[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අමාවක පෝ දා 2024-10-02

පුත්තා වත්ථු මනුස්සානං

දාරක ස්නේහය වූ කලි මවකගේ, පියකුගේ මස්, ලේ, ඇට, නහරවලට කා වැදී ඇති උතුම් හැඟීමකි. දරුවා ආදරයෙන්, සෙනෙහසින් රැක බලා ගන්නට මව්පියන් දිවා රෑ වෙහෙසෙන්නේ ඒ අන් කිසිදු බැඳීමකට සම කළ නොහැකි දාරක ස්නේහය නිසා ම ය. අපගේ ශාස්තෘන් වහන්සේ, සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ ‘පුත්තා වත්ථු මනුස්සානං’ මනුෂ්‍යයාගේ උතුම් ම වස්තුව දරුවන් බව ය. එවන් දරුවන් කෙරෙහි මව්පියන් විසින් පැවතිය යුතු ආකාරය පවා උන්වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කොට වදාළේ ඒ දරු සෙනෙහසට අර්ථයක්, වටිනාකමක් ලබා දීමට ය.

මෛත්‍රිය වැඩීමේ දී ද, එක් දරුවෙක් ඇති මවක් සිය ප්‍රාණය හා සරි ව ඒ දරුවා රැක බලා ගන්නවා වගේ, ආදරය, කරුණාව දක්වනවා සේ සියලු සතුන්ට මෙත් වැඩිය යුතු බව අවධාරිත ය. දරුවන් සහ මවුපියන් අතර වන බන්ධනය ඒ සා දැඩි ය.

හොඳම දේ දරුවන්ට දිය යුතු බව අද ලෝකයේ පිළිගැනීමයි. ළමයින් වෙනුවෙන් දිනයක් වෙන් කර තිබෙන්නේ, ඒ දිනය සමරන්නේ ඔවුන් පිළිබඳ අවධානය, අවධාරණය කරන්නට ය. ළමයාට තනි ව ගොඩනැඟිය නොහැකි ය. ඔහු ගොඩනැඟිය යුතු මව්පියන්ගේ දෑතිනි. වැඩිහිටියන්ගේ අනුදැනුමෙනි.

එක් අවස්ථාවක ළමයා උපමා කරන්නේ පාටත්, සුවඳත් එක වගේ ඇති මලකට ය. මල සියුමැලි ය. වර්ණවත් ය. සුගන්ධවත් ය.

එහෙයින් ම බාහිර පරිසරයේ බලපෑම වැඩි ය. තැලී, පොඩිවී, වියැකී යන්නට ඉඩ වැඩි ය. ළමා ලෝකය ද එසේ ය. සියුමැලි ය. වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් නිසා ඒ සියුමැලි බව විනාශ වන්නට පුළුවන.

මලක් පියකරු ය. ළමයා ද එවැනි ය. දකින්නට, කතා බහට, ඇසුරට පි‍්‍රය ය. සුරතල් ය. ළමයාගේ සිත දූෂිත නැත. අනුන් සමඟ තරගයක් නැත. තමන්ට වැරැදී අනුන්ට හරි යනවාට ද අකැමැත්තක් නැත. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි හැඟීම් නැත.

සියලු අවගුණ දරුවන්ට සම්ප්‍රේෂණය වන්නේ බාහිර පරිසරයෙනි. විශේෂයෙන් ළමයා වැඩිපුර කාලය ගෙවන්නේ අම්මා තාත්තාගේ සෙවණේ ය. එවිට ඔහු හෝ ඇය හෝ නිතර දකින්නේ මව්පියන්ගේ හැසිරීම් ය. දැනෙන්නේ මව්පිය සිතුම් පැතුම් ය. අනුන් වෙත දක්වන හැඟීම් ය. ආකල්ප ය. මිනිස් සත්ත්වයා ස්වභාවයෙන් ම අනුකරණශීලී ය. එසේ නම් දරුවා ද අනුකරණය කරන්නේ තමන්ගේ ලෝකයේ තමන්ට දැනෙන එකම වීරවරිය වන අම්මා ය. එකම විරුවා වන තාත්තා ය. එසේ නම් දරුවාගේ සිතුම්, පැතුම් මෙහෙයවීමෙහි ලා අම්මාට,තාත්තාට ඇති වගකීම මේ යැයි ප්‍රමාණ කළ නොහැකි ය.

එදිනෙදා තමන් මුහුණදෙන දරුවන් සම්බන්ධ ප්‍රශ්න ගැටලුවල දී ඇතැම් මව්පියවරුන්ගේ හැසිරීම ඉතාමත් ආවේගශීලී ය. අමනෝඥ ය. ළඟ මිස දුර නොදකින ස්වභාවයෙන් යුතු ය. මේ ආදර්ශය දරුවාට ඉතා අහිතකර ය. ඔහු හෙට ලෝකය ගොඩනඟා ගන්නේ, ලෝකය දකින්නේ, ප්‍රශ්න ගැටලු විසඳා ගන්නට යන්නේ මව්පියන්ගෙන් ලද ඒ ආදර්ශ ක්‍රියාවට නැඟීමෙනි. එසේ නම් රටක ප්‍රජාව තුළ පවත්නා හීන ධර්මතාවන්ට වග කිව යුතු ඔවුන් කුඩා කල මෙහෙය වූ මව්පිය වැඩිහිටියන් ම ය.

ඇතැම් මව්පියන් ආත්මාර්ථකාමී ය. තමාගේ දරුවා පමණක් ඉහළට යා යුතුයි, මගේ දරුවා පමණක් උගතෙක්, බුද්ධිමතෙක් විය යුතුයි යන දීන ආකල්පය තුළ ම ඔවුන් තම දරුවාට ද කරන අයහපත මහත් ය. ඔවුන් නොදකින පැතිකඩ නම් බුද්ධි හීන, ගුණ හීන දරුවන් වෙසෙන සමාජයේ ම විවිධ ගැහැට හමුවේ තම දරුවාට ද ජීවත්වීමට සිදුවන බව ය. දරුවන් ගොඩනැඟීමෙහි ලා විචක්ෂණශීලී වීම, සියලු දරුවන් ගැන සංවේදී වීම මව්පියන්ගේ වගකීම විය යුතු ම කාලය එළඹ ඇති බව දැන් දැන් සුපැහැදිලි ය.

බිනර අමාවක

 ‍ඔක්තෝබර් 01 අඟහරුවාදා
අ.භා. 09.42 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා.00.20 ගෙවේ. 02 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 02

First Quarterපුර අටවක

ඔක්තෝබර් 10

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 17

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 24

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]