ලොව්තුරු සුවයක මිහිර
තුන් ලොවට ම පසක් කළ
ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීම
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
සියලු සත්වගට සෙත සලසන්නා වූ, සියලු ලෝකයන්ට අග්‍ර වූ ශාන්තිනායකයාණන් වහන්සේගේ මේ
සම්බුදු සසුන නම් වූ ධර්ම රාජ්‍යයෙහි, සෙන්පතියාණන් හා ධර්ම පුරෝහිතයාණන් සේ තුන්
ලෝ තලයේ දෙව් මිනිසුන්ගේ අන්ධකාර ලෝකය එළිය කොට වදාළ හිරු සඳු වන් පූජනීය උතුමෝ වූ
අප ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත වූ මහා මොග්ගල්ලාන
මහරහතන් වහන්සේත්, අගතනතුරු ලැබුවේ අපගේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වය
ලබා දස මසෙකින් එළඹි නවම් පුන් පොහෝ දවසේ ය.
ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා බෝසතාණන් වහන්සේ සමඟින් ම සසර පුරා
පැමිණ, අස්සජී මහරහතන් වහන්සේගෙන් දහම් අසා, දෙසිය පනහක් වූ පිරිසක් සමඟින්
වේළුවනාරාමයේ දී පැවිදි බිමට පත් වූහ.
තිලොවග නායක වූ අප බුදුපියාණන් වහන්සේගෙන් දහම් අසා ඒ දෙසිය පනහක් වූ පිරිස
අරහත්වයට පත් වූ අතර, මුගලන් මහ තෙරුන් වහන්සේ පැවිදිව සත් දිනෙකින් මගධ රට කල්ලවාල
ගමෙහි දී බුදුපියාණන් වහන්සේගෙන් ධාතු කර්මස්ථානය අසා අරහත්වයට පත් වූ සේක.
සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදිව පසළොස්වන දින රජගහනුවර සූකරඛත ලෙනෙහි දී දීඝනඛ
පරිබ්‍රාජකයා හට කළ දේශනාව අසමින්, අරහත්වයට පත් වූ සේක.
එදින ම සවස් යාමයෙහි වේළුවනාරාමයේ දී අපගේ මහා මුනීන්ද්‍ර වූ බුදුපියාණන් වහන්සේ
විසින් උරුවේල කස්සප මහරහතන් වහන්සේ සමඟ වැඩ සිටි පුරාණ ජටිල වූ මහරහතන් වහන්සේ
දහස්නමක් ද, සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේ සමඟ වැඩි දෙසිය පනහක් වූ රහතන්
වහන්සේ ද සමඟින් එක් දහස් දෙසිය පනහක් වූ මහා ශ්‍රාවක සංඝ සන්නිපාතය මධ්‍යයෙහි,
අගතනතුරු පිරිනැමූ සේක. ඒ සමඟ ම අපගේ බුදුපියාණන් වහන්සේ විසින් ඒ බුදු පිරිස
මධ්‍යයෙහි ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක.
දම් සුවඳ පතුරුවමින්, ලොව්තුරු සුවයක මිහිර මුළු ලොවට ම පසක් කරමින්, දෙවියන්ගේ
දේවානුභාවයත්, බඹුන්ගේ බ්‍රහ්මානුභාවයත් අභිබවා කරුණා නිධානය හදෙහි දරා, දෙව්
මිනිසුන්ගේ අන්ධකාර ලෝකය ආලෝකවත් කරන පහන් සිළු දෙකක් බඳු අග්‍රශ්‍රාවකයන් වහන්සේ
කල්ප ගණනකිනුදු දක්නට අතිශයින් දුර්ලභ සම්බුදු සසුනෙහි අසිරිය ලොවට ම කියා පාමින්
බැබළී වැඩ සිටි සේක.
ඒ නවම් පුර පසළොස්වක පුන් පොහෝ දවස යි. සම්බුද්ධත්වයෙන් වසර හතළිස් පහක් සපිරීමට
තවත් ඇත්තේ මාස තුනක් වැනි අල්ප කාලයෙකි. අප මහා මුනි වූ සම්බුදු පියාණෝ පන්සියයක්
වූ මහා භික්ෂු පිරිසක් සමඟින් පාඨලීපුත්‍රයෙන් අහසට නැඟී ගංගා නම් නදී තරණය කොට
විශාලා මහනුවරට වැඩි සේක. චාපාල චෛත්‍යස්ථානයෙහි දිවා විහරණය පිණිස වැඩ සිටි සේක.
ආනන්ද තෙරුන් අමතා අපගේ ශාස්තෘන් වහන්සේ මෙසේ වදාළ සේක. “බලව ආනන්දය, විසල්පුර
රමණීය ය. උදේනි චේතියත්, ගෝතමක චේතියත්, සත්තම්භක චේතියත්, බහුපුත්තක චේතියත්,
සාරන්දද චේතියත්, රමණීය ය. මේ චාපාල චේතියත් රමණීය ය.
ආනන්දය, යමෙකු විසින් ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන ඍද්ධිපාදයන් හොඳින් ප්‍රගුණ
කොට ඇත්නම්, බහුල ව ප්‍රගුණ කොට ඇත්නම්, යානයක සෙයින් එහි සිටිය හැකි නම්, නිවසක
සෙයින් එහි විසිය හැකි නම්, හේ කැමැති නම්, සිය ආයුෂ කල්පය ම සිටිය හැක්කේ ය. ඊට
ටිකක් වැඩියෙන් වුවත් සිටිය හැක්කේ ය. ආනන්දය, තථාගතයන් වහන්සේ එබඳු කෙනෙකි.”
මෙසේ අපගේ ශාස්තෘන් වහන්සේ විසින් දහසය වතාවක් ම නැවත නැවතත් සිහිපත් කළ සේක්, මනා
සිහිනුවණ ඇති වේගවත් ප්‍රඥා ඇති, බලවත් නුවණ ඇති, මහත් ශ්‍රද්ධා ඇති, සෝවාන් ව වැඩ
සිටි, සෙවණැල්ල සේ අප භාග්‍යවතුන් වහන්සේ ව අත් නො හරිමින් දිවි පරදුවට තබා උවටැන්
කළ, අපගේ ආනන්දයන් වහන්සේට,
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් වැඩ සිටින සේක්වා.”
යැයි කියා, භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළ නොහැකි අයුරින් ලොව වසා මෝහ පටලයේ සිර
කරවන පාපී මාරයා බාධා කළේ ය.
අහෝ ලොව කෙතරම් බිහිසුණු ද? අඳුරෙහි ම සිරවූ සත්වග මුළාවෙන් මුළාවට ම ඇදගෙන යන,
සසරෙහි ම සිර කරන, සත්වගට කෙමනක් බඳු පාපී මාරයා පෙරට ආයේ ය. ආනන්ද තෙරණුවෝ
හුදෙකලාවේ ම ඉවතට වැඩි සේක.
මළ හිරුට ඇරයුමක් සේ සත්වගට බිය උපදවමින් ඝන වලාවෙන් වැසී ගිය බේළුව ගමෙහි දී පාපී
මාරයා අපගේ ශාස්තෘන් වහනසේට ඇරයුම් කොට,
“ස්වාමීනි, භගවත් තෙමේ පිරිනිවන් පෑව මැනව. සුගත තෙමේ පිරිනිවන් පෑව මැනව. දැන්
භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්නට කාලය යි. මින් පෙර ද භාග්‍යවතුන් වහන්සේට
අජපල් නුගරුක් මූලයේ දී සම්බුදු බව ලද අලුත ම මා පිරිනිවන් පාන්නට ඇරයුම් කළ අයුරු
මතක ඇතැයි සිතමි. එදා භගවත් තෙමේ මට කියා සිටියේ තම ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී,
උපාසක, උපාසිකා පිරිස ව්‍යක්ත ව, විශාරද ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම
ප්‍රතිපදාවෙන් වසත් ද උපන් වාද මැඩ පවත්වා ධර්මයෙන් අනුග්‍රහ කරන්නට දක්ෂ වෙත් ද ඒ
තාක් පිරිනිවන් නො පාමි කියා ය. ඉතින් දැන් හරි නොවැ. සිදු වී ඇත්තේ එයයි.”
අප භාග්‍යවතුන් වහන්සේ පාපී මරු හට මෙසේ වදාළ සේක.
“මාරය, නුඹ මන්දෝත්සාහී වව් තථාගතයන්ගේ පිරිනිවීම නොබෝ කලකින් වන්නේ ය. අද පටන්
තුන් මසක් ගිය කල තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය.”
කියා දින නියම කොට ආයු සංස්කාර අත්හළ සේක.
එකල්හී මහ පොළොව සැලී ගියේ විය. හෙණ හඬ නඟමින් අහස ගුගුරන්නට විය. බිහිසුණු
ලොමුඩැහැ ගැනුම් ඇතිවිය. අකල් වැසි දහර ඇද හැලුණි.
අපගේ ආනන්දයන් වහන්සේ වහා පැමිණ “අද්භූත දෙයක් සිදුවිණි” යැයි පැවසූ කල්හි,
භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට තීරණය කළ බව කීයෙන් ආනන්දයන් වහන්සේ
භාග්‍යවතුන් වහන්සේට මෙසේ ඇරයුම් කළ සේක්,
“ස්වාමීනි, කල්පයක් වැඩ සිටින සේක්වා.”
“ආනන්දය, දැන් පමා වැඩි ය.” භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර එයයි.
නො නවත්වා පෙරැත්ත කරමින් ආනන්ද ස්වාමීන් වහන්සේ හඬා වැලපෙන්නට වූහ.
ආනන්දය, තෙපි තථාගතයන්ගේ අවබෝධය අදහන්නෙහි ද? යි භාග්‍යවතුන් වහන්සේ විමසා සිටි විට
ආනන්දයන් වහන්සේ නිහඬ වූහ.
ඒ නවම් පුර පසළොස්වක පොහොය, අන්ධකාරය ලොවට කැන්දූ, තුන් ලොවක් කඳුළෙන් තෙමා ලූ,
මිහිමඬල පාළු සොබා ගත්, දෙව් මිනිසුන්ගේ හදෙහි ශෝකය පුරවා ලූ, කඳුළු කතාවක අඳුර මතු
කළ දිනය යි.
සැදැහින් පිරුණ ආනන්දයන් වහන්සේ බුද්ධ වචනය අබියස නිහඬ වුව ද අඳුරට ලොව රැගෙන යන,
කෙලෙස් ලෝකයට මං විවර වන, සත්පුරුෂයින්ගේ ලෝකයට මරු පහරක් එල්ලවන අභාග්‍ය සම්පන්න
යුගයක මූලාරම්භය මෙය විය.
බොහෝ සත්වයන්ගේ නිරා ගිනි නිවූ, ප්‍රේතයින්ගේ සා පවස් නිවූ, දෙව් බඹුන්ගේ කෙලෙස්
ගිනි නිවූ, සැම සිත් සතන් නිවා පහන් කළ, සෑසි තිලෝගුරු, මහා මුනි වූ, ආයු සංස්කාර
අත්හළ, ලොව සැබෑම සත්‍යය ලොවට ම දායාද කළ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන්
වහන්සේට අපගේ නමස්කාරය වේවා. |