උතුම් මහරහත් උදාන
පුරිසදම්මසාරථී වූ මුනිඳාණන් විසින් දමනය කරන ලද්දේ හික්මවීමට අසීරු කෙනෙක්ව යි.
දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටින්. සැක සංකාවෙන් ද තොරව යි. කෙලෙස් සටනින් ඔහුට
ජය ලැබුණා. බිය, තැතිගැනීම් කිසිවක් නැති ඒ ‘දබ්බ’ භික්ෂුව තම සිත නිවනෙහි පිහිටුවා
ගෙන පිරිනිවී යාවි.
දබ්බ
මහරහතන් වහන්සේ
****
ඒ භික්ෂුව සීත වනයේ සිටින කෙනෙක්. වාසය කරන්නේ හුදෙකලාවේම යි. ඉතාම සතුටින් කල්
ගෙවන්නේ. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදැහැ ගැනීම් කිසිවක් නැති ඒ නුවණැති
භික්ෂුව කායගතාසතිය මැනවින් රැකගෙන ඉන්නේ.
සීතවනිය
මහරහතන් වහන්සේ
****
මම ඉන්න වනයේ සීතල දිය දහර ආකාසය වගේ නිල්පාට යි. අවට භූමිය හරි ලස්සන යි. රාත්‍රි
කාලයට කලාමැදිරියන්ගෙන් පිරී එළිය වුණු ඒ කඳුවලට මම හරිම කැමැතියි.
වනවච්ඡ
මහරහතන් වහන්සේ
****
ඔහු මාරසේනාව බැහැර කෙරුවේ මහා සැඩ පහරකින් ඒදණ්ඩක් කැඩී බිඳී යන ආකාරයෙන්. කෙලෙස්
සටනින් ඔහුට ජය ලැබුණි. කිසිම බියක්, තැතිගැනීමක් දැන් ඔහු ළඟ නැහැ. ඔහු දමනය වෙලා
ඉන්නේ සද්ධර්මය තුළ යි. සිත නිවනෙහි පිහිටුවා ගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවී යාවි.
භල්ලිය මහරහතන් වහන්සේ
****
පුරිසදම්මසාරථී වූ බුදු පියාණන් වහන්සේ විසින් දමනය කොට වදාළේ හික්මවාලන්ට අසීරු
කෙනෙක්ව යි. දැන් ඔහු ඉන්නේ පුදුමාකාර සතුටින්. සැක සංකා ද ඔහු තුළ නැහැ. කෙලෙස්
සටනින් ඔහුට ජය ලැබුණා. ලොමුදැහැ ගැනීම්වලින් තොරව සිටින ඒ වීර භික්ෂුව සිත නිවනෙහි
පිහිටුවා ගෙන සිටින නිසා පිරිනිවී යාවි.
වීර මහරහතන් වහන්සේ
****
ඒ භික්ෂුව සද්ධර්මයේ පරතෙරට ම ගියා. උන්වහන්සේ ශාන්ත යි. දමනය වූ සිතින් යුක්ත යි.
තමා ගැනත්, අනුන් ගැනත් තිබුණ හැම ආශාවක් ම දුරු කර ගත්තා. කිසිම දෙයක් ගැන
උන්වහන්සේ තුළ ඇලීමක් නැහැ. දැන් ඒ භික්ෂුවට උපදින, වැනසෙන ලෝකය ගැන හොඳ අවබෝධයක්
තියෙනවා.
පුණ්ණමාස
මහරහතන් වහන්සේ |