ගැටලුවට විසඳුමක් ...
පොතුහැර විපස්සී හිමි
තණ්හාවට හේතුව වන්නේ අවිද්‍යාව බව නිවැරැදි ව පැහැදිලි කර දෙන්නේ බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළ ධර්මයෙන් පමණි. එසේ ම අවිද්‍යාව ප්‍රහාණය කිරීමේ නිවැරැදි මඟ පෙන්වා
දෙන්නේ ද බුදුරජාණන් වහන්සේ පමණි.
මේ අයුරින් සමාජයේ ඇතිවන අනේකවිධ ගැටලු කළකෝලාහල සියල්ලට ම හේතුව වන්නේ තණ්හාව
හෙවත් ආශාව බවත්, ඕනෑම ආගමක, ඕනෑම සමාජයක බුද්ධිමත්ව විමසා බලන අයකුට පහසුවෙන්
තේරුම් ගත හැකි ය.
නමුත් තණ්හාවට හේතුව වන අවිද්‍යාව ප්‍රහාණය කිරීම කළ හැක්කේ බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළ ප්‍රතිපදාව අනුගමනය කිරීමෙන් පමණි. මෙහිදී තේරුම් ගත යුතු තවත්
වැදගත් කරුණක් ඇත. එනම් ගැටලු, කළකෝලාහල කිසිවක් නැති නම් දුරු කිරීම පිණිස
තණ්හාවක් හෝ අවිද්‍යාවක් නැති ද? යන බවයි.
පොදුවේ සියලු සත්වයන්ට ම ඇති ප්‍රධාන ගැටලුව නම් ඉපදීම, වයසට යාම හා මරණය යි. ධර්මය
අවබෝධ කළ උතුමන් වහන්සේ හැර, මෙම ගැටලුවලින් නිදහස් වූ කිසිවෙක් නැත. එබැවින්
අවිද්‍යාව දුරු කිරීමේ වැඩපිළිවෙළ අනුගමනය කිරීමෙන් මෙම ප්‍රධාන ගැටලුවලට මෙන්ම
සමාජයේ එදිනෙදා සිදුවන සියලු ගැටලුවලට ද විසඳුම් ලැබේ.
සුත්ත නිපාතයෙහි සඳහන් වන “කලහවිවාද” සූත්‍රයෙහි පි‍්‍රය දේ නිසා කලහවිවාද ඇතිවන බව
(පියා පහුතා කලහාවිවාදා) විස්තර වේ. මිහිරි අමිහිරි හෝ, හොඳ නරක වශයෙන් හෝ විනිශ්චය
කිරීමෙන් පි‍්‍රය අපි‍්‍රය බව ඇතිවන අතර, ප්‍රිය දේ හා පි‍්‍රය පුද්ගලයන්ගෙන්
වෙන්වීමට සිදුවීමත්, අපි‍්‍රය දේ හා අපි‍්‍රය පුද්ගලයන් සමඟ එක්වීමට සිදුවීමත්
ගැටලුවලට මූලික වන බව පැහැදිලි කරුණකි. පි‍්‍රය, අපි‍්‍රය දේ යනු ලෝක ව්‍යවහාර
මාත්‍රයක් හෙවත් ලෝක සම්මුතියක් පමණක් බව හඳුනා ගැනීම ඉතා වැදගත් වේ. පුද්ගලයෙක්
තුළ ඇතිවන කැමැත්ත, ආශාව යනු සංකල්පයක් බව “නිබ්බේධික” සූත්‍රයෙහි (අං.නි.4) සඳහන්
වේ. (සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ) මෙයින් අදහස් වන්නේ අසන, දකින දෙයට ඇතිවන කැමැත්ත
බාහිර දෙය නිසා නොව තමා තුළ ඇති වැරැදි වටහා ගැනීම (අයෝනිසෝමනසිකාරය) නිසා ඇතිවන
බවයි. එම වැරැදි වටහා ගැනීම සිදුවන්නේ කෙසේද යන බව පටිච්ච සමුප්පාදයෙහි “අවිජ්ජා
පච්චයා සංඛාරා” (අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වේ) යන අනුපිළිවෙළින් විස්තර වේ.
ඇසින් යමක් දැකීමේ දී ඒකාකාරී ව එක දිගට සිදුවන දැකීමක් නොව නැවත නැවත බිඳීයමින්
සිදුවන දැකීම් රාශියක් බව නො දැනීම අවිද්‍යාව ලෙස හැඳින්වේ. එම බිඳී යාම (අනිත්‍ය
බව) නො දැන දැකීම් රාශිය එක ම ඒකකයක් (දකින දෙයක්) ලෙස ගැනීම සංඛාර ලෙස විස්තර වේ.
එසේ දැකීම දෙයක් ලෙස ගත් පසු එය හඳුනා ගැනීම විඤ්ඤාණය යි. හඳුනාගත් දෙය නම් කිරීම
නාම රූපය ලෙස විස්තර වේ. එම නම් කිරීම ඇසින් දක්නා ලද දෙයක් වීම සලායතන හෙවත් ඇසෙහි
ක්‍රියාකාරීත්වය යි. එසේ දක්නා ලද දෙය නම් කිරීම පිණිස, ඇසත්, රූපයත්, රූපය හඳුනා
ගැනීම (විඤ්ඤාණය) යන කරුණු තුන ම තිබිය යුතු ය. එය පටිච්ච සමුප්පාදයෙහි ස්පර්ශය ලෙස
විස්තර වේ.
මේ අයුරින් නම් කර හඳුනාගත් දෙය වින්දනය කිරීම වේදනාව ලෙස විස්තර වන අතර, එම
වින්දනය නිසා ම ආශාව හෙවත් තණ්හාව ඇති වන බව තේරුම් ගත හැකි ය. මේ අයුරින් ඇස, කන,
නාසය ආදී දොරටු හයෙන් ම අරමුණු ගැනීමේ දී අනිත්‍ය බව හෙවත් බිඳීයාම තේරුම් නො ගැනීම
නිසා ම සෑම අරමුණක් පාසා ම තණ්හාව ඇතිවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අනිත්‍ය බව යනු විද්‍යාත්මක ව පවසන සෑම දෙයක ම
ඇති ක්ෂණික වෙනස් වීම නො වන බව විශේෂයෙන් තේරුම් ගත යුතු ය. අප තුළ තණ්හාව ඇති
වන්නේ ඇස, කන ආදී දොරටු සයෙන් අරමුණු ගැනීම නිසා ය. එබැවින් අරමුණු ගැනීමේ දී
සිදුවන බිඳී යාම තේරුම් ගැනීම අනිත්‍ය බව තේරුම් ගැනීම යි. නමුත් මෙම අනිත්‍ය බව
සමාධිමත් සිතකින් තේරුම් ගත යුතු ධර්මතාවක් බව (සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති)
බොහෝ දේශනාවල සඳහන් වේ. යමෙක් සමාධිමත් සිතකින් මෙම අනිත්‍ය බව තේරුම් ගත්තේ නම්,
ඔහු සියලු ගැටලුවල මූලික හේතුව අවබෝධ කොට ගැටලුවලින් නිදහස් වූ අයකු වේ. එබැවින් අප
සියලු දෙනා ද මෙම ක්‍රමවේදය පුහුණු කරමින් ගැටලුවලින් නිදහස් වූ අයකු වීමට උත්සාහ
දරමු. |