[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

තරුණ කාලයේ යහපත ම හඹා යන්න

තරුණ කාලයේ යහපත ම හඹා යන්න

මනුස්ස ජීවිතය කියන්නේ දුර්ලභ දෙයක්. ඒකයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ “කිච්ඡෝ මනුස්සපටිලාභෝ” කියලා. මිනිස් කයක් ලැබීම ඉතාම දුර්ලභ දෙයක්. මේ වනවිට අපට ඒ දුර්ලභ මොහොත උදාවෙලා තියෙන්නේ.

මනුස්ස ජීවිතයක් ලබන්න අපි වාසනාවන්ත වුවත් ගතවන හැම නිමේෂයක ම, තත්පරයක ම, මේ වාසනාවන්ත ජීවිතේ අහිමි වෙමින් යනවා. ඒක සෙමින් සෙමින් වන දෙයක් නොවෙයි. ඉතා ම වේගයෙන්, නොනැවතී ම කාලය ගෙවී යනවා. එනිසයි අපි ළමා, තරුණ, වැඩිහිටි වශයෙන් නොසිතා මේ ධර්මය මුණගැසුණූ අවස්ථාවේ එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුත්තේ.

ළමා කාලයටත්, වැඩිහිටි කාලයටත් වඩා අපට වටින්නේ අපගේ ජීවිතයේ තරුණ කාලයයි. ඒ තරුණකම මනුස්ස ජීවිතය ඇතුළේ මහා දීර්ඝ කාලයක් තිබෙන්නේ නැහැ. ඉතාම කෙටි කාලයකින් තරුණ බව අහිමි වෙනවා. හැබැයි ඒ කෙටි කාලය තුළ අපගේ ශරීර ශක්තිය වැඩියි. ලෙඩ අඩුයි. පිළිවෙළට ඉන්න කැමැති කාලයක්. ඒ ලස්සන, තරුණ ජීවිතයට යහපත්කම එක්කර ගතහොත් මුළු ජීවිතය ම සුන්දර කර ගන්නට පුළුවන්කම තිබෙනවා.

එහෙත් තරුණකමින් මත්වෙලා, අසත්පුරුෂ ඇසුරට වැටිලා මෝඩක්‍රියා කළොත් මුළු ජීවිතය ම වරදීවි. එනිසයි තරුණකම මෝඩකමින් බේරා ගන්නට අප දක්ෂ විය යුත්තේ.

ලැබුණු මිනිස් ජීවිතයට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඇසුර ලැබුණොත් ඒ තමා අපගේ ලොකුම වාසනාව. උන්වහන්සේ ජීවිතයේ වරදින තැන් අපට පෙන්වා දෙනවා. අවවාද කරනවා. ඒ අවවාදවලට හික්මෙන කාටත් අලාභයක්, පාඩුවක්, අපහසුතාවක් ඇතිවෙන්නේ නැහැ.

තරුණ ජීවිතයේ අපට වරදින ප්‍රධාන කරුණක් තමා දුස්සීලකම. ප්‍රාණඝාතය, අන්සතු දේ සොරකම් කිරීම, වැරැදි කාම සේවනය, මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම ආදී කායික දුස්සීල අප කාගේත් තරුණ ජීවිත වනසා දමනවා. අවාසනාවන්ත විදියට විනාශ වෙනවා.

බොරුව, කේළම, පරුෂ වචනය, තේරුමක් නැති හිස් වචන, කතා කරන්න පුරුදු වුණොත් අපගේ ජීවිතය වරදිනවා. එය කුඩා කාලයේ පටන් අප පුරුදු වියයුතු පුරුද්දක්.

ඒ වගේ ම ජීවිතයක් සාර්ථක වීමට අත්දැකීම් ගොඩක් බලපානවා. ළමා කාලයේත්, තරුණ කාලයේත් තිබෙන්නේ සීමිත අත්දැකීම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය මදි සාර්ථක වැඩිහිටි ජීවිතයක් හදාගන්න. ඒ නිසයි සත්පුරුෂ වැඩිහිටි උතුමන්ගේ අත්දැකීම් සහිත ඔවදන් අපට වැදගත් වෙන්නේ.

වැඩිහිටියෙක් තම අත්දැකීම් තුළින් කෙතරම් අවවාද කළත් වැඩක් නැහැ, ඒ අවවාද තම ජීවිතයට ගළපා ගන්නේ නැති නම්. එසේ අවවාද ගළපා නොගන්නේ අකීකරුකම නිසයි. අකීකරුකම, තරුණ ජීවිත වනසා දමන අගුණයක්. නිතරම තරුණ සිතට සිතෙනවා මම දන්නවා, මට තේරෙනවා, මම පොඩි නැහැ කියන හැඟීම. ඒ සියල්ලම ජීවිතයේ අයහපත පිණිස ම පවතිනවා.

එනිසා ජීවිතය ජය ගන්නට කැමැති ඔබත් තරුණ කාලයේ දී ම සත්පුරුෂ ඇසුරට යොමු වෙන්න.

දුරුතු පුර අටවක

 ජනවාරි 06 සඳුදා
අ.භා. 06.24 පුර අටවක ලබා
07 අඟහරුවාදා
අ.භා 04.28 න් ගෙවේ.
07 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 07

Full Moonපසළොස්වක

ජනවාරි 13

Second Quarterඅව අටවක

ජනවාරි 21

Full Moonඅමාවක

ජනවාරි 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]