වප් පුර පසළොස්වක පෝ දා
2024-10-17
ජීවිතය අසමත් නොවන්නට...
උගත්කම ජීවිතයේ සාර්ථකත්වය පිණිස ය. මනා කොට උගත් ශිල්පය කිසිවකුට සොරා ගන්නට හෝ
පැහැර ගන්නට හෝ නොහැකි ය. එසේ වුව කෙනෙක් උගත් ශිල්පය ආත්මාර්ථකාමි ලෙස භාවිතයෙහි
යොදවනවා නම්, ඔහු හෝ ඇය හෝ අනුන් ගැන සංවේදී නොවනවා නම්, යුතුකම් වගකීම් මඟහරිනවා
නම්, ජීවත්වන පරිසරයට අවැඩක් කරනවා නම් ඒ උගත්කම නිෂ්ප්‍රයෝජන ය. උගත්කම අර්ථවත්
වන්නේ, බබළන්නේ කෙනෙක් චරිතවත් වූ තරමට ය.
ඈත අතීතයේ බ්‍රාහ්මණයෙක් සිටියේ ය. හේ උගතෙකි. රජුට සේවය කළ ඔහුට රජුගේ සේ ම
රටවැසියාගේ ද ආදරය, පිළිගැනීම හිමි වුණි. කීර්ති ප්‍රශංසා ලැබුණි. දිනක් හේ රාජ
භාණ්ඩාගාරයෙන් කහවනුවක් සොරකම් කළේ ය. රාජ්‍ය නිලධාරියා ඒ දුටුවද ඉවසා සිටියේ ය.
දෙවැනි දිනයේ ඔහු කහවනු දෙකක් සොරකම් කළේ ය. එදින ද නිලධාරියා ඉවසී ය. තුන්වැනි
දිනයේ ඊටත් වඩා කහවනු සොරකම් කරන්නට ගියේ, රාජ නිලධාරියා දැඩි සේ කෝප ගත්තේ ය. ඔහුට
දොස් නඟමින් අල්ලාගෙන ගොස් රජුට ඉදිරිපත් කළේ ය. චෝදනා ඇසූ රජු තම හිතෛෂීවන්තයා වුව
ද සොරකුට දිය යුතු දඬුවම ඔහුට ද නියම කළේ ය.
ඒ අවස්ථාවේ හෙතෙම විස්තර කොට සිටියේ සොරකම් කළේ රජුත්, රටවැසියාත් විමසන්නට බව ය.
තමන්ට මේ සියලු දෙනාගෙන් ලැබෙන ආදර ගෞරව, කීර්ති, ප්‍රශංසා තමන්ගේ සීලය නිසා ද,
එසේත් නැතිනම් ජාතිය, කුලය, ආගම, උගත්කම නිසා ද යන්න විමසීමට බව ය. එහෙත් ඒ සියල්ලට
නොව චරිතවත් බවට, සීල ගුණයට ගරු සත්කාර ලැබෙන බව ම දැන තමන් සතුටු වූ බවය.
උගතෙක් සොරකම් කරනවා නම් ඔහුට සොරා මිස උගතා නොකියන්නේ ය. උගතෙක් වංචා, දූෂණ කරනවා
නම් ඔහු හංවඩු ගැසෙන්නේ වංචක හෝ දූෂක හෝ නාමයෙන් ම ය. ඔවුහු සමාජයේ ගර්හාවට ලක්වූවෝ
වෙති. කිසිවෙක් විශ්වාස නොකරති. ඒ අසත්පුරුෂ නාමය ජීවත්ව සිටිනා කාලයේ පමණක් නොව
මිය ගිය පසුව ද ඔහුට හිමි ය.
අද බොහෝ මව්පියන් වෙර දරන්නේ තමන්ගේ දරුවන් උගතුන් කරන්නට ය. ඒ සඳහා ඔවුහු දරුවන් ද
ඇදගෙන හැල්මේ දිව යන්නේ දරුවන්ට යන්තම් අවුරුදු තුනක්, හතරක් හෝ පිරෙන්නටත් පෙර ය.
මේ උත්සාහය නිසා ම දරුවෝ විභාග සමත්වෙති. එහෙත් අවසානයේ ජීවිතය අසමත් වෙති. ඒ
උගතුන් කරන්නට මිස දරුවන් මිනිසුන් කරන්නට අමතක වීම නිසා ය. බෙදා හදා ගන්නට,
වැඩිහිටියන්ට සලකන්නට, ගහට කොළට ආදරය කරන්නට, පරිසරය විනාශ නොකරන්නට, සංවේදී වන්නට,
හොඳ – නරක තෝරා බේරා ගන්නට දරුවන්ට හුරු - පුරුදු නොකළ නිසා ය.
ඇතැම් දරුවන්ට ඉවසීම නැත. සමාජය සමඟ ගනුදෙනු කරන්නට දන්නේ නැත. නොලැබීම්, අහිමි
වීම් දරා ගන්නට ශක්තිය නැත. පුංචි වයසේ දී ම සියදිවි නසා ගන්නට තරම් මානසික ව කඩා
වැටෙන්නට, දැඩි තීරණ ගන්නට ඇතැම් දරුවන් පෙළඹෙන්නේ ඔවුන්ට ජීවිතයේ සැබෑව ඉගැන්වූයේ
නැති නිසා ය.
චරිතවත් බව යනු සිල්වත්කම ය. සම්බුදු දහමට අනුව සිල්වත් පුද්ගලයා පස්පවින් තොර ය.
මේ සිල්පද රකිනවා යනු යම් පුද්ගලයකු අසත්පුරුෂ බවින් මිදීම ය. ඒ තුළ ඔහු අනුන්ට වෛර
නොකරයි. ඊර්ෂ්‍යා නොකරයි. දැඩි ලෝභී ගති ඇත්තෙක් නොවෙයි. ආත්මාර්ථකාමී නොවෙයි.
කෙනකුට දුකක්, විපතක් වනවාට අකැමැති වෙයි. අසරණයෙක් දුටු තැන පිහිට වෙයි. තමන්ගේ
ජීවිතයේ ලැබීම් නොලැබීම් දරා ගනියි. අටලෝ දහම හමුවේ කම්පා නොවෙයි. අප ගොඩනැඟිය යුතු
එවැනි චරිතයකි. ඔහු සත්පුරුෂ ගුණ ඇත්තෙකි. ජීවිතය සමත් වූවෙකි. |