[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කිලිටි සිතෙහි සියලු කෙලෙස් නැසූ චූලපන්ථක මහරහතන් වහන්සේ

කිලිටි සිතෙහි සියලු කෙලෙස් නැසූ චූලපන්ථක මහරහතන් වහන්සේ

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර විසූ දවස, එක් සිටු ගෙදරක දියණියක් යොවුන් මදයෙන් මත්ව එහි සිටි මෙහෙකරුවකු සමඟ රහසේ කාමසේවනය කොට බියට පත්ව ඔහු සමඟ මහමඟට බැස ගියහ.

මෙසේ ඈත ගමකට ගොස් වසන අතර දරු ගැබක් හටගෙන එය මෝරා ගිය පසු තම පුරුෂයාට කියන්නේ “කාත් කවුරුත් නැති තැන දරුවා බිහිකළහොත් අප දෙදෙනාට ම මහත් අපහසුවකි. එහෙයින් අපි මවු ගෙදරට යමුයි කීවා ය.”

“මා එහි ගියොත් කපා කොටා මරා දමනු නියැතැ’යි සිතා හෙට, හෙට යනුවෙන් කීපදිනක් ගමන කල් දැමීය. මොහු යන හැඩෙක් නැතැයි සිතූ සිටු දියණිය අසල අයට දන්වා මහමඟට බැස ගියා ය. ගෙටවන් පුරුෂයා ඇය නො දැක අවටින් විමසා වහා දුව ගොස් ඇය හා එක්වීය. ඒ ඇසිල්ලේ ම මැය මහමඟ දරුවකු වැදුවා ය. දෙදෙනා ම එක්සිත්ව ආපසු හැරී අවුත් කල් ගෙවන්නේ ඒ දරුවා මහමඟ උපන් බැවින් “පන්ථක” යයි නම් කළහ. (පාලියෙන් “පන්ථ” යනු මාර්ගයට නමෙකි.)

මාස කීපයක් ගිය තැන ඇය කුස තවත් දරු ගැබක් හටගත්තේ ය. දෙවන වර ද පළමු සේ මහ මඟ දී ම දරුවා උපන් බැවින් පළමු දරුවාට මහා පන්ථක ද, දෙවන දරුවාට චූලපන්ථක යැයි ද නම් තැබූහ. මෙසේ වැඩිවියපත් දරු දෙදෙනා වෙනත් දරුවන් සමඟ ක්‍රීඩාවට ගියේ, ඔවුහු සීයා, ආච්චි අම්මා, ලොකු තාත්තා, බාප්පා, මාමා, නැන්දා ආදී වශයෙන් නෑකම් කියනු ඇසී ගෙට අවුත් අම්මාගෙන් නෑයන් ගැන විමසී ය.

“පුතේ, නුඹලාගේ සීයා රජගහ නුවර මහාධන සිටුවරයා යැයි” කී විට

“එහෙනම් අම්මේ අපි එහි යමු” යි පෙරැත්ත කළේ ය. මේ බව ස්වාමියට කියා ඇය දිනක් ඔහු ද අපහසුවෙන් කැමැති කරවා ගෙන රජගහ නුවර දොරටු සමීපයෙහි වූ අම්බලමේ රැඳී දරු දෙදෙනා ද සමඟ තමා ආ බව මව්පියන්ට දන්වා යැවූහ. මව්පියෝ ඒ අසා, සසර උපදින්නවුන්ට දූ පුතුන් වෙති, එහෙත් මොවුන් නම් මහා අපරාධකාරයෝ ය. අපේ ඇස්වලටත් මුන් පෙනීම ඉවසනු නොහැකි ය. ඒ නිසා මෙහි ඒමෙන් වැඩක් නැත. මේ මුදල් ටික ගෙන පහසු තැනක ගොස් දිවි රැක ගනිවු. දරුවන් දෙදෙනා මෙහි එවයි පණිවිඩකරුවකු ඔවුන් වෙත යැවූහ. එය ඒ ආකාරයෙන් ම සිදුවිය.

දැන් දරුවන් දෙදෙනා සිටුගෙදර සීයා ළඟ වැඩෙති. චූලපන්ථක ළදරු ය. මහා පන්ථක මුත්තනුවන් සමඟින් බණ අසන්නට නිතර විහාරයට යයි. නිතර නිතර පන්සල් යාමෙන් සිත පැවිද්දට නතු විය. දිනක් මුත්තනුවන්ට මේ බව කීය.

“පුතනුවණි, ඔබ කුමක් කියත් ද? මාගේ පැවිද්දට වඩා නුඹගේ පැවිද්දට දෙවියෝ ද සතුටු වෙති. ලෝකයාට ද හිත වේ. කොතරම් හොඳ ද? ඔබගේ පැවිද්දට මම මුළු සිතින් ම කැමැති වෙමි'යි” කියා බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ විය. බුදුරජාණන් වහන්සේ සියලු තොරතුරු විමසා එක් භික්ෂූන් වහන්සේ නමකට මහාපන්ථක දරුවා පැවිදි කරවන්නට නියම කළහ. උන්වහන්සේ චත පඤ්චක කර්ම ස්ථානය කියවා දරුවා පැවිදි කළහ.

“චත පඤ්චක නම්, කෙස්, ලොම්, නිය, දත් හා සම යන කුණුප කොට්ඨාස පහට නමෙකි. අප ශරීරයේ කුණප කොට්ඨාස දෙතිසකි. (32කි) මේ පහ හැරුණූ කොට අන් සියලු ම කොටස් පිටින් නොපෙනෙන ශරීර අභ්‍යන්තර ඇසුරු කොට ගත්තෝ ය. ඒවා නව දොරකින් අගුළු දා සමෙන් වැසී ඇත. එහෙයින් ඒවාට වඩා බාහිර ව පෙනෙන මේ පඤ්චකය අරමුණූ කොට අනිත්‍යාදී ත්‍රිලක්ෂණය වැඩීම පහසු වේ. තේරුම් ගැනීම පහසු වේ.

මෙසේ පැවිද්දට පත් දරුවා කල් නොයවා ම පෙළදහම හදාරා විසිවයස් ව උපසම්පදාව ලබා, හැමවිට නිවනෙහි සිත රඳවා ගෙන උතුම් රහත් බව ද ලැබීය. මෙතැන් සිට ඵලසමාපත්තියෙන් ප්‍රත්‍යවේක්ෂා ඤාණයෙන් කල් යවන මහාපන්ථක රහත් තෙරණුවෝ තමා ලද මේ සුවය සහෝදර චූලපන්ථක වෙත ද ලබා දිය යුතු යැයි සිතා සීයාගෙන් අසා ඒ ඇසිල්ලේ ම සීයාගේ ද බලවත් කැමැත්ත පළ කළ හෙයින් ඔහුව ද පැවිදි සීලයෙහි පිහිටුවේ ය. පැවිද්ද ලැබු චූලපන්ථක තෙරහු හට ඉක්මණින් පැවිද්දේ ඵල ලබා දීමට සිතූ මහපන්ථක තෙරණුවෝ,

“පදුමං යථා කොකනදං, සුගන්ධං - පාතො සියා ඵුල්ලමවීතගන්ධං,

අංගීරසං පස්ස විමරොචමානං - තපනතමාදිවච්චමි වනතලිකෙඛ”

“සුවඳැති - පහනොවූ සුවඳ ඇති - උදෑසන පිපුණු කොකනද නම් ඇති රත් නෙළුමක් වේ ද අහසේ බබළන හිරුමෙන් වු ඒ අංගීරසයන් වහන්සේ (බුදුරජාණන් වහන්සේ) බලව,”

යන මේ ගථාව උගන්වා කට පාඩම් කරන ලෙස කීහ. ඒ හිමිහට සාරමසක් ගෙවාත් ගාථාව කටපාඩම් නොවීය.

මේ බව දැනගත් මහාපන්ථක තෙරණුවෝ පැවිදි ව මෙසේ හිස් ව ඉඳීම හොඳ නැත. එහෙයින් සිවුරු හැර යන්නැයි කීවේ ය. නමුත් චූලපන්ථක හිමි ගිහි බව නො කැමැති ය. සසුනෙහි ලැදි ය.

මේ අතර දිනක් ජීවක වෙද ඇදුරුතුමා බුදුරජාණන් වහන්සේ වැඳ බණත් අසා පසුදින දනට ආරාධනා කළේ ය. මෙකල දන් ආරාධනා පිළිගෙන ස්වාමීන් වහන්සේ දනට යොමු කරන්නේ මහාපන්ථක තෙරුන් වහන්සේ ය. දානයට චූලපන්ථක හිමි හැර ඉතිරි සියල්ල වඩින බව ජීවක වෙද ඇදුරු හට මහාපන්ථක තෙරණුවන් කියනු චූලපන්ථක හිමිට ඇසී, මාගේ සහෝදරයා මා කෙරෙහි බිඳුනේ යැයි දැන මේ සසුනෙන් වැඩ නැත. හෙට උදෑසන සිවුරු හැර යන බවට සිතා ගත්තේ ය.

එදින උදෑසන ලොව බලා වදාරණ සම්බුදුරජාණන් වහන්සේට චූලපන්ථක හිමි සිවුරු හැර යන බව පෙනී දොර කොටුව අසල සක්මන් කරමින් වැඩ සිටි සේක. පිටව යන චූලපන්ථක හිමි බුදුරජාණන් වහන්සේ දැක වැඳ වැටී සිටි විට මෙවෙලෙහි කොහි යනු දැයි අසා විස්තර සියල්ල දැන

“චූලපන්ථක මේ ශාසන පැවිද්ද මගේ ය. මහාපන්ථකගේ නොවේ, ඔහු එසේ කීවේ නම් ඇයි මා ළඟට නාවේ” යැයි මහා කරුණාවෙන් ශ්‍රී හස්තයෙන් හිස අතගා ගඳකිලි දොරකඩ වෙත කැඳවා ගෙන ගොස් හිඳුවා සුදු රෙදි කඩක් අතට දී “රජෝහරණං - රජෝ හරණං - රජෝ හරණං” යැයි කියමින් මෙය පිරිමදින ලෙස වදාරා (මෙහි රජස් යනු දූවිලියි. හරණං ඉවත් කරයි යන තේරුමයි.) ජීවක වෙද ඇදුරු නිවෙසට විහාරයෙහි සියලු භික්ෂූන් සමඟ බුදුරජාණන් වහන්සේ දනට වැඩි සේක. අතින් පිරිමදින විට ශරීරයෙන් පිටවන දහඩියට තෙමී ඒ සුදු රෙදි කඩ ක්‍රමයෙන් කිලිටි වනු දුටු චූලපන්ථක හිමියෝ එය අරමුණූු කොට විදසුන් වඩන්නේ ආලෝක ධාරාවක් එවා බුදුරජාණන් වහන්සේ ලබා දුන් අනුශාසනා පරිදි කිලිටි සිතෙහි තිබූ සියලු කෙලෙස් නසා එහි දී ම අර්හත්වයට පත්වූ සේක.

අනතුරුව දන් බෙදද්දී පාත්‍රය ශ්‍රී හස්තයෙන් වැසූ බුදුරජාණන් වහන්සේ උපක්‍රමශීලී ව චූලපන්ථක රහතන් වහන්සේ ද දානයට වැඩම කරවූ සේක. ඒ මෙසේ ය.

චූලපන්ථක තෙරුන් වහන්සේට මේ සුදු රෙදිකඩ දහඩිය දැමූ අත්ලෙන් පිරිමදින විට අරහත්වයට සිත සකසා ගැනීමට හැකි වූයේ පෙර භවයක රජෙක් ව සිටියදී මහ දහවල නුවර පැදකුණු කරන අවස්ථාවක දී නළලින් ගැලු දහඩිය පැළඳ තිබූ සුදු සළුවකින් පිසදැමීමේ දී, පිරිසුදු සළුව කිලිටි වු අයුරු මෙහිදී සිහිවීමෙන් ය. පිරිසුදු වස්තු බාහිර හේතූන් නිසා කිලිටිවන බවත් සිහිවීය. (ප්‍රභාස්වර සිතකින් උපන් මිනිස් දරුවා උපතින් පසු මෙලොව දී ලබන ආස්වාදයන්ට (මවගේ උණුසුම- මව් කිරට ඇති රුචිය ආදියෙන් පටන්ගෙන) ගොදුරු ව උපකෙලෙස් රැස් කර ගනී. ඒ තුළින් පැරැණි ආස්‍රව (කෙලෙස්) නැති කර ගැනීම වෙනුවට මෙලොව දී තවත් කර්ම රැස් කර ගෙන සසර දිග් කර ගනී.

ජීවක වෙදැදුරු තෙමේ බුදුරජාණන් වහන්සේට දන් වළඳවනු පිණිස පැන් පිදීමට ගිය විට විහාරයෙහි තවත් භික්ෂූන් ඇත්තාහු නොවෙත් දැයි පවසා ශ්‍රී හස්තයෙන් පාත්‍රය වැසූහ. ඒ දුටු මහාපන්ථක තෙරුන් වහන්සේ තවත් නැතැයි කීය.

එවිට බුදුරජාණන් වහන්සේ ජීවක අමතා කියූ වදනින්, විහාරයෙහි තවත් භික්ෂූන් ඇත්දැයි බැලීමට ජීවකතුමා විසින් පුරුෂයකු එහි යැවූ විට මුළු විහාරය පුරා භික්ෂූන් සිටිනු දැක ඒ බව දන් ගෙදරට ආපසු විත් කීහ. තම සහෝදර මහාපන්ථක තෙරුන් විහාරයෙහි භික්ෂූන් වහන්සේ නැති බව කියූ කතාව චූලපන්ථක තෙරුන්ට (දිවැසින්) දැනී මෙසේ වූවක් කළේ චූලපන්ථක හිමියෝ ම ය. මෙහිදී විවිධ කාර්යයන්හි යෙදී සිටින තමා හා වැනි භික්ෂූන් දහසක් මැවූයේ අධිචිත්ත මනෝමය සෘද්ධි බලයෙන් ම ය. මෙය අභිඥා ධර්ම බලයෙකි. දහසක් භික්ෂූන් විහාරයෙහි සිටින බව සේවකයා විත් කී විට ආපසු ගොස් “ශාස්තෘහු චූලපන්ථක කැඳවන බව කියව“යි සේවකයාට වදාළ සේක.

ඔහු ගොස් එසේ කී විට “මමයි චූලපන්ථක - මමයි චූලපන්ථක” යයි දහසක් දෙනා ම ඉදිරියට ආහ. සේවකයා මේ බව ද ආපසු ගොස් කීවිට, එසේ නම් දැන් ගොස් යමෙක් මා චූලපන්ථක යැයි මුලින් කියා ද ඔහු අතින් අල්ලා ගන්න. එවිට සෙස්සෝ සියල්ල අතුරුදන් වෙතැයි වදාළ සේක.

ඒ වූ පරිදි ම සිදුවී, අතින්ගත් චූලපන්ථක හිමි දන් ගෙදරට වැඩම කළහ. දන් වළඳා අවසන අනුමෝදනා බණ චූලපන්ථක තෙරුනට බුදුරජාණන් වහන්සේ විසින් පැවැරූයේ සිංහනාද කරන තරුණ සිංහයකු සේ තුන් පිටකය ම අළලා භුක්තානුමෝදනා බණක් වදාරණ බව බුදු ඇසින් දැක ය.

ඉහත සිද්ධිය සවස දම් සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේ අතර මාතෘකාවක් වීය. පද හතරක ගාථාවක් සිවුමසක් පුරා උගන්වන්නට නොහැකි ව මෝඩයකු යැයි පන්සලෙන් පිටමං කළ චූලපන්ථක තෙරණුවන් එක් වරුවකින් අර්හත්වය දක්වා ඔසවා තබන්නට බුදුරජාණන් වහන්සේට හැකිවීම ම බුද්ධ ෙඓශ්චර්යය - බුද්ධ බලය කොතෙක් දැයි යන්න එකී මාතෘකාව විය.

දම් සභාවට වැඩි භාග්‍යවතුන් වහන්සේ මෙය අසා දැන, පෙරත් මොහු අඥාන ව සිට මම මොහුට උපකාර කළෙමි. දැනුත් මා එසේ සිටි ඔහුට ලෝකෝත්තර ධනයට හිමිකරුවකු කළහයි වදාළ සේක. ස්වාමිනී, අද ඔහුට කළ උපකාරය අපි දනිමු. පෙර කළ උපකාරය වදාරනු මැනැවැයි භික්ෂූහු ඉල්ලා සිටියාහු ය.

“මහණෙනි, පෙර මොහු බරණැස ඉපිද දිසාපාමොක් ඇදුරිඳුගෙන් ශිල්ප හදාරන්නේ පන්සියයක් පිරිස අතරෙන් මෝඩයෙක් ම විය. එහෙත් දිසාපාමොක් ප්‍රධාන ගුරු මණ්ඩලයට මොහු ඉතා ළෙන්ගතු ව කීකරු ව උපස්ථාන කළ අයෙක් වේ. එනිසා ම ගුරුන්ගෙන් මොහු බොහෝ සේ ප්‍රශංසා ලැබූ මුත් උගන්වන්නට ගත් උත්සාහයන් අසාර්ථක විය. ශිල්ප උගත් සියල්ල විසිර යන්නේ මොහු ද පැමිණ අවසර පැතීය. එවිට ඇදුරු තෙමේ මොහු මා හට ඉතා හිතවත් ය. උපකාරක ය. උගතකු කරන්නට ගත් උත්සාහය ද අසාර්ථක විය. කෙසේ නමුත් මොහුට ප්‍රත්‍යුපකාරයෙක් කළ යුතු යැයි සිතා, මතු වැඩක් වන්නට මන්ත්‍රයක් සාදා කට පාඩම් කරවීය. සියක් වරකටත් වඩා පාඩම් කරවා ඔහුට අවවාද කරන ඇදුරිඳු අමතක නො වන්නට මෙය හැමවිට ම කියව. ඔබගේ ජීවිතය ගෙන යන්නට මෙය ඇතැයි කියා මඟ වියදම් දී පිටත් කොට හැරියේ ය. මෑණියෝ ද පුතු ගෙදර ආ විට මාපුත් ශිල්ප හදාරා ආවයි ගරු සත්කාර කළහ.

මේ කාලයෙහි දිනක් බරණැස රජු ද තම වැරැදි තමාට නො පෙනේ යැයි සිතා එක් රාත්‍රියක වෙස්වළා මඟට බැස්සේ රට වැස්සන්ගේ කතා බහ ඇසීමට ය. මෙසේ ඇවිද යන රජු රාත්‍රියෙහි උමගක් හාරා ගෙයකට ඇතුල් වන සොරමුලක් දිටීය. ආසන්නයට ගිය රජුට ටික වේලාවකින් සොරු බියට පත්ව ඇඳිවත් ද හලමින් දිවයනු ද ගෙය තුළින් කිසියම් රිද්මයානුකූල මැතිරීමක් ද ඇසෙන්නට විය. මේ ගෙයි සිටියේ දිසාපාමොක්ගෙන් එදා මන්ත්‍රය හැදෑරූ ශිෂ්‍ය තරුණයා ය. ඔහු ද මන්ත්‍රය අමතක වේ යැයි සිතා මහ රැය ද ගැයී ය. ඒ ඇසූ සොරු තමා ආ බව ගෙදර ඇත්තෝ දැනගත් බව දැන බියෙන් පලා ගියෝ ය. රජු ඒ ගෙයට සලකුණක් තබා පසුදා රජගෙට තරුණයා කැඳවා විස්තර අසා රජු ද මන්ත්‍රය උගත්හ. රජු ද මෙය නිතර කියයි.

දිනක් රජුගේ මහසෙනෙවි කළ කුමන්ත්‍රණයක් ලෙස රජුගේ ගෙල සිඳ දැමීමට කරණවෑමියා එකඟ කරවා ගත්හ. සෙනෙවි රජවීමටත්, කරණවෑමියා මහසෙනෙවි කරවීමටත් ඒ එකඟත්වය යි. රැවුල බෑමට ගිය කරණවෑමියා රජුගේ ගෙල කපා දැමීමේ අදහසින් දැලි පිහිය කර ගලෙහි තදින් අතුල්ලන්ට විය. මේ අවස්ථාවේ ද රජු විනෝදයට මෙන් පළමු කී මන්ත්‍රය කියන්නට වීය. “අතුල්ලන්නේ, අතුල්ලන්නේ, මොන කාරණයට’දැයි මම හොඳින් දනිමි. හොඳින් දනිමි”යි මෙහි තේරුමයි. මේ කණ වැකුණු කරණවෑමියා, රජු මේ රහස දැන සිටියැයි, බියපත් ව ඩහදිය හෙලමින් දැලිපිහිය බිම දමා රජු පාමුල ඇද වැටුණේ ය.

රජවරු මෙවැනි දර්ශන තුළ කවදත් ශූරයෝ ය. දක්ෂයෝ ය. අනුන්ගේ අදහස් ඉඟියෙන්, කතාබස්වලින්, ඇසින්, කටින් හෝ මුහුණෙන් දත හැක්කේ ය. එහෙයින්

කරණවෑමිය, “මා මෙය නොදන්නේ යැයි නො සිතව“ තදින් කීවිට, “දේවයන් වහන්ස, මට කමාවන්න යැයි” සියලු කරුණු කීය. එවිට රජ තෙමේ මාගේ මන්ත්‍ර ගුරුවරයා නිසා දිවි බේරුණේ යැයි ද, මගේ ජීවිතයේ හිමිකරු ඔහු යැයි සිතමින්, මහ සේනාධිපති කැඳවා,

“මගෙන් තට නො ලැබුණේ කවරක් ද?, මම තට හැම දෙයක් ම දුනිමි. එසේවීත් මෙවැනි සිතිවිල්ලක් මා කෙරෙහි ඇති වූයේ කෙසේ දැ’යි අසා රටින් පිටුවහල් කොට තම මන්ත්‍ර ගුරුවරයා කැඳවා මහසෙනෙවි තනතුරින් පිදීය.

මෙසේ එදා මෝඩ ශිෂ්‍යයකු වූයේ චූලපන්ථක බව ද, දිසාපාමොක් ඇදුරිඳු වූයේ මම යැයි ද වදාරා මෙයට අදාළ ව චුල්ලසෙට්ඨි ජාතකය ද වදාළ සේක.

අවසානයෙහි බොහෝ දෙනා සෝවාන් පලාදියෙහි පිහිටියෝ ය. ධර්මලාභී බොහෝ දෙනාට ද වැඩ සිදුවිය.

නිකිණි අමාවක

සැප්තැම්බර් 02 සඳුදා
පූ.භා. 05.23 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භ. 07.27 ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]