[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැපවත් ජීවිතයක හිමිකම ලබන්නට

සැපවත් ජීවිතයක හිමිකම ලබන්නට

බුදු දහම උසස් කොට සලකනුයේ ධාර්මික සැපතයි. ලෞකික වශයෙන් මෙලොව දැහැමි සැපයෙන් ජීවත්වීම අගය කරන අතර සැපයෙහි ගිජු නොවීම ද බුදුදහමෙහි උගන්වනු ලැබේ. අල්පේච්ඡතාව පුරුදු පුහුණු කරලීම අගය කරනු ලබන්නේ එබැවිනි. මහිච්ඡතාව යනු බොහෝ අපේක්ෂා ඇති බව ය.

බොහෝ සුව පහසුකම් කැමැතිවීම ය. එය පුද්ගලයාගේ පෞද්ගලික ආධ්‍යාත්මික ප්‍රගතියට මෙන් ම සමාජ ජීවිතයට ද හානිදායක ය. බොහෝ සැප සම්පත් පතන්නෝ එහිලා පාලනයක් නැත්තෝ එම අපේක්ෂාවන්ගෙන් මත්ව ඒවා ඉටු කර ගැනීම පිණිස දුසිරිතට ද යොමු වෙති. පරපණ නසති. සමාජය රවටති. සොරකම් කරති. විවිධාකාර වූ සාපරාධි සමාජ විරෝධි ක්‍රියාවල නිරත වෙති. කාමයෙන්, රාගයෙන් මත්වූවන් එකිනෙකා සමඟ ගැටුම් ඇති කර ගනිති. එම ස්වභාවය ම සැපය වෙනුවට විවිධාකාරයේ දුක්ඛදෝමනස්සයන්ට ගොදුරුවන ආකාරය බුදු දහමෙහි දැක්වෙයි.

ලද පමණින් සතුටුවීම, සන්සුන් ඉඳුරන් ඇතිකර ගැනීම, සැහැල්ලු පැවතුම් ඇතිකර ගැනීම, විවේකී ව ජීවත්වීමට හුරුවීම, පහසුවෙන් පෝෂණය කළහැක්කකුවීම ආදී ගුණයන්ගෙන් පෝෂිත පුද්ගලයෝ සැපයෙහි ගිජු නොවෙති. පස්කම් සැපය ම සොයමින් ඒ පසුපස ලොබ කරමින් ලුහුබඳින්නා රුවැති සුවඳැති මල්ම සොයන්නෙකි. මාලාකාරයකු බඳු හෙතෙම එහිම ගිජු වන්නේ මිනිසුන් නිදාසිටියදී මහ ගංවතුර ගලා ඔවුන් වැනසී යන්නාක් මෙන් විපතට පත්වේ යැයි බුදු දහමෙහි සඳහන්වේ.

ගිහි ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට සිය අඹුදරු ආදීන් ද දැහැමින් පෝෂණය කරමින් ඊට සරිලන භෞතික සම්පත් ද ඇති ව සැපවත්ව ජීවත්වීමට බුදුදහමින් කිසිදු බාධාවක් නැත. එබඳු තෘප්තිමත්, විධිමත් ගිහි ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන සැපය ගිහි සැපය ලෙස බුදුදහම හඳුන්වයි. පැවිද්දකු විසින් සිය ආගමික ජීවිතයේ උතුම් අපේක්ෂාවනට පටහැනි නොවන සේ ගිජුබවින් තොර ව සිවුපසය උපයා ගෙන යැපීම පැවිදි සැපයයි. සංසාර ගමන දුක් සහිත බව අවබෝධයෙන් යුතුව අමතක නොකොට ධාර්මික ව භෞතික සම්පත් පරිභෝජනය කරමින් සැපවත්ව සතුටින් ජීවත්වීමට ගිහි පැවිදි දෙපක්ෂයටම බුදු දහමින් අවස්ථාව ලබා දෙයි. ගිහියකු විසින් විඳිය යුතු සැප හතරක් පිළිබඳ ව බුදුදහමෙහි සඳහන් කොට ඇත. තමාට ප්‍රමාණවත් වූ තම අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීමට තරම් වූ භෞතික සම්පත් ඇති බව අත්ථි සැපය යි. එම සම්පත් මසුරුකමින් ගිජු ව එක්රැස් කොට තබා නොගෙන එදිනෙදා නිසිලෙස පරිභෝග කිරීමෙන් ලැබෙන සැපය භෝග සැපය යි. පාරිභෝජනයේ තෘප්තියයි. සමාජයේ කිසිවකුටත් ණය නැති ව ස්ව ශක්තියෙන් කටයුතු කර ගැනීමට ඇති හැකියාව අනණ සැපයයි. ණය නොවීමේ සතුටයි. යුක්තියෙන් ධර්මයෙන් උපයාගත් සම්පත් එලෙසින් ම පරිහරණය කිරීම තුළින් අත්විඳිය හැකි සැපය අනවජ්ජ සැපයයි. මෙලෙසින් ම ආහාරපානාදී පරිභෝග වස්තුන් කෙරෙන් උපදින සැපය සාමිස ය. එම සම්පත් අනුන්ට දීමාදී සත්ක්‍රියාවන් තුළින් ලැබෙන සතුට සැපය නිරාමිස ය. කායික වශයෙන් යහපත් නීරෝගි පැවැත්ම සැපයකි.

මානසික වශයෙන් පිරිසුදු දියුණු පැවැත්ම ද සැපයකි. කෙසේ වෙතත් භෞතික වශයෙන් ආහාර පානාදී අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම ම උපභෝග පරිභෝග පරිභෝගාදී සම්පත්තීන් යුක්තව විසීම ම බුදු දහම විසින් පරමාදර්ශී ජීවිතය ලෙස සලකන්නේ නැත.

බෞද්ධ සමාජයේ පරමාදර්ශය වූ බුදුරජාණන් වහන්සේ සැපයෙහි ගිජු නොවූහ. කාම සුඛල්ලිකානු යෝගය එනම්, කම් සුවය ම පරම සැපත සේ සලකා සියලු සාරධර්මයන් බැහැර කොට පරලොවක් ගැන ද නොසිතා ක්‍රියා කිරීම උන්වහන්සේ විසින් පිටු දක්නා ලද්දහ. ඒ සමඟ ම අත්තකිලමතානු යෝගය, එනම් සිය වුවමනාවෙන් ම, සිය කැමැත්තෙන් ම අනේකවිධ වූ කටුක දුක් විඳිමින් තමා ම පීඩාවට පත්කරලීම ද උන්වහන්සේ විසින් බැහැර කරන ලදහ. උන්වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් යොමු කරවන ලද්දේ එසේ සැපයෙහි ම ගිජුවූවන් මෙන් ම සැප පිළිකුල් කරමින් දුක් පීඩාවන්හි ගිලී වසන්නන් ද නොවී මැදුම් පිළිවෙතෙහි හැසිරෙන්නන් වීමට ය. ආදීනව දකිමින් සැපයෙහි ගිජු නොවී හුදෙක් ජීවිතයේ භෞතික වුවමනාවන් පිළිබඳ අඩුම බලාපොරොත්තු ඇතිව විසීම භික්ෂු පිළිවෙතයි.

සත්ත්වයෝ ඉපදීම, ලෙඩවීම, මහලුවීම මරණය ආදී කොට ඇති අමිහිරි අත්දැකීම් උරුම කොට ඇති අතර ම ඉන් මිදීමට නොහැකි ව බොහෝ අපහසුතාවකට පත්ව සිටිති.

මෙම සියලු මානව වර්ගයාට ම පොදු වූ ගැටලුව සසර දුක ය. එසේ වුව ද මේ ජීවිතය තුළ දී ම මෙන් ම සංසාරික පැවැත්ම තුළ දී ද මිනිසාට අත්විඳිය හැකි විවිධ සැප ඇති බව බුදුන් වහන්සේ වදාළහ. සියලු සත්ත්වයෝ සැප කැමැති වෙති. එහෙත් තමා සැප විඳිනු පිණිස අනුන් පීඩාවට වෙහෙසට පත්කරලීම බුදුදහම අනුමත නොකරයි. සියල්ලන්ගේ සියලු වෑයම සැප ලබනු පිණිස ම ය.

එහෙත් එම අපේක්ෂාවන් මත් ව උමතුව ගිය කල්හි ඒ වෙනුවට දුක ම උරුම වන්නේ ය. එබැවින් අප සැප සෙවිය යුත්තේ මනා අවබෝධයකින් යුතුව ය. මනා සංයමයකින් යුක්තව ය. මනා පාලනයක් ඇතිව ය. බුදු දහම ඒ සඳහා මඟ පෙන්වයි.

සීමිත සම්පත්වලින් අසීමිත ප්‍රයෝජන ලබා ගැනීමට මිනිසා දරන උත්සාහයේ දී ඇතිවන තරගය සාර්ථක ව මුහුණදීමට බෞද්ධ අර්ථ ක්‍රමය පිළිබඳ අවබෝධයෙන් සිටීම වැදගත් වෙයි.

සම්පත් උපයා ගැනීම, ඒවා පරිහරණය, ණය නැති සැහැල්ලු ජීවිතයක් ගත කිරීම හා සතුට ළඟා කර ගැනීමට පුද්ගලයකු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අංගුත්තර නිකායේ අනණ සූත්‍රයෙන් අත්ථ සුඛ, භෝග සුඛ හා අනණ සුඛ ආදී වශයෙන් පෙන්වා දී තිබේ.

නූතන ලෝකයේ ආර්ථිකය කියූ පමණින්, මුදල් ඉපයීම ම ප්‍රමුඛ පරමාර්ථය සේ සලකයි. එහෙත් වඩා වැදගත් වන්නේ මුදල් නැතහොත් ධනය උපයා ගන්නේ කෙසේද එය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න අවබෝධ කර ගැනීම ය.

මෙහිදී ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දේශනා කොට ඇති කරුණු සලකා බැලීම වටී. එහි සඳහන් වන ආකාරයට ආර්ථිකය යනු දිය ඇතුළුවීමේ දොරටු සතරක් ද දිය පිටවීමේ දොරටු සතරක් ද සහිත විලක් මෙනි. යම් පුද්ගලයකු අක්ඛ දුත්තෝ හෙවත් සුදුවෙහි ඇලුනකු නම්, සුරා දුත්තෝ හෙවත් සුරාවෙහි ඇලුනකු නම්, ඉත්ථි දුත්තෝ හෙවත් ස්ත්‍රී දූර්තයෙහි ගැලී සිටී නම්, පාපමිත්තේ හෙවත් පාප මිත්‍ර ඇසුර තිබේ නම්, විලෙහි පිටවන දොරටු සතර හැර තබා ජලය පිරවීමට උත්සාහ දරන්නා වැනි වෙයි. කෙතරම් ධනය ඉපැයුව ද ආර්ථික විල පිරෙන්නේ නැත.

තත්ථ දක්ඛෝ හොති අනලසෝ
තත්‍රෑපාය විමංසාය
සමන්නාගතො අලං කාතුං අලං
සංවිධාතුං

තමා විසින් තෝරා ගනු ලබන රැකියාවෙහි දක්ෂයකු විය යුතු ය. අනලස් ව රැකියාව කළ යුතු පිළිවෙළ, එය දියුණු කර ගන්නා ආකාරය මෙන් ම තමන් විසින් නොකළ යුතු දෑ පිළිබඳ අවබෝධයෙන් සිටිය යුතු ය.

තම රැකියාවෙන් ලබා ගන්නා ධනය සරු ජීවිතයක් ගත කිරීමට මෙන් ම ආර්ය මාර්ගයට පිවිසීමට අපේක්ෂා කරනු ලබන්නා විසින් කරුණු දහයක් ඔස්සේ තම ආර්ථික සම්පත මෙන් ම ආධ්‍යාත්මික සම්පත වර්ධනය කර ගැනීමට උත්සාහ දැරිය යුතු බව අංගුත්තර නිකායේ දසක නිපාතයේ වඩ්ඪ සූත්‍රයේ දේශනා කොට වදාළහ.

කෙත්වතු, ධන ධාන්‍ය, අඹු දරුවන් දැසි දසුන් හා කම්කරු පිරිස් සිවුපා සතුන් යන පළමු කරුණු පස ලෞකික ජීවිතය සැපවත් කර ගැනීම සඳහා ය.එසේම ආර්ථික මාර්ගයට අවතීර්ණවීමට හේතුවන සද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන කරුණු පස වර්ධනය කර ගන්නා මෙලොව දී මෙන්ම පරලොව දී ද සැපවත් ජීවිතයක් හිමි කර ගනී.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

දුරුතු පුර අටවක

 ජනවාරි 06 සඳුදා
අ.භා. 06.24 පුර අටවක ලබා
07 අඟහරුවාදා
අ.භා 04.28 න් ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]