දුරුතු පුර අටවක පෝ දා
2025-01-07
දියුණුවේ මාර්ගය
උනන්දුව හා ඕනෑකම වේ නම් ජීවිතයේ අභාග්‍ය සම්පන්න බොහෝ අවස්ථා වළක්වා ගත හැකි ය.
එහෙත් බොහෝ පිරිසක් සියල්ල කර්මයට ම බැර කරමින්, සුසුම් හෙළමින් තව තවත් පහත් තැනට
ම ගමන් කිරීම මේ සමාජයේ බොහෝ විට දක්නට ලැබෙන්නකි. උත්සාහයෙන් ලස්සනට ජීවත් වන අය
ගැන ඊර්ෂ්‍යා සහගත වෙමින්, වෛරයෙන්, ක්‍රෝධයෙන් තව තවත් සිත අපවිත්‍ර කර ගැනීම,
කෙලෙස් කඳු ගොඩගසා ගැනීම ඒ අතර කෙනකුගේ පුරුද්ද ය.
කළ කම්වලට තව තවත් අකුසල රැස් කර ගන්නවා විනා ආලෝකයක් දැකීමේ අදහසක් නැති මෙවැනි
පුද්ගලයෙක් වේ නම් හේ තමන්ට කර ගන්නා අනර්ථය මේ ජීවිතයට පමණක් නොව මරණින් මතුවට ද
බලපාන්නකි. තමන් ජීවත්වන පවුලට, ගමට, රටට, ලෝකයට එවැන්නකුගෙන් කරදරයක්, අයහපතක්
විනා හොඳක් සිදු වන්නේ නැත.
හොඳ - නරක ගැන, සොබා දහමේ නියමය ගැන යම් තරමක හෝ දැනුමක් වේ නම් එවැනි පුද්ගලයා
මෙසේ අඳුරෙහි ම නොගිලේ.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි දිව්‍ය පුත්‍රයෙක්
උන්වහන්සේට වන්දනා කොට පිරිහීමේ පුද්ගලයාගේ ස්වභාවය, පිරිහීමේ දොරටු මොනවාදැයි
විමසූහ. එහිදී අප ශාස්තෘන් වහන්සේ ඒ දෙව්පුතුට පෙන්වා දුන් පරිහානියේ දොරටු දැන,
එයින් මිදී දියුණුව වෙත යන්නට අවශ්‍යතාව ඇති ඕනෑම පුද්ගලයකුට හැකියාව ලැබේ.
ශ්‍රී සද්ධර්මය තුළ ජීවිතය ඔසවා තබන්නට ඇවැසි මහඟු මිණි අපමණවත් වේ. ඒ අප්‍රමාණ
ධර්ම කරුණූු ජීවිතයට ප්‍රායෝගික කර ගැනීම තුළ ලැබෙන වටිනාකම මිල කළ නොහැකි ය. සම කළ
නොහැකි ය. යම් හෙයකින් තමන් බොදුනුවෙකැයි නම් දරා ගන්නා පුද්ගලයෙක් අසාර්ථක වෙනවා
නම්, නොදියුණුවට වැටෙනවා නම් ඔහු අභාග්‍ය සම්පන්නයෙක් ම ය. බෞද්ධ නාමයට පවා නිගරු
දෙන්නෙක් බවට පත්වන්නේ ය.
කටු කොහොල් පිරි දුෂ්කර මාර්ගයක් වැනි ජීවිතය නම් වූ මාවතේ ගමන් කළයුතු වන්නේ ඒ
බාධා මඟහරවා ගනිමිනි. ශ්‍රී සද්ධර්මයෙහි කැමැති ව, ඒ දහම් මඟ යන්නාට කොපමණ කරදර
බාධක හමුවේ වුව ද නිරුපද්‍රිතව ජීවන යාත්‍රාව ඉලක්කය කරා රැගෙන යා හැකි ය. අභාග්‍යය
වන්නේ බොහෝ දෙනෙක් එය දැන දැනත්, වැරැදි මඟ ම යෑම ය.
එදා තථාගතයන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට පැහැදිලි කොට වදාළේ ජීවිතය ජය ගන්නා ඒ
නිවැරැදි ක්‍රමවේදය යි.
පව, අයහපත පි‍්‍රය කිරීම සමහර අයගේ පුරුද්දයි. ඔවුන්ට සමීප වන්නේ ද, එවැනි
අසත්පුරුෂ අයම ය. ඔවුන් ලුහුබැඳ යන්නේ ද අසත්පුරුෂයන් ම ය.
යම් පාපකාරී පුද්ගලයකුගේ ඉතිහාසය, වර්තමානය පිරික්සා බැලුවේ නම් ඔහු ඇසුරු කර
ඇත්තේ, ජීවිතයට සමීප කර ගෙන ඇත්තේ එවැනි ම අසත්පුරුෂයන් බව පැහැදිලි කර ගත හැකි ය.
සුදන ගුණ ඇත්තෝ ඒ පුද්ගලයාගේ ජීවිතයේ නොවෙති.
සුදනන් දුරු කරන්නා, දුදනන් ඇසුර ම පි‍්‍රය කරන්නා පි‍්‍රය කරන්නේ ද අසද්ධර්මය ම ය.
එවැන්නෙක් පරිහානිය ම මිස කවර නම් දියුණුවක් ලබන්න ද?
මත්ද්‍රව්‍ය භාවිතය, අවේලාවේ වීදි සැරීම, සමාජශාලාවල ගැවසීම ආදි අහිතකර විනෝදාස්වාද
නිසා අද සමාජයේ තරුණ, වැඩිහිටි වෙනසකින් තොරව බොහෝ පිරිස් අනාචාරයට වැටී ඇත. ළමා
කාලය ද විනාශ කරන්නට බොහෝ අසත්පුරුෂ ව්‍යාපාරිකයින් උත්සාහ දරමින් සිටී.
පුංචි දරුවාගේ පටන් තරුණ, වැඩිහිටි සියල්ලන්ට සත්පුරුෂ ඇසුර සේ ම සද්ධර්මය ද ළං කළ
යුතු ව තිබේ. ඒ සඳහා සියලු දෙනා වගකීමෙන්, වගවීමෙන් කටයුතු කරන්නේ නම් පුද්ගල සේ ම
සමාජ පරිහානිය ද වළක්වා ගත හැකි ය. |