[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක පෝ දා 2024-09-02

පාපී සිතිවිලි දුරලමු

අකුසලය අනතුරට මුල ය. විපතට හා දුකට මුල ය. දුක් විඳින්නට, විපතෙහි වැටෙන්නට, අනතුරු වනවා දකින්නට බිය නුවණැත්තෝ අකුසලය දුරින් ම දුරු කරති. අනුවණයෝ මේ සැප යැයි, සතුට යැයි මුළා වී අකුසලයේ ම ඇලී දුකට විපතට වැටෙති. අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට වදාළේ සියලු පව් දුරින් ම දුරු කළ යුතු බව ය.

ගිහි බෞද්ධයිනට තථාගතයන් වහන්සේ අනුදැන වදාළ ප්‍රතිපදාව පංචශීලය මුල්කොට ගත්තකි. සතුන් මැරීමෙන්, සොරකමෙන්, කාමමිථ්‍යාචාරයෙන්, බොරුවෙන්, සුරාවෙන් වැළකුණ තැන නිර්මාණය වන සාරධර්ම ඒ පරිසරය ජීවත්වීමට සුදුසු ලෙස සකස් කොට දෙයි.

ශ්‍රී සද්ධර්මයේ රැකවරණය ලබන්නට නම් ධර්මයෙහි හැසිරිය යුතු ම ය. ධර්මයෙහි හැසිරෙනවා යනු තමන් දැන උගත් ධර්මය ජීවිතයට ප්‍රායෝගික කර ගැනීම ය. බොහෝ අයට ධර්ම ඥානය ඇත. ධර්ම ශ්‍රවණයෙහි ද, දහම් පොත පත කියවීමෙහි ද යෙදෙෙති. එහෙත් ධර්මික පැවැතුම් ඇති බවක් නොපෙනේ. ඇතැම් කෙනෙක් ධනය වැය කොට මහා පින්කම් කරති. මහා දානපති ලෙස නම් දරති. එහෙත් ඔවුන් උපයාගත් ධනය අධාර්මික ය. එය තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රතිපදාවට පටහැනි ය. අධාර්මික ව කෙනෙක් යම් ධනයක් උපයනවා වන්නට පුළුවන. ඇතැම් පිරිස් මස් පිණිස සත්ත්ව ඝාතනය කරති. තවත් කෙනෙක් මත්ද්‍රව්‍ය වෙළෙඳාම් කරති. තවත් කෙනෙක් ධාර්මික රැකියාවක නියැළුණත් ඒ ආයතනයට වංක වෙති. එක්කෝ තමන් උපයන වැටුපට සාධාරණයක් වන ලෙස වැඩ නොකරති. අලස ව කටයුතු කරති. තවත් කෙනෙක් ආයතන ප්‍රධානීන්ට බොරු කේළාම් කියමින් සුදුස්සන් පළවා හරිති. මේ සියලු තැන් හි ඔවුන් යම් සතුටක් අත්විඳිනු ඇත. එහෙත් ඒ පව්කම්හි විපාක කවර මොහොතක හෝ ඔවුන් වෙත පැමිණෙනු ඇත.

සැවැත් නුවර මහධන නම් වෙළෙන්දෙක් විය. හේ දැහැමි ය. වෙළෙඳාම් සරු ය. භික්ෂූන් වහන්සේ ඇසුරු කරමින් නිතර දහම් කතාවේ යෙදුණේ ය. දිනක් මේ වෙළෙන්දා ගැල් පන්සියයක බඩු පුරවා ගෙන දුර ඈත ප්‍රදේශයක වෙළෙඳාමෙහි යන්නට සූදානම් වුණි. දහම් ඇසීමටත්, සිවුපසයෙන් උපස්ථාන කිරීමටත් පන්සියයක් භික්ෂූන් වහන්සේ ද වැඩමවා ගෙන සැප විහරණ සලසා දුණි.

මහ ධන සිටුවරයාගේ මේ ගමන ගැන ඇසූ පන්සියයක් පමණ සොරු පිරිසක් ධනය පැහැර ගන්නට මහ වන මැද රැක සිටියහ. මේ බව දත් එක් පුරුෂයෙක් මේ වෙළෙඳුන්ට කරදරයක් විපතක් සිදු වූයේ නම් භික්ෂූන් වහන්සේට ද අවැඩක් ම වේ යැයි සිතා මහ මඟ සොර සතුරු උවදුරු වේ යැයි වෙළෙඳුන්ට දැන්වූයේ ය. වෙළෙඳුන් ගමන නතර කොට තම ගම්බිම් බලා යාමට සිතූහ. මේ බව ද දැනගත් සොරු පෙරළා යන මඟ ද පැහැර ගැනීමට සිතූහ. මේ බව ද වෙළෙඳුන්ට සැලවුණි. ඒ අනුව ඒ ගමෙහි ම නැවතී සිට පසුව යෑමට කතිකා කර ගත්හ.

වෙළෙඳුන් අතරමඟ නැවතීම නිසා භික්ෂූන් වහන්සේ ආපසු වෙහෙරට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම සැල කළහ. ඒ නිමිති කර ගනිමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ,

මඳ වෙළෙඳ පිරිවර සහිත මහත් ධනය ඇති වෙළෙන්දා බිය සහිත මඟ මඟහැර ගන්නා සේ ද, ජීවත්වීමට කැමැති කෙනෙක් විස දෑ දුරලන්නා සේ ද පාපී සිතිවිලි, පාපී ක්‍රියා දුරින් ම දුරු කළ යුතු බව ය.

පව් දුරලා ජීවිත යහපත් මඟට ගන්නට වීර්යය වඩන්නට මේ වස්කාලයේ අධිටන් කර ගනිමු.

නිකිණි අමාවක

සැප්තැම්බර් 02 සඳුදා
පූ.භා. 05.23 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භ. 07.27 ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 24

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]