[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සැප දුක හමුවේ කම්පා නොවීමේ වටිනාකම

සැප දුක හමුවේ කම්පා නොවීමේ වටිනාකම

අප තථාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ, උන්වහන්සේගේ කීර්තිය දස දෙස පැතිරුණි. උන්වහන්සේ උදෙසා පුදසත්කාර ගලා එන්නට විය. මේ පිළිබඳ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායෙහි ප්‍රථම භාගයේ සඳහන් සුන්දරී සූත්‍ර දේශනාවේ දී විවරණය කර තිබේ.

බුදුරජාණන් වහන්සේට ලැබෙන මේ කීර්ති ප්‍රශංසා, ඉවසන්නට, දරාගන්නට බැරි පිරිසක් ද සමාජයේ විය. විශේෂයෙන් පිරිවැජියන් ඒ අතර විශේෂ ය. සුන්දරී නම් පරිබ්‍රාජිකාව උපායෙන් ඝාතනය කොට ප්‍රාණය නිරුද්ධ සිරුර ජේතවනාරාමයේ දිය අගලෙහි සැඟවිය. ඉන්පසු ඔවුහු කොසොල් රජු හමු වී

“අපේ පරම්පරාවේ සිටි ලස්සන ම, හොඳ යහපත් කාන්තාවකි සුන්දරී. ඇය දවස් කිහිපයක සිට ආගිය අතක් නැහැ. ඒ නිසා අපට සැකයක් හටගෙන තිබෙනවා.

ඇය මරණයට පත් කර ඇතැයි කියා” යැයි පැවසූහ.

සුන්දරී ජේතවනාරාමයට නිතර යන්නට, එන්නට වූ නිසා ඇයගේ මරණය ගැන ජේතවනාරාමයේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවක පිරිස පිළිබඳ සැකයක් හටගෙන ඇතැයි පැවසූහ.

ඔවුන් විසින් ම දිය අගලෙහි සඟවා තිබූ ඇයගේ සිරුර ගොඩ ගනු ලැබුවේ ය. ඒ මොහොතේ දී වර්තමාන සමාජයේ සිද්ධ වන කාර්යයක් සිදු වුණි. එනම් වර්තමානයේ සාමාන්‍යයෙන් කවුරු හෝ පුද්ගලයෙක් මේ ආකාරයට මරණයට පත් වූ විට ඒ සිදුවීමේ සත්‍ය, අසත්‍යතාව විමර්ශනය නොකෙරේ.

ප්‍රාණය නිරුද්ධ සිරුර තැන් තැන්වලට රැගෙන ගොස් ප්‍රදර්ශනය කරමින් අයුතු ලෙස සමාජ, පුද්ගල ප්‍රයෝජන ලබන්නට උත්සාහ කිරීම දක්නට ලැබේ. සුන්දරී පරිබ්‍රාජිකාවගේ මරණයත් මොවුන්ට හොඳ අවස්ථාවක් විය.

ඒ බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවකයන් වහන්සේට කිසියම් ආකාරයක තද බල සමාජ විරෝධතාවක් ගොඩනැඟීමට ය. සුන්දරී පරිබ්‍රාජිකාවගේ සිරුර ප්‍රදර්ශනය කරමින් බුදුරජාණන් වහන්සේට හා ශ්‍රාවක භික්ෂූන් වහන්සේට ඔවුහු දොස් කීහ. බුදුහාමුදුරුවන්ට හා ශ්‍රාවක භික්ෂුන් හට සීලයක් නැහැ. මේ සුන්දරීගේ මරණයට අනිවාර්යයෙන් ම වගකිව යුතු වන්නේ ඔවුන් පමණයි” යැයි කියා මතයක් ගොඩනැගූහ. මෙවන් අවස්ථාවක දී සත්‍ය අසත්‍යතාව සොයා බැලීමකින් තොරව පෘතග්ජන මනුෂ්‍යයෝ සාමාන්‍යයෙන් කරන්නේ ලෝකයා විසින් කියන දේ සත්‍ය ආකාරයට පිළිගැනීම ය. එදා සමාජයත් ඒ අදහස සම්පූර්ණයෙන් ම පිළිගැනුණි. සමාජ විරෝධතාවක් ගොඩනැඟුණි.

මේ හේතුවෙන් උන්වහන්සේට පිණ්ඩපාතය ලැබුණේ නැත. නින්දා, අපහාස ම ලැබුණි. නොයෙක් වූ චෝදනාවන්ට ලක් වුණි. එවිට භික්ෂූන් වහන්සේ “අපට පිණ්ඩපාතයේ වඩින්නට පුළුවන්කමක් නැහැ. අපට මේ සමාජ විරෝධතාව ඉවසා දරා ගැනීමට පුළුවන්බවක් ඇත්තෙ නැහැ’යි බුදුරජාණන් වහන්සේට පැමිණිලි කළහ. ඒ මොහොතේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නින්දා, අපහාසයන්ට බිය වෙන්න එපා. ඒවා කාලයත් සමඟ අතුරුදහන් වෙනවා. සමහර ප්‍රශ්නවලට උත්තර කාලය විසින් ම ලබා දෙනවා. සමහර ප්‍රශ්නවලට අපි උත්තර සෙවූ මුත් පිළිතුරක් සොයන්න හැකියාවක් ඇත්තේ නැහැ යනුවෙනුයි.

සාමාන්‍ය සමාජය කාලයත් සමඟ සත්‍ය කුමක්දැයි තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙන් ම ශ්‍රාවක භික්ෂූන් නිවැරැදි යැයි අවබෝධ කර ගත්තා.

සාමාන්‍ය පෘතග්ජන වූ අපට මෙවැනි ප්‍රශ්නයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා නම් කවදාවත් ම අකම්පිත විය යුතු නැත. මේ ලෝකයේ සදාකල්හි ම ලාභය හෝ කීර්තිය හෝ ප්‍රශංසාව හෝ ලබන අය ඇත්තේ නැත.

එක් අවස්ථාවක කීර්ති - ප්‍රශංසා ලබන විට තවත් විටක අලාභ - අපකීර්ති ලබන්න හැකි ය. ඒ අපකාටත් පොදු වූ ධර්මතාවකි.

එනම් සාමාජීය වශයෙන් ලැබෙන ප්‍රශ්න. එමෙන් ම පූර්ව කර්මය කොපමණ නම් උසස් සමාජ තලයක ජීවත් වුවත් පෙර සංසාරය තුළ කර තිබෙන සමහර කුසල කර්මයන් වඩාත් බලවත් වෙනවා. සමහර අකුසල කර්මයන්ගෙන් කොහෙත් ම ගැලවෙන්න ම පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකට වුවත් ඒ දේට ඒ ආකාරයට ම මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා අප සාමාන්‍ය පෘථග්ජනයන් ලෙස ආත්ම ශක්තිය ගොඩනඟාගෙන නිවැරැදි තැනක සිටියොත් ලෝකයාගෙන් ලැබෙන නින්දාවට මෙන්ම ලාභයට මුහුණදීමේ ශක්තිය ලැබෙනවා.

ලෝක ධර්මයන් අතුරෙන් ලාභය යනු තමන් විසින් බලාපොරොත්තු වන්නා වූ ආහාරපාන, වස්ත්‍ර මිල - මුදල්, කීර්ති - ප්‍රශංසා ආදිය ලැබීම ය. අලාභ යනු ඒ ලැබූ දෑ නැතිවීම ය. ඉදිරියට නො ලැබීම ය. කලෙක බොහෝ ලාභ ඇතිව පොහොසත් ව ජීවත්වන තැනැත්තා වෙත කලෙක දී අලාභය පැමිණිය හැකි ය. දිළිඳු බවින් පීඩිත තැනැත්තා වෙත කලෙක ලාභය පැමිණෙන්නේ ය . මේ ලෙස ලාභ - අලාභ දෙක චක්‍රයක් සේ කැරකෙන්නේ ය. එහෙයින් ලාභයේ දි උදම් වීම හෝ අලාභයේ දී කම්පා වීම හෝ අර්ථ විරහිත බව දැන සම ව දිවි ගෙවීමට පුරුදු පුහුණු වීමට උත්සාහ කළ යුතු ය.

වප් අව අටවක

 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01.24 අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 02.03. ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]