අනුන්ගේ ජයග්‍රහණ ඉවසන්න
දරුවන්ට හුරු කරන්න
දහම් පාසල් දරුවන් අතර තරග තියෙන්ට ඕනෑ, දරුවන් තරග කළ යුතු තමයි ,ඒත් අපි හොඳට මතක
තියාගන්න ඕනෑ, තරග පැවැත්වීමට වඩා අද අවශ්‍ය වන්නේ දරුවන් තුළ ගුණධර්ම දියුණු
කිරීමයි යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, ශ්‍රී කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ කර්මවාගාචාර්ය, අග්ගමහා
පණ්ඩිත, මැදගම්පිටියේ විජිතධම්ම නාහිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ,බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ,සමස්ත ලංකා
දහම් පාසල් සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේ කළුතර උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම්
පාසල් දරු දැරියන් අතර පැවැති සිසු නිපුණතා ඇගයීම්වල දී පසු ගිය දින, කළුතර
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පැවැති , ත්‍යාග හා සහතික පත්‍ර
ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අනුශාසනාව පවත්වමිනි.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, බණ්ඩාරගම කිඳීල්පිටිය ශ්‍රී මහා
විහාරස්ථානාධිපති, බණ්ඩාරගම ජාතික පාසලේ හිටපු විදුහල්පති (විශ්‍රාමික) මකුරුප්පේ
සෝමාලංකාර නාහිමියන්ගේ මූලාසනයෙන් පැවැති මෙම උත්සවයේ දී , වැඩිදුරටත් අදහස් පල කළ
මැදගම් පිටියේ විජිත ධම්ම නාහිමියෝ මෙසේ ද පැවසූහ.
“මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ බෞද්ධ පුනරුදයේ විශාල දියුණුවක්
දක්නට ලැබුණු අතර, බෞද්ධ දහම් පාසල් ක්‍රමය ආරම්භ වුණාට පසුව අපේ රටට අලුත් බෞද්ධ
ප්‍රබෝධයක් ඇතිවුණා. බෞද්ධ දහම් පාසල් ආරම්භ වීමේ ලා ඓතිහාසික පානදුරාවාදීන්ට ලොකු
ආලෝකයක් ලැබුණ බව අපි කවුරුත් දන්න සත්‍යයක්. එහිදී කළුතර ප්‍රදේශයේ බෞද්ධ යතිවරයන්
වහන්සේගෙන් ඉටු වූ ශාසනික කාර්යභාරය අපට කිසිදාක අමතක කරන්න බැහැ.
අදත් මේ උත්සව සභාවේ වැඩසිටින වස්කඩුවේ මහින්දවංශ මහා නා හිමියන් නියෝජනය කරන
වස්කඩුවේ ශ්‍රී සුභූති නාහිමියෝ ඒ සඳහා සුවිසල් ඥානමය දායකත්වයක් ලබා දුන්නා.
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ට ඓතිහාසික පානදුරාවාදය සිදු කරන්නට අවශ්‍ය වූ ඥානමය
පසුබිම ලබා දුන් උතුමන් අතර එක් උත්තමයන් වහන්සේ කෙනෙක් තමයි වස්කඩුවේ සුභූති
නාහිමියෝ. ඒ නිසා උන්වහන්සේ බඳු සංඝ පීතෘවරුන්ගේ මඟපෙන්වීමේ ලැබූ, කළුතර පළාතේ
වර්තමාන ශාසනික ප්‍රබෝධය සඳහා, අද දින කළුතර උතුර ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී
රාජකීය පණ්ඩිත පූජ්‍ය මොරොන්තුඩුවේ සෝභිත නාහිමියන්ගේ නායකත්වය යටතේ දහම් පාසල්වල
සිසු නිපුණතා තරග පවත්වා දක්ෂ දරු දැරියන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රධානය කිරීම
මා ඉතා අගය කොට සලකන දෙයක්.
තරගය කෙසේ වෙතත් බෞද්ධ දරු දැරියන් තුළ මා වඩාත් අගය කරන්නේ ගුණධර්ම හා හොඳ සිරිත්
විරිත් වර්ධනය කිරීමයි. දහම් පාසලකින් සිදුකෙරෙන මූලික වගකීම වනුයේ දහම් දැනුම
දෙනවා වගේ ම බෞද්ධ ජීවන රටාවකට දරුවන්ගේ ජීවිත සකස් කොට ගුණ ධර්මවලින් සහ යහපත්
ධනාත්මක ආකල්පවලින් දරුවන් පෝෂණය කිරීමයි.
අද දහම් පාසල්වල අපේ සමහර හාමුදුරුවරු ලොකු වැරැද්දක් කරනවා ,ඉරිදා දවස්වල දී දරුවෝ
දහම් පාසලට ඒමට පෙර මළුව අතුගා දමා , ශාලාව සුද්ධ පවිත්‍ර කොට සූදානම් කොට තබා
ගන්නේ, දරුවන් එනකොට හරියට ‘ පිලිගන්න’ සූදානම් කරනවා වගේ. ඒක සුදුසු නැහැ. අද දහම්
පාසල් යන දරුවන්ට කොස්ස, ඉදල පුරුදු නැහැ, පන්සලේ විහාර මළුව අතුපතු ගාන්න,
ධර්මශාලාව පිරිසිදු කරන්න, කොස්ස, ඉදල අතට ගන්න දරුවන්ට හුරු නැහැ. මේවට වග කියන්න
ඕනේ මව්පියෝ. ගෙදරදොරේ දී මව්පියන් උනන්දුවන්නේ උදේ ඉඳලා රෑ වෙනතුරුත් පන්ති ගානෙ
අරගෙන ඇවිදගෙන යන එක. උදේ ඉඳලා හැන්දෑ වෙන කන් දරුවෝ මහ මඟ බාහිර උපකාර පන්තිවලට
ඇදගෙන යනවා, දරුවන්ට ගාථාවක් දෙකක් කියලා දීලා මල් පහන් පූජා කරන්න. බුදුන් වඳීන්න
යොමු කරන්න වෙලාවක් නැහැ, අධ්‍යාපනය නැමැති තරගයට විභාග පාස් කිරීම නැමැති තරගයට
දරුවන් යොමු කරන්න තමයි මව්පියන්ගේ උත්සාහය
අද දහම් පාසල් එන දරුවෝ දහම් පාසල් අවසාන විභාගයෙන් පස්සේ පළාතට වත් එන්නේ නැහැ.
පන්සලේ වැඩකට, ශ්‍රමදානයකට එන්න කිව්වොත්, එන්නෙ කීප දෙනෙක් විතරයි, අද පන්සලක
කොඩියක් දමාගන්න, ළමයෙක් හොයාගන්න අමාරුයි. එන්න කියලා පණිවිඩයක් යැව්වොත් එන්නේ
අතළොස්සක් ළමයි විතරයි.
හැබැයි දහම් පාසලේ තෑගි බෙදා දීමේ උත්සවයක් තියෙනවා කිව්වොත් ධර්මශාලාව පිරෙන්න
ළමයි විතරක් නොවේ මව්පියොත් එනවා, එතකොට නම් ශාලාව පිරෙන්න සෙනඟ.
අද දරුවන්ට කෘතවේදී බව අඩුවෙලා, දහම් පාසල් ආවට, දහම් දැනුමෙන් තෑගි දිනුවත් දරුවන්
තුළ හාමුදුරුවන් කෙරෙහි තියෙන ගෞරවය සැලකිල්ල හරිම අඩු බවයි පේන්න තියෙන්නේ.
දැන් බලන්න සහතික ලබාගන්න මේ වේදිකාවට දරුවා ආවා, සහතිකය ලබා ගන්නට පෙර
හාමුදුරුවන්ට වඳීන්න කියලා කියන්න අපට සිද්ධ වුණා, සමහර ළමයි නම් අපි කියන්න කලින්
හොඳ බෞද්ධ දරුවෝ හැටියට හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා තමයි සහතිකය ලබා ගත්තේ.
දරුවන් ළඟ දහම් පාසල් අධ්‍යාපනය ලැබුවත් තවමත් ගුණධර්ම නැති බවයි, හාමුදුරුවන්
කෙරෙහි ගෞරවයක් නැති බවයි මට නම් පේන්න තියෙන්නේ.
පහුගිය දවසක මම විශ්ව විද්‍යාලයට ගිහිල්ලා දේශන පවත්වලා, වාහනයෙන් යළි එද්දී,
වාහනයෙන් බහිනකොට, මගෙන් ඉගෙනගෙන විශ්ව විද්‍යාලයක සහායක කථිකාචාර්යවරයෙක් වෙච්ච
මගේ ගෝලයෙක් මාව දැකලා නොදැක්කා වගේ දුවගෙන ගියා. මම එයාට කතා කරලා කියා දුන්නා කළ
වැඩේ වැරැද්ද මොකක්ද කියලා. මේක හරිම කනගාටුදායක තත්ත්වයක්.
අන්න එහෙමයි අපේ දරුවෝ හාමුදුරුවන්ට සලකන්නේ.
තවත් කාරණයක් තමයි. දරුවන්ට අනුන් ව ඉවසන්න පුරුදු කරන්න ඕනෑ, තරගයක දී , ජයග්‍රහණය
කරන දරුවා සමඟ අනිත් සියලු ම අය තරහයි. ඒක මනුස්සයාගේ සාමාන්‍ය ස්වභාවය. එනිසා තමයි
කිව්වේ අනුන්ගේ ජයග්‍රහණය , පරාජය වෙච්ච හැම කෙනෙක් ම ඉවසන්න. දරාගන්න, විඳගන්න
පුරුදු වෙන්න ඕනෑ. මේ ගුණධර්ම දහම් පාසල්වල ධර්මය උගන්වන ගුරුවරුන් අතින් සිද්ධ
වෙන්න ඕන දෙයක්.
දහම් පාසල් පද්ධතිය කර ගෙන යෑම හරි අමාරු වැඩක්. අපේ හාමුදුරුවන් වහන්සේ උදේ පාන්දර
නැඟිටලා දහම් පාසල සූදානම් කරන්නට පුදුම කැපවීමකින්, උත්සාහයකින් තමයි වැඩ කරන්නේ.
ගිහියෝ සහ මව්පියෝ, දරුවෝ මේ බව දන්නේ නෑ .
දහම් අධ්‍යාපනයෙන් පස්සේ දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අද පන්සල හා දහම් පාසල අමතක
කරලා දානවා. ඒ අයට ආයෙත් පන්සල් වුවමනා වෙන්නේ කසාද බඳීන කොට තමයි. පිරිත් ටිකක්
කියවගන්න ඕන උනාම තමයි. ඊට පස්සේ ආයෙත් අමතක වෙනවා. ඊට පස්සේ පන්සල උවමනා වෙන්නේ ,
බබා හම්බ වෙනකොට පිරිත් ටිකක් කියවගන්න , බෝධි පූජාවක් පවත්වා ගන්න ඕන වෙනකොට තමයි.
ඒ වැඩේ කර ගත්තට පස්සේ ඊළඟ වතාවටත් පන්සල අමතක කරනවා, නායක හාමුදුරුවෝ අමතක කරනවා,
පන්සල අමතක කරලා දානවා. ඊළඟට වුවමනා වෙනව මරණයක දී මියගිය ඇත්තා වෙනුවෙන්
පාංශුකූලයට පින් අනුමෝදන් කරවගන්න. අන්න ඒ විදිහට තමයි අපේ බෞද්ධයෝ බොහොම දෙනෙක්
හාමුදුරුවරුන්ට සලකන්නේ. බෞද්ධයෝ හැටියට මේ තත්ත්වය වෙනස් වෙන්න ඕනෑ. සැබෑ
බෞද්ධයෙක් නම්, ඔබලාගේ ජීවිතයේ සෑම අවස්ථාවක දී ම තමන්ට ඉගැන්නූ, ධර්මයෙන් පෝෂණය
කළ, ඔබ ව හැඩ ගැස්සූ හාමුදුරුවරු කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.
යම් යම් දේ ලබා ගැනීම සඳහා, යම් යම් ප්‍රතිලාභ සඳහා පමණක් හාමුදුරුවන් ව යොදා ගන්න
හොඳ නැහැ.
කාරණා කීපයක් තියෙනවා රටක් දියුණු වෙන්න නම්. රටට හොඳ නිෂ්පාදන ඇති කරන නිෂ්පාදකයෝ
ඉන්නත් ඕන, වගා කරන ගොවියො ඉන්නත් ඕනෑ, බඩු භාණ්ඩ හදන, අලුත් දෑ නිෂ්පාදනය කරන අය
ඉන්නත් ඕනැ. ඒ තමයි පළවෙනි කාරණය.
ඊළඟ කරුණ තමයි වගා කරන බතබුලත, බඩු භාණ්ඩ ,මුදල් බවට පත් කරන ව්‍යාපාරික ප්‍රජාවක්
ඉන්නට ඕනෑ, එය තමයි දෙවෙනි කාරණය.
තුන්වැනි කාරණය තමයි කොයිතරම් ආහාරපාන, බඩු භාණ්ඩ, විවිධ නිෂ්පාදන තිබුණත් ඒ කොයි
දේ තිබුනත් ඒ රටේ මනුෂ්‍යයන් තුළ යහපත් ගුණධර්ම නැත්නම්, අනුන්ට ගරු කිරීම, එකිනෙකා
සමගියෙන් ජීවත්වීම දකින්නට නැත්නම් කෘතවේදී බව දකින්නට නැත්නම්, හොඳ යහපත් ගුණධර්ම
දකින්නට නැත්නම් කවදාවත් ඒ රට දියුණු වෙන්නේ නැහැ.
මේ දියුණුව ඇති කරන්න නම් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ඉටු වන්නේ වචනයෙන් කියා නිම
කළ නොහැකි අති විශාල කාර්යභාරයක්. රටක් දියුණු වෙන්න නම් හොඳ නායකත්වයක් විතරක්
තිබුනට මදි. හොඳ නායකත්වයක් සමඟ ම ඒ රටේ මනුෂ්‍යයන් තුළත් හොඳ ගුණධර්ම සිරිත්
විරිත් ආදරය කරුණාව මෛත්‍රිය මේ හොඳ ආකල්ප තියෙන්න ඕන, ඒවා දකින්න නැත්නම් රටක්
දියුණු වෙනවා ය කියන එක කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ.”
කළුතර උතුර ශාසනාරක්ෂක මණ්ඩලයට අයත් දහම් පාසල් දරු දැරියෝ 250 ක් පමණ සංඛ්‍යාවක්
මෙහිදී සිසු නිපුණතා ඇගැයීම් සහතික පත්‍ර ලබා ගත් අතර, එම අවස්ථාවට කළුතර උතුර
ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී, උග්ගල්බඩ මල්අස්නේ රාජමහා විහාරාධිපති මොරොන්තුඩුවේ
සෝභිත හිමි, ශ්‍රී ලංකා අමරපුර නිකායට අයත් සද්ධම්මෝදය නිකායේ මහානායක, වස්කඩුවේ
මහින්දවංශ මහානාහිමි, වාද්දුව මැලෑගම , සුගත බිම්බාරාම විහාරස්ථානයේ විහාරාධිපති,
වාදූ්දුව මධ්‍ය විද්‍යාලයේ ධර්මාචාර්ය, හඳුන්ගමුවේ ධම්මානන්ද හිමි, යන යතිවරයන්
වහන්සේ සමඟ කළුතර දිස්ත්‍රික් අතිරේක ලේකම්, කළුතර දිස්ත්‍රික් සහකාර ලේකම්, කළුතර
දිස්ත්‍රික් හා කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක යන නිලධාරී
මහත්ම මහත්මීන්, දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමිවරු, දහම් පාසල් ප්‍රධානාචාර්ය මහත්ම
මහත්මීහු, ගුරුභවතුන්, දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
වාර්තාව සහ ඡායාරූප:
කළුතර මධ්‍යම විශේෂ එච්.එල්. සුනිල් ශාන්ත |