාජ සංස්ථාව සසල වූ බව පෙනිණ. රාත්‍රී 10.00 සිට අලුයම 6.00 දක්වා බලපත්‍රයක් රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තහනම් කැරුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් කඩකළ බවට චෝදනා ලැබ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සැප්තැම්බර් මස 01 වන දා පෙනී සිටින ලෙසට කැර තිබූ නියෝගයට අවනත නො වීම නිසා රාජගිරිය වැලිකඩවත්ත විහාරයේ පන්නල පඤ්ඤාලෝක හිමියන් මේ මස 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීම ඊට හේතු විය. පඤ්ඤාලෝක හිමියන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කැර තිබූ මෝසමක් අගවිනිසුරු සරත් එන්. සිල්වා, ඇන්ඩෘ සෝමවංශ හා ජගත් එස්. බාලපටබැඳි යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ පසුගිය 05 වන දා සලකා බලනු ලැබිණ. එ දින විනිසුරු මඬුල්ල විනිශ්චය ශාලාවට පිවිසෙන විට එහි සිටි ගිහියන් අසුන්වලින් නැඟිට විනිසුරු මඬුල්ල ආචාර කළ ද අධිකරණ ශාලාවට වැඩම කොට සිටි භික්ෂූන් වහන්සේ සිය නමකට ආසන්න පිරිසක් අසුන්වලින් නැඟිට ආචාර කැර නොමැත. අධිකරණය වෙත පැමිණෙන සියලු දෙනා අධිකරණයට ගෞරවය දැක්විය යුතුªබව අගවිනිසුරු විසින් එහි දී පෙන්වා දී තිබේ. එහෙත්, ඒ අනුව භික්ෂූන් වහන්සේ අසුන්වලින් නැඟිට නොමැති අතර එම මෝසම ප්‍රතික්ෂේප කැර නඩුව ලබන 15 දා කැඳවීමට අගවිනිසුරු විසින් නියෝග කැර ඇත. කෙසේ වු ව ද පසුගිය 8 වන දා වෙනත් නීතිඥයකු මඟින් පඤ්ඤාලෝක හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බලා උන්වහන්සේ නිදහස් කැරිණි. එහෙත් භික්ෂුන් වහන්සේ අසුන්වලින් නැඟිට අධිකරණයට ගෞරව කළ යුතු ද යන ප්‍රශ්නය සමාජය හමුවේ තිබේ. මෙහි දී ද රොබට් නොක්ස් ගේ සඳහනක් සියලු දෙනාගේ අවධානය පිණිස උපුටා දක්වමු.

“සමහර අවස්ථාවල දී රාජ උදහසට පාත්‍ර වීමෙන් භික්ෂූන් වහන්සේ හිස ගසා දමනු ලැබීමට නියම වෙති. මෙය රට වැසියා ගේ අසීමිත ශෝකයටත්, එ හෙයින් ම මහරජු කෙරෙහි මහජනයා ගේ කලකිරීමටත් හේතු වන්නේ ය”.

බිනර පුර අටවක පෝය


බිනර පුර අටවක පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා පූර්ව භාග 6.22 ට ලබයි. 7 වනදා ඉරිදා පූර්ව භාග 8.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 6 වනදා සෙනසුරාදාය.
 

මීළඟ පෝය සැප්තැම්බර් 14 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

New Moonඅමාවක

සැප්තැම්බර් 28

First Quarterපුර අටවක

ඔක්තෝබර් 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]