පුර පෑළවිය
සඳ
12 කොටස
සාමණේරයන් වහන්සේ නමකගේ
ජීවිතය අලලා ලියැවුණු නවකතාව
බඩල්ගම විපුලසිරි හිමි
මෙතෙක් කතාව -
දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට
සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට
පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය.
පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ
සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට
වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි
හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන
අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන්
ගැන ඇති වූයේ මහා දුකකි.
සිරිමල් බඳුනෙහි වූ අතුරුපස සියල්ල ම ගිල දැමුවේ තරහෙන් පුපුරමිනි.
“ ඉතිරි කරන්නේ නෑ උන්දැට බිංදුවක්වත්... ආවා මාවත් කාලා පන්සලත් කන්ඩ.. කරන්නන්කො
උන්දැට හොඳ වැඩක් මං... “
සිරිමල්ට අවශ්‍ය වන්නේ කෙසේ හෝ දමිත සාමණේරයන් වහන්සේ පන්සලෙන් පන්නා දැමීමට ය.
අංගො නෝනාට සිදු වූ අනතුර මෙයට හොඳ අවස්ථාවක් කර ගැනීමට හැකි යැයි ඔහු සිතයි.
අතුරුපස ටික කා කෝපය තරමක් නිමුනාට පසු මුදලාලි මහත්තයා හා ලියන මහත්තයා හමුවන්නට
යා යුතු ය. ඒ දෙදෙනාටත් අවශ්‍ය වන්නේ කෙසේ හෝ සාමණේරයන් වහන්සේ පන්සලෙන් පන්නා
දැමීමට ය. එම කුමන්ත්‍රණය සඳහා මෙයට වඩා අගනා අවස්ථාවක් තවත් නොමැත.
පන්සලට දානය ගෙනා වයසක උපාසක අම්මා කෙනෙක් තල්ලු කොට අනතුරට ලක්කළා යැයි දායකයින්ට
මවා කිව යුතු ය. මුඩුක්කුවක වැනි පහත් පවුලක ඉපිද හැදී වැඩුණු එකෙක් පැවිදි වූවාට
කිසිදු වෙනසක් සිදු නොවන බව ගැමියන්ට ඒත්තු ගැන්විය යුතු ය. එවිට උපාසක අම්මා ගැන
ඇති අනුකම්පාව පෙරටු කර ගත් දායකයින්ගේ විරෝධය සාමණේරයන් වහන්සේට නිතැතින් ම එල්ල
වනු ඇතැයි සිරිමල්ගේ අදහසයි. ගමේ දායකයෝත් මොනවා වත් සොයන්නේ බලන්නේ නැති පිරිසක්
බව සිරිමල් හොඳාකාරව ම දනී.
ගම්වල මිනිස්සු මූඩිය ගැලවූ සෝඩාබෝතල් වාගේ ය. සෙවිල්ලක් බැලිල්ලක් නැත. කලබල ය.
සෝඩා බුබුළු වාගේ පුපුරන්නේ ය.
සාමණේරයන් වහන්සේගේ කුටියට පිවිසුණු සිරිමල් නොසේදූ අතුරුපස බඳුන සාමණේරයන්
වහන්සේගේ ඇඳ යටින් ඈතට කොට තැබුවේ ය.
දහවල් දානේ වේලාව ආසන්නවත් ම ලොකු හාමුදුරුවන් වහන්සේ පන්සලට වැඩම කළ සේක. කවුරුවත්
ම පෙනෙන්නට නැති නිසා සිරිමල් මාමා ලොකු හාමුදුරුවන් වඩින පෙරමඟට ම ආයේ ය.
කටයුත්තට මේ සුදුසු ම අවස්ථාවක් බව සිරිමල් මාමා දනී.
“ ඔබ වහන්සේට කිව්වට මෙව්වා අහන්නේ නෑනේ. අන්න අරුන්නාන්සෙ පන්සල වනසනවා”
ගමන් වෙහෙස නිසා ලොකු හාමුදුරුවන්ට සිරිමල් මාමාගේ ප්‍රකාශය ගැන දැනුනේ නුරුස්නා
බවකි.
“ මොන උන්නාන්සේ ද සිරිමල් ?”
“ වෙන මොන උන්නාන්සේවත් නෙමෙයි. අර යක්ෂ පොඩි උන්නාන්සෙ මිස “
අදත් පන්සලට එද්දී ම දමිත සාමණේරයන් පිළිබඳ පැමිණිල්ලකි.
“ඒ ගමන අද මොනව ද උන්වහන්සේ කරලා තියෙන්නේ?"
දැන් ඉතින් සිරිමල් මාමාට ගොතාගත් බොරුව රසකර කියන්නට වේලාව හරි ය.
“ උපාසකම්මා කෙනෙක්ට පන්සලට දානෙ ගේන්න බැහැ. අන්න අංගො නෝනා උපාසක අම්මා
ඉස්පිරිතාලේ මුන්නාන්සෙ තල්ලු කරලා වට්ටලා..
හොඳටම අමාරුයි. නැඟිට ගන්නත් බෑලු....”
සිරිමල් මාමා කියන්නේ අතින් බොහෝ දෑ දමා ය.
“ මොනවා..ඉස්පිරිතාලේ අංගෝ නෝනා උපාසකම්මා ..?
කෝ දැන් දමිත ?”
ලොකු හාමුදුරුවන් අසන්නේ තරහෙනි. හැමදාම මේ උන්නාන්සේ නිසා නම් ප්‍රශ්න ය. ඒවායේ
ඉවරයක් ද නැත. එකක් අවසන් වන විට තවත් ප්‍රශ්නයකි.
මේ ගැටලුව නම් පන්සලේ විසඳාගත නොහැකි වනු ඇත. දායක සභාවත් මැදිහත් වන ගැටලුවක් විය
හැකි ය. එතැනින් නොනැවතී සමහරවිට රෝහල් පොලිසියට ද කාරණය යන්නට ඉඩ තිබේ. එවිට
ගොඩින් සමාදාන වූයේ නැතොත් පොලිසි ගානේ, උසාවි ගානේත් තමන් වහන්සේට වඩින්නට සිදුවනු
ඇත. සාමණේරයන් මේ කරන වැරැදිවල සීමාවක් නම් තිබිය යුතු ම ය.
(මතු සම්බන්ධයි) |