දුර්ගුණයට වැට බඳීමු

දුර්ගුණයට වැට බඳීමු

“පාපා නිවාරෙන්ති“ නම් පවින් වළක්වා ගැනීම ය. මවුපියන් තම දරුවන් කුඩා කල සිට අයහපත් ඇසුරෙන් මෙන් ම පවින් වැළැක්වීමට උත්සාහ ගැනීම දැඩි වගකීමකි. යුතුකමකි.

ගුණයෙන් උසස් පුද්ගලයෙක් හෝ තමාට ගැලපෙන ගුණ ඇති පුද්ගලයෙක් ඇසුරු කරන ලෙසත්, එවැනි පුද්ගලයෙක් ඇසුරට නො ලැබුණොත් හුදකලාව වාසය කිරීම යහපත් බවත් බාලයාගේ ඇසුර පිරිහීමට හා විනාශයට හේතුවන බවත් තථාගත ධර්මයේ පෙන්වා දී ඇත.

“යමෙක් කුසතණවලින් කුණු මස් ඔතයි ද එය ම හේතු කොට ගෙන ඒ කුස තණ ද දුගඳ හමන්නේ ය. බාලයා ඇසුරු කරන පුද්ගලයා දුර්ගන්ධවත් වන්නේ ද එලෙසින් ය.“

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මංගල සූත්‍රයෙහි සඳහන් උතුම් මංගල කරුණු තිස් අටෙන් පළමු කරුණ වන්නේ බාලයන් ආශ්‍රය නොකිරීම ය. එය සැනසීමට හේතු වේ.

“බාල“ නම් තමාට වඩා වයසින් බාල, කුඩා දරුවන් හෝ ළමයින් හෝ නොවේ. ගුණයෙන් හා නුවණින් මඳ පුද්ගලයන් ය. පව් කරන්නන් ය. “කතාවට යන්න එපා ආශ්‍රය කරන්න එපා.

ඔය මනුෂ්‍යයා ළඟටවත් යන්න එපා. මහා පව්කාරයෙක්“ තමන්ගේ චරිත ස්වභාවයට

මෙවැනි නිගාවක් කරනවාට ඔබ කැමැති වෙන්නේ නැහැ නේ ද?

එසේ නම් පස්පව් දස අකුසලයන්ගෙන් බැහැර වූ අයෙක් බවට පත්විය යුතු ය. බාලයෙක් වන්නට, ඇසුරට නුසුදුසු පුද්ගලයෙක් වන්නට හේතු වන කරුණු කීපයක් හඳුනා ගනිමු.

ප්‍රාණඝාතය, සොරකම, වංචා හා කපටිකම් කිරීම, ඉන්ද්‍රියයන්හි අසංවර බව හා අශීලාචාර චරිතරයකින් යුතු පුද්ගලයකු වීම, බොරු කීම, පරුෂ වචන කීම, කේලාම් කියා පුද්ගලයන් අසමඟි කිරීම, බොරු පොරොන්දු දීම, දුන් පොරොන්දු කඩකිරීම, සමාජයේ අන් අයට නිකරුණේ අවමන් කිරීම. නින්දා කිරීම. මත් වතුර සහ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම ආදී කරුණු මූලික වශයෙන් සඳහන් කළ හැකි ය.

මේ ආකාරයේ ගති ලක්ෂණයන්ගෙන් යුතු පුද්ගලයාගේ චරිත ස්වභාවය පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් සඳහන් කරයි.

මේ ලෝකයෙහි බාල තෙමේ නපුරු සිතිවිල්ලක් ම සිතන්නේ ය. නපුරු වචනයක් ම පවසන්නේ ය. නපුරු දෙයක් ම කරන්නේ ය. මේ ආකාර දුර්ගුණයන්ගෙන් යුතු පාපී පුද්ගලයකු සමඟ දැන හෝ නො දැන හෝ ඇසුරට යොමු වූයේ නම්, යම් විටෙක කවර තත්වයෙන් යුතු පුද්ගලයකු වූව ද නුවණින් විමසා බලා කටයුතු නො කළහොත් පිරිහීමට මෙන් ම විනාශයට ද පත් වන්නේ ය.

මේ පිරිහීමේ හා විනාශයේ තරම කෙතරම් ද යත් කාරුණික හදවතක් ඇත්තෙක් අකාරුණික වූ වධකයකු බවට පත්විය හැකි ය. ඒ වගේ ම පරිත්‍යාගශීලි අයෙක් නම් මසුරු

බවට පත්විය හැකි ය. සංවරශීලි හා නීතිගරුක පුද්ගලයෙක් අසංවර හා අනීතික ව සමාජයට විපත්තිදායක කෙනෙක් බවට පත්විම වැළැක්විය නො හැකි ය.

“අජාසත් කුමරු පෙර යහපත් දරුවෙකි. එහෙත් දෙව්දත් තෙරුන්ගේ නරක ඇසුර නිසා ඔහු පීතෘ ඝාතකයෙක් බවට පරිවර්තනය විය.

“සත්ථිකුම්භ“ ජාතක කතාවේ එන “ගස්බෙනයක සිටි ගිරා පැටවුන් දෙදෙනා සුළඟකට ගසාගෙන ගොස් දෙපැත්තකට වැටුණි. එක් පැටවෙක් සොරු පිරිසකගේ ඇසුරටත්, අනෙක් පැටවා තාපසයන්ගේ ඇසුරටත් පුරුදු විය. සොරුන්ගේ ඇසුර ලැබූ ගිරා පැටවා පරුෂ වචන කතා කිරීමටත්, තාපස ආරාමයේ ඇසුර ලැබූ ගිරවා මිහිරි, ඉතා ප්‍රිය වචන කතා කිරීමටත් පුරුදු විය.

ඒ වගේ ම එකම අම්මාගේ කුසින් හා එකම පියාණන්ට දාව උපන් සොහොයුරු සොහොයුරියන් අතර ද ඇසුර හේතු කොට ගෙන විවිධ වෙනස්කම් ඇතිවන බව අප බොහෝ ලෙස දැක ඇත. ඒවගේ ම අසා ඇත.

අපගේ ඇසුරට නුසුදුසු වන්නේ කවර ගති ලක්ෂණ ඇති අය දැයි සිඟාලෝවා ද සූත්‍රයේ දී පෙන්වා දී ඇත. ඒ අඤ්ඤදත්ථූහර, වචීපරම, අනුප්පියභාණී, අපායසහාය යන සතර දෙනෙකි.

අනුන්ට යහපතක් කරනු පිණිස නොව අනුන්ගෙන් ගැනීම පිණිස මිතුරු වන තැනැත්තා අඤ්ඤදත්ථූහර නම් මිත්‍ර ප්‍රතිරූපකයා ය. ක්‍රියාවෙන් කිසිවක් නැති ව කතාවෙන් පමණක් අනුන්ට සංග්‍රහ කරන තැනැත්තා වචීපරම නම් වන්නේ ය. යුක්තිය, අයුක්තිය නො සලකා සිදුවන වැඩ අවැඩ නො සලකා කෙසේ හෝ අනෙකා සතුටු කරවීම පිණිස ඔහුගේ පැත්ත ගෙන කතා කරන්නා අනුපියභාණී නම් වූ මිත්‍ර ප්‍රතිරූපකයා ය. සුරාපානාදී පව්කම් කිරීමට එක් වන්නා වූ තැනැත්තා අපායසහාය මිත්‍ර ප්‍රතිරූපකයා නම් වන්නේ ය.

මේ ආකාරයෙන් බාල හෙවත් නරක පුද්ගලයන්ගේ ගති ලක්ෂණ නුවණින් දැක පළමු ව තමා යහපත් කෙනෙක් වීමට උත්සාහවත් වන්න. අනතුරුව තමන් හා සම ඊටත් වඩා යහපත් ගුණ ඇති පිරිසක් සමඟ ඇසුරු කරන්නට උත්සාහ කරන්න.

එවිට තමන්ට සාර්ථක ජීවිතයක් අත්පත් කර ගත හැකි වෙයි.

යහපත් අයහපත් සියලු දෙනා සමඟ කටයුතු කිරීමට සිදු වේ. එවන් අවස්ථාවක දී යම් අයකුගේ යහගුණයන්ට බැඳී යම් අයකුගේ දුර්ගුණවලට හසු නොවීමට තරම් කල්පනාකාරී විය යුතු ය. ඒ වගේ ඔබ යහපත් කෙනෙක් ව සමාජයේ, කාර්යාලයේ දී පමණක් නොව මහ මඟ දී බස්රිය හා දුම්රියේ දී පවා කල්පනාකාරී විය යුතු බව සිහි තබා ගන්න.

වංචාකාරී, මායාකාරී හා නපුරු පුද්ගලයන්ට රැවටී වටිනා තරුණ ජීවිත විනාශ කර ගත් තරුණ දියණිවරුන් මෙන් ම පුතණුවරුන් ද බහුල ව වර්තමාන සමාජයේ දක්නට ලැබේ.

බිනර අමාවක

 ‍ඔක්තෝබර් 01 අඟහරුවාදා
අ.භා. 09.42 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා.00.20 ගෙවේ. 02 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]