[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රථම හා අවසන් බුද්ධ වචනය

ප්‍රථම හා අවසන් බුද්ධ වචනය

බුදුරදුන්ගේ ප්‍රථම උදානය හෙවත් ප්‍රථම බුද්ධ වචනය මෙය යි.

අනේක ජාති සංසාරං - සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවේසන්තෝ - දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසි - පුන ගෙහං න කාහසී
සබ්බා තෙ ඵාසුකා භග්ගා - ගහකූටං විසංඛිතං
විසංඛාර ගතං චිත්තං - තණ්හානං ඛයමජ්ඣගා

නැවත නැවත ඉපදීම දුකකි. එබැවින් මේ පංචස්කන්ධය නමැති ගෙය සාදන වඩුවා සොයමින් මෙතෙක් කල් සසර සැරිසැරුවෙමි, තණ්හාව නමැති වඩුව, මා විසින් නුඹ දක්නා ලද්දෙහි ය. කෙලෙස් නමැති පරාල බිඳ දැමුවෙමි. නැවත නුඹ මට ආත්මභාව නමැති ගෙය නො තනන්නෙහි ය. අවිද්‍යා නමැති කැණිමඩල සුනුුවිසුණු කෙරිණි. තණ්හාව සිඳී ගියේ ය. මාගේ සිත නිවනට පත්විය.

අන්තිම අවවාදය වශයෙන් භික්ෂූන් වහන්සේ ඇමතු බුදුරජාණන් වහන්සේ

හන්දදානී භික්ඛවේ ආමන්තයාමි වො වය ධම්මා

සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ

මහණෙනි, කරුණාවෙන් ඔබ අමතමි. සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුළුය. එබැවින් නො පමාව සසුන්කිස සම්පූර්ණ කරත්වා!

ඉහත දැක්වූ ප්‍රථම බුද්ධ වචනයේ පටන් අන්තිම බුද්ධ වචනය ( දෙ බුදු වදන්) අතර ඇති පන්සාළිස් වසර මුළුල්ලේ දේශනා කළ යම් පමණක් වූ බුද්ධ භාෂිතයෝ වෙත් ද ඒ සියල්ල විනය, සූත්‍රය, අභිධර්ම නම් වූ පර්යාප්ති ශාසනයට ඇතුළත් වෙයි. ඒවා මධ්‍යම බුද්ධ වචනය නම් වෙයි. එනම් ප්‍රථම හා අන්තිම බුද්ධ වචනය, අතරමැද හෙවත් දෙබුදු වදන් මධ්‍යයේ දේශනා කළ හෙයිනි. බුදුරදුන් බුද්ධත්වයට පත් 35 වැනි වියේ සිට 80 වැනි විය දක්වා වූ කාලය මෙම පන්සාළිස් වසරයි.

නවාංග සත්ථු ශාසනය

බුදුරදුන් විසින් ම සිදුකරන ලද ධර්මයේ වර්ග කිරීමක් ලෙස ‘නවාංග සත්ථු ශාසනය’ හඳුන්වා දිය හැකි ය. ධර්මය වෙන් වෙන් වශයෙන් සංග්‍රහ කිරීමක් ලෙස එය හඳුනා නොගත යුතු ය. බුද්ධ දේශනාවේ විශේෂ ලක්ෂණ ලෙස දැකිය හැකි අංගයන් මතුකර දැක්වීමක් එමඟින් සිදු කර ඇති බව වටහා ගැනීම වඩාත් යෝග්‍යයය . ප්‍රථම ධර්ම සංගායනාවේ දී ධර්ම විනය පිටක වශයෙන් තුනකටත්, ග්‍රන්ථ වශයෙන් විසි එකටත් (21) බෙදුණු නමුත් එම බෙදීම් සිදු කර ඇත්තේ මෙම නවාංග සත්ථු ශාසනයට අනුව නොවේ. එහෙත් පශ්චාත්කාලීන අටුවාචාරින් වහන්සේ ත්‍රිපිටක ග්‍රන්ථ එම නවාංගය සමඟ ගැළපීමට උත්සාහ ගෙන තිබේ. මෙම නවාංග සත්ථු ශාසනය මෙසේ ය.

සුත්ත - සම්පූර්ණ විනය පිටකයත්, සුත්ත නිපාතයේ එන සූත්‍ර නමින් හැඳින්වෙන වෙනත් දේශනාවනුත් මෙම අංගයට ඇතුළත් වෙයි. විනය නීති පැනවීමට පෙර භික්ෂූන් වහන්සේගේ හික්මීමට අවශ්‍ය කරුණු ඇතුළත් වූයේ සූත්‍රවල ය. එබැවින් මෙම නවාංගයේ දී විනය සූත්‍ර ගණයට ඇතුළත් කර ඇත.

ගෙය්‍ය - සියලුම ගාථා සහිත සූත්‍ර ගෙය්‍ය නම් වේ.

වෙය්‍යාකරණ - සම්පූර්ණ අභිධර්ම පිටකයත්, ගාථා රහිත සූත්‍රත්, සෙසු ඉතිරි අංග අටට අයත් නොවන දේශනාවනුත් වෙය්‍යාකරණ ගණයට අයත් වේ.

ගාථා - ධම්මපද, ථෙරගාථා, ථෙරි ගාථා යන ග්‍රන්ථත්, සුත්ත නිපාතයේ සූත්‍ර නාමයෙන් හඳුන්වා නැති දේශන ගාථා අංගයට අයත් වේ.

උදාන - බුදුරදුන් විසින් සොම්නස හා ඤාණමය පී‍්‍රතියත්, ධර්ම සංවේගයත් පදනම් කරගෙන වදාළ ‘අනේකජාති සංසාරං....” වැනි ගාථා දේශනා උදාන නම් වේ. උදාන පාලියේ එබඳු උදාන අඩංගු සූත්‍ර 83ක් ඇත.

ඉතිවුත්තක - ඉතිවුත්තක පාලිය නමැති කොටසේ ඇති 110ක් වූ සූත්‍ර දේශනා ඉතිවුත්තක නම් වේ.

ජාතක - බුදුරදුන්ගේ බෝධිසත්ත්ව ජීවිතය ගැන කියවෙන අපණ්ණක ආදී 550ක් පමණ වූ දේශනා ජාතක නම් වේ.

අබ්භූත ධම්ම - බෝසතාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සහ ආනන්ද තෙරුන් වහන්සේ ආදී රහතන්, වහන්සේ පිළිබඳවත් කියවෙන ආශ්චර්ය අද්භූත කරුණු ඇතුළත් ‘අච්ඡරිය අබ්භූත සූත්‍රය’ වැනි දේශනා ‘අබ්භූත ධම්ම’ නම් වේ.

වේදල්ල - වේද හෙවත් නුවණත්, සතුටත් ලබමින් විමසන ප්‍රශ්නෝත්තර ඇතුළත් සූත්‍ර වේදල්ල ගණයට අයත් වේ. උදාහරණ ලෙස චුල්ල වේදල්ල, මහා වේදල්ල , සම්මා දිට්ඨි, සක්ක පඤ්හ යනාදී සූත්‍ර දේශනා දැක්විය හැකි ය.

අසූහාර දහසක් ධර්මස්කන්ධ

සම්බුද්ධ දේශනාවෙහි තවත් සුවිශේෂී බෙදීමක් ලෙස ධර්මස්කන්ධ වශයෙන් අසූහාර දහසකට (84000) බෙදා දැක්වීම පෙන්වා දිය හැකි ය. මෙම බෙදීම සැදැහැවතුන් අතර බෙහෙවින්ම ප්‍රකට ය. එයට හේතුව ධර්මාශෝක අධිරාජයා 84,000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් 84,000ක් වෙහෙර විහාර ඉදිකළ බවත්, ඒ අතර ස්වකීය නාමයෙන් ම පැලලුප් නුවර අශෝකාරාමය ඉදිකළ බවත්, ශාසන ඉතිහාසයේ සඳහන්ව තිබීම යැයි සිතමි.

මෙම ධර්මස්කන්ධ බෙදීම පිළිබඳව දීඝනිකාය අටුවාවේ කරුණු විවරණය කොට තිබේ. ඒ අනුව එක් අනුසන්ධියක් යනු එක් ධර්මස්කන්ධයකි. අනුසන්ධියක් යනු කුමක්දැයි පළමුව විමසා බලමු. අනුසන්ධියක් යනු සූත්‍රයක ඇතුළත් එක් අදහසක් දෙන ගාථාවක්, ප්‍රශ්නයක්, පිළීතුරක් හෝ වාක්‍යයක් ය. මේ අනුව සූත්‍රයක ඇතුළත් වෙනස් වෙනස් අර්ථ ප්‍රකාශ කෙරෙන දහම් කොටස් ධර්මස්කන්ධ ගණයට ඇතුළත් වන බව පැහැදිලි ය. එක් අනූසන්ධියක් යනු එක් ධර්මස්කන්ධයකැයි ඉගැන්වෙන ක්‍රමයට අනුව මෙය සරල ව විමසා බලමු. ඊට උදාහරණ ලෙස ධම්මචක්කප්පවත්තන සූත්‍රය ගතහොත් එහි දැක්වෙන “අත්තකිලමථානුයෝගය” හා “කාමසුඛල්ලිකානුයෝගය” යන අන්ත දෙක අනුසන්ධි දෙකකි. එනම් ධර්මස්කන්ධ දෙකකි.

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන සත්‍ය සතර ධර්මස්කන්ධ සතරකි. සංඛ්‍යාත්මක ව දක්වන ධර්ම කරුණු ඇතුළත් සූත්‍රවල එක් එක් කරුණක් වෙන වෙන ම ධර්මස්කන්ධයකි. ප්‍රශ්නෝත්තර ඇතුළත් සූත්‍රවල ප්‍රශ්නය එක් ධර්මස්කන්ධයකි. පිළිතුර තවත් ධර්මස්කන්ධයකි. අභිධර්මයෙහි එන චිත්ත, චෛතසික, රූප ආදියෙහි ඇති බෙදීම් ද එක් එක් ධර්මස්කන්ධ ගණයට ඇතුළත් වෙයි. විනයෙහි දී ශික්ෂාපාද පිළිබඳ කෙරෙන විවිධ විවරණ එක එකක් වෙන වෙන ම ධර්මස්කන්ධයෝ ය. මේ අනුව 84,000ක් ධර්මස්කන්ධය සම්පූර්ණ වන්නේ මෙසේ ය.

විනය පිටකයෙහි ධර්මස්කන්ධ 21000

සූත්‍ර පිටකයෙහි ධර්මස්කන්ධ 21000

අභිධර්ම පිටකයෙහි ධර්මස්කන්ධ 42000

සියල්ල 84000

මෙය ම පහත දැක්වෙන පරිදි කොටස් දෙකකට ද වර්ග කළ හැකි ය.

බුද්ධ දේශනා 82000

ශ්‍රාවක දේශනා 2000

සියල්ල 84,000

නවම් අව අටවක

 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]