[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර අටවක පෝ දා 2024-12-08

තමා සම්මතයෙහි පිහිටීම

අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සම්බුද්ධ දේශනාවයි. එසේ වුව සමහර අයට තමා සම්මතයෙහි පිහිටන්නට අපහසු ය. එහෙත් අනුන් වැරැදි කරනවා දැකීම, වැරැදි මඟ යනවා දැකීම, අකටයුතුකම් දැකීම මහත් කොට සලකන ඔවුහු ඔවුනට නිවැරැදි වන්නට අවවාද දෙති. එහෙත් ඒ ඔවදන් අසන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. වැද්දන් දෙසන බණ වැනි හෙයිනි.

මිනිසා ස්වභාවයෙන් ම අනුකරණශීලි ය. අනුන් කියන කරන දේ ම කරන්නට සමත් ය. එහෙයින් යම් කෙනකුට මඟ පෙන්වන නියමුවා පළමුව තමන් නිවැරැදි මඟ යා යුතු ය.

කකුළුවා ගමන් කරන්නේ ඇදට ය. එහෙත් ඒ බව නොදන්නේ ය. තම දරුවන් ඇදට ගමන් කරනවා දකින කකුළු මව ඉදිරියෙන් යමින් දරුවන්ට ගමන් කළ යුතු ආකාරය පෙන්වයි. කකුළු දරුවෝ ඇය අනුකරණය කරති. ඇදට ම ගමන් කරති. මේ බොහෝ දෙනා අසා ඇති අපූරු කතන්දරයකි. උපහාසය සේ ම අර්ථවත් බව ද අන්තර්ගත ය.

වැඩි දෙනෙක් උපහාසය රස විඳිනවා මිස කකුළු අම්මාගේ වැරැදි ආදර්ශය ගැන නොසිතති. ඔවුන් ගේ චර්යා රටාවන් ද බොහෝ විට එවැනි ය. ඒ තුළ සමාජයේ කුඩා ම ඒකකය වන පවුලෙන් ඇරඹී මහා සමාජය දක්වා ම ඒ අවගුණය පැතිර යයි. එකල්හි විනය, හික්මීම ඇති සමාජයක් බිහි කරන්නේ කෙලෙස ද යන්න ගැටලුවකි. එහෙයින් සෑම සමාජ සාමාජිකයෙක් ම පළමුව තමා සම්මතයෙහි පිහිටන්නට වෙර විරිය වැඩිය යුතු ය. එවිට පහසුවෙන් ම සමාජයේ අවිනය දුරු වෙනු ඇත.

මේ ලොව එළිය දකින කෙනකුට ජීවිතය පිළිබඳ මුල් ම ආදර්ශය ලැබෙන්නේ අම්මාගෙනි. ඊළඟට පියාගෙනි. සම්බුද්ධ දේශිතයට අනුව මව්පිය දෙදෙනා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව්බඹ විහරණ ගුණයෙන් පූර්ණ ය.

සිව් බඹ විහරණ ගුණ වඩන මවක් - පියෙක් වේ නම් ඔවුහු කවරදාකවත් තමන්ගේ දරුවන්ට නරක ආදර්ශ නොදෙති. තම දරුවන් හා සමාන ව අන්‍ය දරුවන් ද සලකති. බුද්ධ, ධම්ම, සංඝ තෙරුවන් සරණ ගිය බෞද්ධ මව්පියන් මේ ගුණ දහමින් පොහොසත් ය. කවර තත්ත්වයක් හමුවේ වුව ඒ ගුණ මකා දමන්නට නොපෙළඹෙති.

එවැනි මවක්, පියෙක් කිසිදු හේතුවක් නිසා ප්‍රාණඝාත නොකරති. අනුන්ට හිංසා පීඩා වන අයුරින් නොහැසිරෙති. කුරා කුහුඹුවා කෙරෙහි පවා මෙත් සිතින් කටයුතු කරති. ඒ තුළ සත්ත්ව සංහතියේ පැවැත්ම තීරණය කරන පරිසරය පවා විනාශ නොකරති. නොදිරන අපද්‍රව්‍ය අනිසි ලෙස මුදාහරිමින් අපිරිසුදු නොකරති. තමන් ආහාර ගත් පසු බඳුනෙහි ඉතිරි වන ඉඳුල් වතුර ටික පවා බැහැර කරන්නේ ඇසට පෙනෙන නොපෙනෙන කවර හෝ ප්‍රාණියකුගේ කුස ගින්දර නිවා ගනීවා යන ප්‍රාර්ථනයෙනි.

සිව් බඹ විහරණ ගුණ පිරිපුන් මව්පියන් කිසිදාක අනුන්ගේ දේ සොර සිතින් නොගනිති. තමන් උපයා ගන්නා යම් දෙයක් වේ ද කිසිවකුට අහිතක්, අනර්ථයක් නොවන ලෙස සාධාරණ ව උපයති. ඔවුහු තමන් හම්බ කර ගෙන කන තැනට බොරු නොකරති. වංචා නොකරති. උපයන හැම ශතයකට ම ඔවුන්ගේ කායික, මානසික ශක්තිය වැය කරති.

කාමය වරදවා හැසිරීම, බොරුව, සුරාව ජීවිතයෙන් ම ප්‍රතික්ෂේප කරන මේ මව්පියවරු සැබැවින් ම තමා සම්මතයෙහි පිහිටියෝ ය. ඉතින් ඒ සෙවණේ හැදෙන, වැඩෙන දරු කැළ, අසල්වැසියන්, නෑ හිතමිතුරන් පමණක් නොව අහිතවත් වූවෝ ද ඒ මඟ යන්නට වෙර වඩනු ඇත. අද අවැසි එවැනි බොදුනුවන් වෙසෙන අපූර්වතම සමාජයකි.

උඳුවප් පුර අටවක

 දෙසැම්බර් 08 ඉරිදා පූ.භා. 09.44 පුර අටවක ලබා 09 සඳුදා
පූ.භා. 08.03 ගෙවේ.
 08 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

Second Quarterඅව අටවක

දෙසැම්බර් 22

Full Moonඅමාවක

දෙසැම්බර් 30

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]