[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මේ සුපින්වත් කඨිනත්ථාර සමයයි

මේ සුපින්වත් කඨිනත්ථාර සමයයි

ඇසළ පුණු පොහෝ දිනයෙහි පොහෝ පවුරුණු සිදු කොට ඇසළ අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹි සියලු භික්‍ෂුන් වහන්සේ අදට යෙදෙන වප් පුර පොහෝ දිනයෙහි වස් පවාරණය කිරීම ශාසනික නියමය යි. එය මහා පවාරණය නමින් ද හැදින්වේ.

මෙතැන් සිට ඉල් පුර පොහෝ දිනය දක්වා වූ කාල සීමාව කඨිනාස්ථර කාලය හෙවත් චීවර මාසය යනුවෙන් හඳුන්වනු ලැබේ.

දුරාතීතයේ සිට ම අපේ නරපතියන් බොහෝ දෙනකු මෙම මහා පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුකර ඇති අයුරු දැක ගත හැකි වේ. මහා පරාක්‍රමබාහු රජතුමා අසූ මහා ශ්‍රාවක පූජාවක් ලෙස එක් දිනක ස්ථාන අසූවක දී අසූ නමක් පමණ වූ තෙරවරුන් සඳහා කඨින චීවර පූජාවන් පිදීමේ මහා පින්කමක් පිළිබඳ සඳහන් වේ.

එමෙන් ම සයවැනි පැරකුම්බා නිරිඳුන් ද ත්‍රි සිංහලයෙහි ම වස් විසු භික්‍ෂූන් වහන්සේ සඳහා කඨින චීවර පූජා පැවැත් වූ බව සඳහන් ය. කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාදී රාජසිංහ ආදී බොහෝ රාජරාජ මහා මාත්‍යවරුන් මෙම උදාර පින්කම මහත් ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් යුතු ව සිදුකොට ඇති අයුරු අපේ ඉතිහාසය මගින් අනාවරණය කොට ඇත.

අදින් ඇරඹෙන දින විසි නවයක් තරම් වූ ඉතා සීමිත කාල පරාසය තුළ මෙම අසිරිමත් මහා පින්කම පැවැත් වේ. එම කාලය කඨිනාස්ථර කාලය වශයෙන් පරිවාර පාලියෙහි “කඨිනස්ස අත්ථාර මාසෝ ජානි තබ්බෝති වස්සානස්ස පච්ඡිමෝ මාසෝ ජානි තබ්බෝ”යනුවෙන් සඳහන් වේ. එහි අදහස වන්නේ වස්සාන සෘතුවෙහි අවසාන මාසය කඨිනත්ථාර කාලය වශයෙන් දත යුතු බව ය.

කඨිනත්ථාර කාලය හෙවත් චීවර මාසය ඇතුළත සිදුකළ යුතු මෙම මහා පින්කම ජන වහරෙහි වස් පින්කම, කඨින මහා පින්කම යනුවෙන් නම් කොට තිබේ. මේ මහා පින්කමෙහි ඇති ශක්තිමත් බව, අකම්ප්‍ය බව, නො බිඳෙන බව, ස්ථාවර බව, “කඨින” යන වචනයෙහි ගැබ්ව ඇති අතර, මහා ගරුක පුණ්‍ය ක්‍රියාවක් ලෙස ධර්මයෙහි විස්තර කෙරේ. එපමණක් නොව ලොව්තුරා බුදුවරයන් වහන්සේ ද මේ සඳහා සහභාගි ව ඇත. උන්වහන්සේගේ මහත් වර්ණනාවට ද ලක්ව ඇති මහා පින්කමකි.

මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මිල මුදල් තිබු පමණින් හෝ තමා කැමැති දිනයක හෝ මාසයක දී හෝ කළ හැකි පින්කමක් නො වීම ය. විහාරස්ථානයක කළ හැකි වන්නේ වසරකට එක් කඨින දානමය පින්කමක් පමණක් වීම ද සුවිශේෂීතාවකි.

කඨින චීවර මහා පින්කම පිළිබඳ ජනවහරෙහි එන ප්‍රකට උපමාවක් ද ඇත. චෛත්‍යයක් සාදවා එහි කොත පැළඳවීමට මෙම මහා පින්කමට සමාන කිරීම එම උපමාව ය.

කඨින චීවර පුජා පින්කම් ද එයට සමාන කර ඇත්තේ එය එක් දිනකින් කළ නොහැකි, ජන සමුහයකගේ ඒකරාශී වීමෙන් සිදු කළ යුතු, දුර්ලභ ගණයේ අසිරිමත් පින්කමක් වීම නිසා ය.

කඨින චීවරලාභී භික්ෂුවකට විනය ප්‍රඥප්තීන් කීපයක් සීමිත කාලයක් තුළ ලිහිල් ව භාවිත කිරීමේ පඤ්චවිධ ආනිසංසයක් ලැබෙන බව ද අපේ විනය ග්‍රන්ථයන්හි සඳහන් වේ. කඨින චීවර දානමය මහා පින්කම සිදු කරන දායක දායිකාවන්ට ද සාමාන්‍ය චීවර දහසක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක් හෝ පූජා කිරීමෙන් ලද නොහැකි මහා කුසලස්ඛන්ධයක් මෙම එකම කඨින චීවර පූජාවකින් ලැබිය හැකි වීම මෙහි ඇති අසිරිමත් බවට සාධකයකි.

තුන් සිවුරෙන් එක් සිවුරක් සඳහා අවශ්‍ය අලුත් වස්ත්‍රයක් හෝ මසා නිමකොට ඇති චීවරයක් හෝ කඨින චීවර දානය වශයෙන් පූජා කළ හැකි බව සඳහන්.

මෙම මහා කඨින පුජාවට සම්බන්ධ ව කෙරෙන එම පිරිකර පූජාවන් අතර එදින පුජා කරන ඉතා සුළු පරිත්‍යාගයකින් පවා කඨින ආනිසංස ලැබෙන බව සඳහන් වන අතර, ආනන්තරිය පාපකර්මය වැනි මහා පාප කර්මයන් හැර සාමාන්‍ය පව්කම්වල බරපතල බව අඩු කිරීමට ද මෙම මහා පින්කම සමත් වන බව ධර්මයෙන් ප්‍රකාශිත ය.

වප් පුර පසළොස්වක

 ඔක්තෝබර් 16 බදාදා. අ.භා. 08.41 පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58. ගෙවේ.
17 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]