වප් අව අටවක පෝ දා
2024-10-24
නිවන් මඟ
පහසු කරවන මඟ
ලාභ - අලාභ, අයස - යස, නින්දා - ප්‍රශංසා, සැප - දුක යනු මේ ලෝකයේ ඕනෑම කෙනකුට
මුහුණ දෙන්නට සිදුවන ධර්මතා ය. සම්බුදු දහම තුළ එය විග්‍රහ වන්නේ අටලෝදහම ලෙස ය.
සම්බුද්ධාවවාදය කවර මොහොතක හෝ මේ අටලෝදහම හමුවේ කම්පා නොවීමයි.
ලාභය සැමදාමත් නොපවතී. අලාභයන් ට ද මුහුණ දෙන්නට සිදුවේ. ලැබීම් හමුවේ අතිශය උද්දාම
වූවකුට නො ලැබීම් දරාගන්නට ඉතා අපහසු ය. ජීවිතය ම කඩාවැටුණු සෙයක් දැනේ. උද්දාමයත්
- මානසික බිඳ වැටීමත් දෙකම පුද්ගලයාගේ දියුණුවට බාධාවකි.
ඇතැම් පිරිස් නොලැබීම් ඉදිරියේ කෙසේ හෝ දේවල් හිමි කර ගන්නට උත්සාහ කරන්නේ අර්ථය –
අනර්ථය ද නොසිතමිනි. ඇතැම් විට මහා පාප කර්ම පවා රැස්කර ගනී. එය මෙලොව ද දුකට පැමිණ
පරලොව දුගතියට යන මඟෙකි. තමන් පමණක් නොව අන්‍යයන් ද විපතේ ඇද දැමීමකි. එහෙයින් ලාභ
- අලාභ දෙකම සම සිතින් දරාගන්නට සිතට පුරුදු කළ යුතු ම ය.
එක් අවස්ථාවක යසසින් වැඩෙන පුද්ගලයා තවත් විටෙක අයසට වැටේ. මේ ලොව නින්දා නොලැබූ
කෙනෙක් නැත. කරන වැරැදි හමුවේ නින්දා හිමිවීම සාමාන්‍යය. එහෙත් නිවැරැදි ව ජීවත්වන
කෙනකුට නින්දා ලැබීම දරා ගැනීමට නොහැකි විය හැකි ය.
එසේ යැයි නින්දා නොලබන කෙනෙක් මේ ලොව නැත. පුහුදුන් මිනිසා උත්සාහ කරන්නේ ම අනුන්ගේ
වැරැදි සෙවීමට ය. නැති වැරැදිත් අනුන් පිට පටවා තමන්ගේ වැරැදි සඟවා ගන්නට ය. එක්කෝ
අනුන් නින්දාවට පත්කොට හෝ තමන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගන්නට ය. ලෝභ, ද්වේෂ, මෝහාදී
අකුසල මූල ක්‍රියාත්මක වන තරමට මේ දුර්ගුණ ඉහළ ය.
අප ශාස්තෘන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට පවා එකල මිථ්‍යා මත දැරූ පාපකාරී
පිරිස් නින්දා කළහ.
අපකීර්තියට පත්කළහ. එහෙත් දුදනන් ගේ ඒ දුෂ්ඨ ක්‍රියා, උන්වහන්සේගේ සුදන ගුණ හමුවේ
හිරු දුටු පිනි සේ වියැකී ගියේ ය. කවුරු, කොපමණ නින්දා අපහාස කළත් අප තථාගතයන්
වහන්සේ නොසැලී සිටියහ. තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ද නොසැලී සිටින්නට අවවාද කළ සේක.
තුන් ලෝකයට අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ නමකට පවා මෙසේ නින්දා විඳින්නට සිදු වූවා
නම්, සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකුට නින්දා නොලැබේ යැයි සිතන්නට හෝ නොහැකි ය.
කෙනෙක් ප්‍රශංසා ලබන්නේ ප්‍රශංසා කටයුතු ලෙස ජීවත් වීම නිසා ය. එහෙත් තවත් කෙනෙක්
බොරුවෙන්, වංචාවෙන්, රැවටීමෙන්, මවා පෑමෙන් ප්‍රශංසා ලබති. සැබැ ප්‍රශංසාව කෙනකුගේ
සතුටට කරුණකි. එහෙත් අනවශ්‍ය උද්දාමය නුසුදුසු වන්නේ ඊළඟ මොහොතේ නින්දා ලැබීම ලෝක
ස්වභාවය වන නිසා ය.
සැප මිස දුක ප්‍රාර්ථනා කරන කිසිවෙක් නැත. එහෙත් සැප හෝ වේවා, දුක හෝ වේවා සදාකාලික
නැත. මේ අටලෝ දහමේ ස්වභාවයයි. එය කැරකෙනවා මිස නැවතීමක් නැත. එසේ නම් බෞද්ධයන් ලෙස
අප උත්සාහ කළ යුතු ඒ ලෝදහම හමුවේ කම්පා නොවී යහපත් ජීවිතයක් ගෙවීමට ය. ඒ මඟ නිවන්
මඟ පහසු කරන්නේ ය. |