[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුක - සැප උරුම ජීවිත වගතුග

දුක - සැප උරුම ජීවිත වගතුග

හොල්මන් ,භූත, ප්‍රේත,කුම්භාණ්ඩ, යක්ෂ, පිසාච.... ආත්මයන් පිළිබඳ ඔබගේ විශ්වාසය කෙබඳු ද? සැබැවින් ම එවැන්නෝ සිටිත්ද? මේ පිළිබඳ යම් කුකුසක් සමාජය තුළ පවතී. බුදු දහම තුළ දී සත්ත්වයකු මරණින් පසු ජීවත් ව සිටියදී කළ කුසල් අකුසල්වලට අනුකූල ව නැවත උපත සැකසෙන භව තල තිස් එකක් පිළිබඳ සඳහන් වේ.

එම භව අතර ප්‍රේත භවය ද එක් භව තලයකි. ප්‍රේත ලෝකය ලෙස නම් දරණ එය අපගේ පියවි ඇසට හසු නොවන මානයක පවතින්නකි.

ත්‍රිපිටකය තුළ ඛුද්දක නිකායේ විමානවත්ථූ, පේතවත්ථූ යැයි ග්‍රන්ථ ද්විත්වයක් පවතී. විමානවත්ථු තුළ මිනිසත් භවයේ දී කළ කුසල් හේතුවෙන් දිව්‍ය සැප ළඟා කර ගත් කතා පුවත් දැක්වෙන අතර පේතවත්ථුව තුළ අකුසල් හේතුවෙන් ප්‍රේත ලොවට ගිය වුන්ගේ දුක්ඛ දෝමනස්ස සඳහන් වේ.

නිදර්ශනයක් ලෙස මෙසේ දැක්විය හැක. තිරිසන් ලෝකය අප මනුෂ්‍ය ලෝකය හා සමාන්තර ව අපට දෘශ්‍යමාන ව ලෝකය තුළ ම පවතින්නකි .යම් හෙයකින් එම සත්ත්වයන් පියවි ඇසට නොපෙනුනේ නම්, බහු පා, අපා දෙපා, සිවුපා තිරස් අතට ගමන් කරන ජීවීන් තිරිසන් ලෝකයේ සිටින බව පැවසුවා නම් අපට එම ස්වභාවයන් අදටත් අදහා ගත නොහැකිවනු ඇත. බලන්න අපට දක්නට ලැබෙන තිරිසන් ලෝකයේ කෙතරම් නම් විවිධත්ව පවතිනවා ද?

ඒ සියල්ල පිළිබඳ අපට අද හොඳ හැටි විශ්වාසයක් පවතිනුයේ අප ඒ් සියල්ල දැන හැඳීන පවතින බැවිනි. එසේ නම් බුදුන් වහන්සේ දෙසූ තිරිසන් ලෝකය සැබෑවක් නොවේ ද? ඒ සේ නම් ප්‍රේත ලෝක පිළිබඳ දෙසූ දේ ද මිථ්‍යාවක් විය නොහැකි බව ඔබට වැටහෙනු ඇත. තිරිසන් ලෝකයේ විවිධාංගීකරණය පරිදි ම ප්‍රේත ලෝකය තුළ ද විවිධාංගිකරණ ඇත. එහි ප්‍රේත, භූත ,පිසාච, කුම්භාණ්ඩ ආදී විවිධ සත්ත්වයන් විවිධ ස්වරූපයෙන් සිටි .ඔවුන් හොල්මන් නොවේ.

තවත් මේ ලෝක ධාතුව තුළ ඉර සඳ එළිය ලැබ සරණ ජීවී කොටසකි. එවන් ජීවියකු දැක හිත සලිත වීම හොල්මන් දැකීමකි . ඔවුනගේ ශරීර ස්කන්ධයක් නොමැත. එබැවින් පාවී යන්නාක් බඳු ස්වභාවයකින් එහා මෙහා සරනු ඇත. කබලිංකාර ආහාර ලබා ගත නොහැකි බැවින් ආහාරවල ගන්ධය පමණක් ලබා මනදොළ සපුරා ගනි. කොතරම් එම ගන්ධය වින්ද ද සෑහීමකට පත් නොවන බැවින් ප්‍රේත ස්වභාවයක් දිස්වේ.

විවිධ ප්‍රේතයන් විසින් විවිධ දේ තුළින් තම සතුට විඳගනු ලැබේ. කෙනෙකු ආහාර පාන (බුප්පිපාසික), තව කෙනෙක් වස්ත්‍ර, තව කෙනකු මළ, මූත්‍ර, සොටු(වන්නාසික), තව කෙනෙක් භාණ්ඩ දේපළ(කුම්භාණ්ඩ), තවකෙනෙක් ස්ත්‍රී පුරුෂ වි¼දීම ....මේ ආදී වශයෙන් විවිධ වූ ආශාවන් මුල්කොට ගෙන ප්‍රේත ලෝකයේ ජනිත ව හැසිරෙන්නෝ ඇත. සමහර ප්‍රේතයන් හට අප ලබා දෙන පින් ලැබ ගෙන (පරදත්තුප) වෙනත් සුඛදායී ආත්ම කරා එළඹීමේ හැකියාව ඇති අතර, ඇතැමුන් දිගු කාලීන ව කළ අකුසලයන්ට විපාක විඳීමින් කල් යවති. උස් බිමකින් වැටෙන ජලය පහත් බිමකට ගලා ගෙන යන්නා පරිදි මිනිස් ලොව තමන්ගේ ඥාතීන් විසින් දෙන පින්වලින් ප්‍රේතයන්ට සැප ලැබෙන අතර, උන්නමේ උදකං වට්ඨං යථා නින්නං පවත්තති. -

ඒව මේව ඉතෝ දින්නං පේතානං උපකප්පති

තවත් ලෙසකින් ඇළ ,දොළ, ගංගා ආදියේ ජලයෙන් මහ සයුර පිරී යන්නා සේ මිනිස් ලොවින් ලැබෙන පින් ගෙන ප්‍රේතයින් සැප ළඟා කර ගනිති. මනුෂ්‍ය ලොව සරන්නන්ගේ ජීවන රටාව දෙස සියුම් ව බැලූ විට ඔවුන් පෙර ආත්ම තුළ එවැනි ප්‍රේත භවයන් දරා සිට පැමිණි බව කිසිදා කිසිදු දෙයකින් සෑහීමකට පත් නොවන ස්වභාවය තුළින්, ඔවුන්ගේ විඤ්ඤාණය තුළ ප්‍රේත ලෝකයේ ලද වස්තු බීජ තැන්පත් ව ඇති බවට සාධක සපයනු ඇත.

අතීතයේ පටන් මිනිසුන් දේවාල සංස්කෘතියක් තුළ භාරවීම්, ඔප්පු කිරීම් ,අංජනම් බැලීම්,කොඩිවින, යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් වැඩ කරනු ලැබේ. දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියනු ලැබේ යැයි පවසති. එහෙත් සැබැවින් ම මේ අපිරිසුදු ස්ථාන තුළ දෙවියන් වැඩි නොසිටින අතර, මේවා තුළ එම කාර්යයන් සිදු කරනුයේ පෙරකී යක්ෂ , භූත, පිසාචයන් හරහා ය. ඔවුන්ට දොළ පිදේනි දීම තුළ ඔවුන් අවනත කරවා ගෙන මනුෂ්‍යයන්ට වැඩ කරවා ගැනීමේ ගුප්ත ක්‍රම ද නැතුවා ම නොවේ. සමහර මෙම අමනුෂ්‍යයන් මිනිස් ශරීරය තුළට ඇතුළු ව ඔවුන් රෝගාතුර කරමින් ඔවුනගේ ශරීරයේ ලේ, මස්, සොටු ආහාර කර ගනිමින් ජීවත් වෙයි. බොහෝවිට එය පුද්ගලයාගේ ශාරීරික මානසික ශක්තිය අඩාළ වූ අවස්ථාවන්වල සිදුවන්නකි. එම දුර්වලතාව දකින ප්‍රේත ලෝ වැසියන් එම ශරීරයට පිවිස එය තම නිවහන කොටගෙන එම පුද්ගල මනස තමාට නතු කර ගනී.

එවිට මිනිස් වෙසින් සිටින ප්‍රේතයා අමනුෂ්‍ය කාර්යයන් සිදු කරනු ඇත.

නිදර්ශන : දේවාල ඉදිරිපිට අධික වේගයකින් බෙල්ල හිස කරකවමින් නටන පුද්ගලයින්

මත්ද්‍රව්‍ය මත්වතුර පානය කොට මහ මඟ දුක් ගෙවන පුද්ගලයින්

අධික රාගික දේ සිදු කරමින් හැසිරෙන පුද්ගලයින්,

අධික ව ආහාරපාන බුදිමින් නිද්‍රාශීලී ව ජීවිත ගෙවන පුද්ගලයින් ඒසේ ප්‍රේත ආත්මවල බලපෑමට නතුව අමනුෂ්‍යයන් සේ හැසිරෙනු ලැබේ.

පේතවත්ථූ කතා පුවත් කියවීමේ දී මෙම අමනුෂ්‍යයන් තුළ පවතින ස්වභාවයන් පිළිබඳ ඔබට මනා වැටහීමක් ලැබෙනු ඇත. ඒ අනුව පුද්ගලයන් තිසරණ ගුණ පිහිටුවා කුසල් කිරීම තුළ ජීවත් වේ නම්, මෙම අමනුෂ්‍යයන්ට එවැනි මිනිසුන් සමීපයටවත් පැමිණිය නොහැක. ධර්මය නොපිහිටා අසිහියෙන් අධාර්මික ව දිවි ගෙවන්නන් රෝගාතුර ව මළ මුත්‍ර වගුරුවමින් මරණාසන්න මොහොතකට ළඟා වේ. එවන් දුර්වල අවස්ථා ප්‍රේත ලෝකයට දොර විවර කර ගැනීමකි. එවැන්නක් දකින ප්‍රේත වැසියෝ තම ලොවට ඒමට සිටින අය රැගෙන යාමට ඔහු වටා රොද බැඳ ගනිති.

දුටුගැමුණු රජු මරණාසන්න මොහොතේ තම කුසල සිහි කර ගනිමින් බණ අසමින් සිටින විට සදෙව්ලොව වැසියන් අවුත් අඬගැසූ බව ඔබ අසා ඇත. එසේ නම් අධර්මය තුළ ප්‍රේත ලොවට හඬ නැගුම එකී විරුද්ධ පැතිකඩ බව දැන් ඔබට වැටහෙනවා නොවේද ? ඉදින් මින් අත්මිදීමට එකම සරණ තිසරණය බව ඔබ වටහා ගත යුතුව ඇත. දාන, ශීල, භාවනා යන තෙවැදෑරුම් ක්‍රම ඔස්සේ ඔබට ජීවත්ව සිටිනා කල් කුසල් රැස් කළ හැකි මාර්ග වේ. දානය යනු ඔබ ආහාර බඳුනේ ඉඳුල් ද ඔබට පනු ආදී සත්වයන්ට ආහාරයක් වේ යැයි ප්‍රාර්ථනා කර සිදුකර පින් කර ගත හැක්කකි. ශීලය යනු සිල් රෙදි පොරවා ගෙන ම රැකිය යුත්තක් නොවේ. මෛත්‍රී භාවනාව ද නිදන මොහොතේ පවා සියලු සතුන්ට මෙත් වැඩිය හැකි අවස්ථාවකි. මේ කුසලයට විශේෂ කාලවේලා අවැසි නොවෙයි. අවශ්‍ය වනුයේ සම්‍ය‍යක් දෘෂ්ටිය තුළ පිහිටි සංවර සිතයි. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා.... යැයි බුදුන් වහන්සේ වදාළේ ද සිත තරම් ප්‍රබල දෙයක් සත්ත්වයකුට තවත් නොමැති බැවිනි.

ඉදින් ඒ සිත මෙහෙයවා විමානවත්ථුව තුළ දකිනා සැප ද ලැබ ගන්නේ ද, පේතවත්ථූව තුළ දක්නා දුක ලැබ ගන්නේ ද යන්න ඔබම තීරණය කළ යුත්තකි.

සම්බුද්ධ දේශනාව වනුයේ කුමන භව තලයක් කරා පිවිසිය ද එය තාවකාලික නවාතැන්පොළක් පමණක් වන බව ත් ය. තවත් ලෙසකින් අප කරන කුසල් අකුසල් කර්මානුරූපී ව ගෙවා දමන නිස්සාර ජීවිත බවත් ය. ඉතින් අප උත්සාහ කළ යුත්තේ මේ භවයන්ට පිවිසීමට නොව මේ භවයේ සැරිසැරීම නවතාලීමට ය. එවිට අජරාමර වූ නිර්වාණ සැපය අපට ඒකාන්තයෙන් ම උදාවනු ඇත. එහි දුකක් හෝ සැපක් හෝ නොමැත. සදාකාලික නිවීම පමණක් ඇත.

නිකිණි අව අටවක

අගෝස්තු 26 සඳුදා පූ.භා 03.42 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 ගෙවේ.
 26 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

First Quarterපුර අටවක

සැප්තැම්බර් 11

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 17

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]