[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සත්පුරුෂ ගුණදම් පෝෂණයට යහපත් ඇසුර

සත්පුරුෂ ගුණදම් පෝෂණයට යහපත් ඇසුර

අපගේ ජීවිතයේ දියුණුවත්, පිරිහීමත් තීරණය වීමට අප ඇසුරු කරන පුද්ගලයන් ඉතා තීරණාත්මක ව බලපෑම් කරනවා. ඉතා දුර්ජනයකු ශ්‍රේෂ්ඨයකු වීමටත්, ඉතා දක්ෂයකු දුර්ජනයකු වීමටත් මුළුමනින් ම ඇසුරු කරන පුද්ගලයන් හේතු වෙනවා.

ඉතිහාසය පුරාවටත්, වර්තමානයේත් සිදු වූ කොතෙකුත් සදෘශ්‍ය සිද්ධීන් ඊට සාක්ෂි දරනවා.

එනිසා පුද්ගල ඇසුර පිළිබඳ යම් අවබෝධයක සිටීම අප කාහටත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. සර්වසම්පූර්ණ ජීවිතයක් ඇති, සියල්ල අවබෝධ කර ගත් මහා නුවණැති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගල ඇසුර පිළිබඳ නොයෙක් පර්යායන්වලින් දේශනා කළ සූත්‍ර දේශනා සිය ගණනක් අපට පෙළදහම තුළ මුණගැසෙනවා.

එක් අවස්ථාවක ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

“යම් විදිහක කෙනෙක් එක්ක නම් මිතුරුකම් කරන්නේ. යම් විදිහක කෙනෙක් නම් ආශ්‍රය කරන්නේ, ඔහු අන්න ඒ විදිහේ කෙනෙක් වෙනවා. ඔහු සමඟ එකට ආශ්‍රය කිරීමත් ඒ වගේමයි.

දිගින් දිගටම ඇසුරු කරන කොට අනික් කෙනාගේ ගතිගුණ අර ඇසුරු කරන කෙනාටත් පුරුදු වෙනවා. විෂ පොවපු ඊතලයක් නිතර නිතර හොඳ ඊතල ගොඩේ දානවා නම් ඒ ඊතලවලත් විෂ තැවරෙනවා. ඒවගේ නුවණැති කෙනෙක් වුණත් පාපී යහළුවන් ඇසුරු නොකළ යුත්තේ පව් තවරා ගන්න තියෙන බිය නිසාම යි.”

විෂම ගති පැවතුම් ඇති සමාජයේ ඇතැම්විට අපි යම් යම් අයගේ ඇසුරට පත්වන්නේ නිරායාසයෙන්ම යි. පුද්ගලයන් දස දෙනකු ගතහොත් ඒ ඒ කෙනා ඇසුරට පි‍්‍රය කරන්නේ දස ආකාරයේ පුද්ගලයන්. ඊට බොහෝවිට එකිනෙකාගේ රුචි අරුචිකම්, සංසාරික පුරුදු, විවිධ ආකල්ප හා දෘෂ්ටීන් හේතු වෙනවා. ධර්මයෙන් වේවා, අධර්මයෙන් වේවා සමාන අදහස් ඇති අය ඔවුනොවුන් ඇසුරු කිරීමට පි‍්‍රය කරනවා. එය ලෝකයේ හැමදාම පවතින ස්වභාව න්‍යායක්.

“පින්වත් මහණෙනි, අතීතයේ දී හෝ අනාගතයේ දී හෝ......වර්තමානයේ දී හෝ මේ සත්ත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. ළාමක අදහස් ඇති සත්ත්වයන්, ළාමක අදහස් ඇති සත්ත්වයන් සමඟ අගේට පෑහී යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්ත්වයන්, සමඟ අගේට පෑහී යනවා. එකතු වෙලා යනවා. යහපත් අදහස් ඇති සත්ත්වයන්, යහපත් අදහස් ඇති සත්ත්වයන් සමඟ අගේට පෑහි යනවා. එකතු වී යනවා.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ ද වදාළා.

“පින්වත් මහණෙනි, අතීත කාලයේ දී වේවා, අනාගත කාලයේ දී වේවා, වර්තමාන කාලයේ දී වේවා මේ සත්ත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්.

සැදැහැ නැති උදවිය අගේට පෑහිලා යන්නේ, එකතු වී යන්නේ සැදැහැ නැති උදවියත් සමඟ ම යි. පවට ලජ්ජා නැති උදවිය අගේට පෑහිලා යන්නේ. එකතු වී යන්නේ පවට ලජ්ජා නැති උදවිය සමඟම යි. විපාකයට බය නැති උදවිය අගේට පෑහි යන්නේ, එකතු වී යන්නේ විපාකයට බය නැති උදවිය එක්ක ම යි. දහම ගැන දැනඋගත් නැති උදවිය, දහමේ හැසිරෙන්නට කුසීත වූ උදවිය, සිහිමුළා වූ උදවිය, අඥාන උදවිය අගේට පෑහී යන්නේ, එකතු වී යන්නේ අඥාන උදවිය එක්කමයි.”

“පින්වත් මහණෙනි, අතීත කාලයේ දී පවා, අනාගත කාලයේ දී පවා..වර්තමාන කාලයේ දී පවා සත්ත්වයන් සැසඳිලා යන්නේ, එකතු වෙන්නේ ධාතු ස්වභාවයකින්. සැදැහැවත් උදවිය අගේට පෑහී යන්නේ, එකතු වී යන්නේ සැදැහැවත් උදවිය සමඟමයි.

පවට ලජ්ජා ඇති උදවිය අගේට පෑහී යන්නේ, එකතු වී යන්නේ පවට ලජ්ජා ඇති උදවිය එක්ක ම යි. විපාකයට බය ඇති උදවිය, දහම ගැන දැනඋගත් උදවිය, දහමේ හැසිරෙන්නට කුසීත නොවූ උදවිය, සිහි මුළා නො වූ උදවිය.........ප්‍රඥාවන්ත උදවිය අගේට පෑහිලා යන්නේ, එකතුවී යන්නේ ප්‍රඥාවන්ත උදවිය එක්ක ම යි.”

එක්තරා අවස්ථාවක දී භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු කඳු මුදුනේ වැඩසිටි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට නුදුරින් බොහෝ ස්ථවිර සංඝයා ද, දේවදත්ත ද බොහෝ භික්ෂූන් සමඟ සක්මන් කරමින් සිටියා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළා,

“පින්වත් මහණෙනි, ඔය පින්වත් සාරිපුත්තයන් බොහෝ භික්ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේද?”

“එසේය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනා ම මහා ප්‍රඥාවන්තයි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් මොග්ගල්ලානයන් බොහෝ භික්ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේද?”

“එසේ ය ස්වාමීනී.”

“පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම මහා ඍද්ධි බලයෙන් යුක්තයි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් කස්සපයන් බොහෝ භික්ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේද?”

“එසේ ය ස්වාමීනි.”

“පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනාම ධූතාංගයෙන් යුක්ත යි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් අනුරුද්ධයන් බොහෝ භික්ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේද?”

“එසේ ය ස්වාමීනි.”

“පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනා ම දිවැස් නුවණින් යුක්ත යි.”

“පින්වත් මහණෙනි, ඔය පින්වත් මන්තානිපුත්ත පුණ්ණයන් (පෙර) ඔය භික්ෂූන් සියලු දෙනා ම ධර්ම කථික යි.”

“පින්වත් මහණෙනි, ඔය උපාලි (පෙර) ඔය භික්ෂූන් සියලු දෙනා ම විනයධරයි.”

“පින්වත් මහණෙනි, ඔය ආනන්දයන් (පෙර) ඔය භික්ෂූන් සියලු දෙනාම බහුශ්‍රැතයි.

“පින්වත් මහණෙනි, ඔය දේවදත්තයන් බොහෝ භික්ෂූන් සමඟින් සක්මන් කරනවා ඔබ දකිනවා නේද?”

“එසේ ය ස්වාමීනි.”

“පින්වත් මහණෙනි, ඔය භික්ෂූන් සියලු දෙනා ම පාපී ආශාවන්ගෙන් යුක්තයි.”

ගෞතම බුදු සසුනේ ආගන්තුªක භික්ෂූන්ට සෙනසුන් පනවන භික්ෂූන් අතර අගතැන්පත් මල්ලරාජපුත්ත දබ්බ මහරහතන් වහන්සේ ඒ ඒ භික්ෂූන්ට සෙනසුන් පනවද්දී ඒ ඒ භික්ෂූන්ගේ පහසුව තකා මෙසේ සෙනසුන් පැනවූ සේක.

“දබ්බ මල්ලපුත්ත මහරහතන් වහන්සේ සමාන සමාන භික්ෂූන්ට එකට සෙනසුන් පනවති. යම් ඒ භික්ෂූන් වහන්සේ සූත්‍ර දේශනාවන් දරත් ද උන්වහන්සේ එක්ව සූත්‍ර සංගායනා කෙරෙති යි, ඔවුනට එකට සෙනසුන් පනවති.

යම් ඒ භික්ෂූන් වහන්සේ විනයධරයෝ වෙත් ද ඔවුනොවුන් විනය විනිශ්චය කෙරෙතියි, ඔවුනට එකට සෙනසුන් පනවති. යම් ඒ භික්ෂුන් වහන්සේ ධර්ම කථිකයන් වෙත් ද ඔවුනොවුන් ධර්ම සාකච්ඡා කෙරෙති යි. ඔවුනට එකට සෙනසුන් පනවති.

යම් ඒ භික්ෂූන් වහන්සේ ධ්‍යාන වඩන්නාහු ද, උන්වහන්සේ එකිනෙකාට බාධාවක් නොවන අයුරින් වෙසෙති'යි කියා ඔවුනට එකට සෙනසුන් පනවති.

යම් ඒ භික්ෂූන් වහන්සේ නොයෙක් ආකාර දෙතිස් කතාවෙන් කල් ගෙවද්ද ඔවුහු සිරුර පෝෂණය කිරීමෙන් ම බහුල ව යෙදී වාසය කරන්නාහු වෙත් ද උන්වහන්සේ මේ දෙතිස් කතාවෙන් යුතුව ම එහි ඇලී ගැලී වෙසෙති'යි. ඔවුනට එකට සෙනසුන් පනවති.”

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉහත දේශනාවලට අනුව කෙනකුගේ දියුණුවටත්, පිරිහීමටත් ඇසුරු කරන පුද්ගලයන් තීරණාත්මක ව බලපාන බවත්, ඒ කෙනාගේ අදහස් හා ආකල්ප මත සමාන අදහස් ඇති අයගේ ඇසුරට යොමු වන බවත් පැහැදිලි වෙනවා.

එසේ නම්, අප දැනටමත් ඇසුරට යොමු වී ඇත්තේ කුමන ස්වභාවයකින් යුතු අය හා සමඟ ද යන්න සලකා බැලිය යුතුයි. ඇතැම් විට අප නොදැනුවත්ව ම දැනටමත් අයහපත් ඇසුරකට යොමු වී තිබෙන්නට පුළුවන්. එසේ නම් අපි වහ වහාම එහි ආදීනව සලකා එයින් බැහැර විය යුතුයි. අසත්පුරුෂ ඇසුරට යොමු වුවහොත් අපගේ ජීවිතයට සියලු අයහපත ළඟාවනු ඇති. මනුෂ්‍ය ජීවිතයේත්, බුද්ධශාසනයේත් වටිනාකම අපට නොතේරී යනු ඇති. පරලොව දී අපට සතර අපායේ දොරටු විවර වී යනු ඇති. සත්පුරුෂ ඇසුර අපට බොහෝ දුරස් වී යනු ඇති. ධර්මය ඇති තැන අයහපත බැහැර කොට යහපත රෝපණය කළ හැකි ය.

සත්පුරුෂ ගුණ දහම් පෝෂණය කර ගැනීමට හැකියාව ඇති අය ද දැනටමත් අසත්පුරුෂ වී සිටින්නට පුළුවනි. අසත්පුරුෂයන්ගේ ඇසුරට යොමු වී සිටින්නට පුළුවනි. නමුත් ඒ ස්වභාවය නුවණින් සලකා බලා නිවැරැදි කර ගැනීමට පුළුවනි. ඔවුන් සත්පුරුෂ ඇසුරට යොමු වී සත්පුරුෂ ධර්මය ශ්‍රවණය කළහොත් සත්පුරුෂ ගුණ දහම් තම ජීවිතය තුළ රෝපණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තම ජීවිතය අයහපත කරා යන ධාතු ස්වභාවය කෙමෙන් කෙමෙන් වෙනස් වී යනු ඇති. නිරායාසයෙන් ම ඔවුන් සත්පුරුෂ ඇසුරට පත්වෙනු ඇති. ලෝකයේ කොයි පෙදෙසක ශාන්ත සත්පුරුෂයන් වාසය කළත් නිතැතින් ම ඒ සත්පුරුෂයන් ඔවුනට සමීප වනු ඇති. මන්ද යත් එය ලෝක ස්වභාවයක් වන බැවිනි. ඒ නුවණැති මිනිසාට මෙලොවත්, පරලොවත් ජය ගත නොහැක්කක් නැති බව නම් සත්‍යයක් ම යි. ඒ නිසා සියලු නුවණැතියෝ සත්පුරුෂ සමාගමෙන් සතුටට පත් වෙත්වා!

වප් අව අටවක

 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01.24 අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 02.03. ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]