[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් අව අටවක පෝ දා 2025-02-20

දැනුම හා විනය

බොහෝ දැන උගත් බව, නොයෙකුත් ශිල්ප දත් බව, විනයකින් යුතු බව, මනාකොට හික්මුණු බව, සුභාෂිත වූ යම් බසක් වේ ද? මේවා උතුම් මංගල කරුණු යැයි මහා මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.

‘උගත මනා ශිල්පය මයි මතු රැකෙනා’ යනුවෙන් ජනවහරේ ප්‍රචලිත වදන් නිර්මාණය වන්නේ ද මේ සදූපදේශ ඇසුරින් ය.

ජීවිතය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ දැන උගත් තරමට ය. පොත පතින් පමණක් ලබන දැනුම ගැන පමණක් මෙහි අවධාරිත නොවේ.

සමාජයේ ජීවත් වීමෙන්, ඇසෙන දකින දෙයින්, අත්දැකීම් ඇසුරින් ලබන දැනුම ද මෙහි දී විශේෂිත ය. අපේ පුරාණ මුතුන් මිත්තෝ ජීවිතය ගැන අපට පාඩම් කියා දුන්නේ පොත පතේ දැනුමට වඩා ජීවිතය සමඟ කාලාන්තරයක් පුරා පොර බැදීමෙන් ලද අත්දැකීම් ඇසුරිනි. දුක - සැප ඇතුළු අටලෝදහමට මුහුණ දෙමින් ඔවුන් උගත් පාඩම් තුළින් ලබා දෙන ආදර්ශ, උපදේශ, මහඟු මිණි වැනි ය.

දැන උගත් බවින් පිරිපුන් වන්නට මේ ඔවදන් පිළිගැනීම අත්‍යවශ්‍ය ය. එහෙත් අද හැදෙන දරු පරපුර ගැන ගැටලු සහගත බවක් නම් ඇසෙන්නට, පෙනෙන්නට තිබේ. සමහර දරුවන් පොතපතේ දැනුම වුව ද උකහා ගන්නේ යන්ත්‍ර සූත්‍ර ලෙසින් මිස මනසට ග්‍රහණය වන අයුරින් නොවන බව පෙනෙන්නේ ඔවුන්ගේ දැන උගත්කම් දැනුමට මිස ක්‍රියාවට නොයොදවන බැවිනි. ඒ නිසාම එහි ආදීනව ඒ දරුවන්ට, ඔවුන්ගේ මව්පියන්ට පමණක් නොව සමාජයට ම අත්විඳින්නට සිදුව තිබේ.

දැන උගත්කම ලබා දීමේ දී ජීවිතයට ප්‍රායෝගික විය යුතු ආකාරයක විධිමත් ක්‍රමවේදයක් ළදරු පාසලේ සිට ම නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇති බව දැන් සක් සුදක් සේ පැහැදිලි ය. එසේ ලබන නිසි දැනුම ය ජීවිතය බබළවන මංගල කරුණක් වනුයේ.

මනා ලෙස දැනුම ලද පුද්ගලයා විනයවත් ය. දැනුමත් - විනයත් ජීවිතයට බැඳී පවතින ප්‍රධාන සාධකයන් ය. එහෙත් සමාජයේ බොහෝ දැනුමැත්තන් ළඟ විනය හීන ය. බස්රියක, දුම්රියක වුව ද ප්‍රදර්ශනය වන්නේ එයයි. පවුලක විනය රැකුණේ නැති නම් ඒ තුළින් නිර්මාණය වන්නේ සමාජයේ ම අවිනවත් බවයි.

තමන්ගේ සෙවණේ හැදෙන වැඩෙන දරුවකුට ආදර්ශයක් වන අයුරින් තමන්ගේ හැසිරීම් හසුරුවා ගන්නට මවකට, පියකුට නොහැකි නම් ඒ මව්පියන් ඒ උතුම් නාමයට පවා සුදුස්සෝ නොවෙති. අවිනය නිසා ම වන සමාජ දුක් ගැහැට බොහෝ ය.

දෛනික ජීවිතයේ ආරම්භයේ සිට ම පවුලේ සෑම සාමාජිකයකුට ම විනය අත්‍යවශ්‍ය ය. උදෑසන නැඟිටීමේ සිට, ගෙදර දොර කටයුතු බෙදාහදාගෙන එකිනෙකාට උපාකරී වීමේ විනය ඇවැසි ය. කන බොන වෙලාවට විනය ඇවැසි ය. නිවෙසින් පිටවන මොහොතේ සමාජයේ අපහාසයට උපහාසයට පත් නොවන ලෙස තමන්ගේ ඇඳුම, පැළඳුම විනයානුකූල විය යුතු ය.

අතීතයේ මව්වරු ඒ ආදර්ශය තම දියණිවරුන්ට මනා ලෙස ලබා දුන්න ද අද ගෙදරින් එළියට බසින ඇතැම් දූවරුන්ගේ ඇඳුම, පැළඳුම දෙස බලන විට සමාජය මොනතරම් අපගාමී වී ඇත්දැයි වැටහේ.

තමන්ගේ අභිමානය, ගෞරවය රැකෙන ප්‍රධානම අවිය විනය යි. අපහාස ගැරහීම් නොලබා උතුම් ජීවිතයක් පවත්වා ගැනීම ජීවිතයට මංගල කරුණකි. මේ උතුම් ඔවා මිණි ජීවිතයට ගළපා ගන්නට සැවොම උත්සුක වෙමු.

නවම් අව අටවක

 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]