[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

හැඳිනීමට පෙර විමසීමට නුවණැති වෙන්න

හැඳිනීමට පෙර විමසීමට නුවණැති වෙන්න

කුහකත්වය යනුවෙන් වචනයක් තිබේ. කුහකත්වය යන්න බුදුදහමේ අර්ථ ගැන්වෙන ආකාරයට ම මිනිස් චින්තනය තුළින් ක්‍රියාත්මක වේ ද යන්න සොයා බැලිය යුතුයි.

සමාජගත ජීවිතයේ දී කුහකයකු යන්නෙන් අදහස් කරනුයේ වෛරයෙන්, ක්‍රෝධයෙන් අනුන් හෙළා දකින, අනුන් පීඩාවට පත් කරන ස්වභාවය සහිත ගතිගුණ ඇති පුද්ගලයකුටයි.

බුදු දහමේ අර්ථ ගැන්වෙන ආකාරයට කුහකත්වය යනු නැති ගුණයක් මවා පෙන්වීමක්. ලාභ, කීර්ති, ප්‍රශංසා ආදී දේ අපේක්ෂාවෙන් තමන් ළඟ නැති ගුණ පෙන්වන ස්වභාවය කුහකත්වය ලෙසයි මින් අදහස් කරන්නේ. ඒ අනුව බලන කල සමාජගත ජීවිතයේ දී කුහකත්වය යන්න බුදුදහමේ ඉගැන්වෙන මූලික ගුණාංගවලට සමීප වූවක් ලෙස හඳුන්වාදීමට පුළුවනි.

අභිධර්ම පිටකයේ විභංගප්පකරණයේ “කුහනා” යනුවෙන් වචනයක් විග්‍රහ කෙරෙනවා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා ලබා ගැනීම සඳහා තමන් ළඟ නැති ගුණ පෙන්වන ස්වභාවය ලෙසයි. “කුහනා” එහි අර්ථ ගැන්වී තිබෙන්නේ.

සමහරවිට කෙනෙක් කියන්න පුළුවන් මම අල්පේච්ඡයි කියලා. එහෙම නැත්නම් තමාගේ බලාපොරොත්තු සරලයි කියලා. මේ තත්ත්වය සමාජයට පෙන්වන වංචනික ස්වභාවයක් කර ගෙන තවත් වැඩි වැඩියෙන් ලාභ, කීර්ති ප්‍රශංසා ආදිය අපේක්ෂා කිරීම ‘කුහනා” ලෙස සමාජගත ජීවිතයේ දී අසන්නට ලැබෙන කුහකත්වයෙන් පිරි පුද්ගලයන්ගේ ස්වභාවය බවයි තවදුරටත් අපට පැහැදිලි කර ගත හැක්කේ.

යම්කිසි පුද්ගලයකු තවත් පුද්ගලයකුට ත්‍යාගයක් වශයෙන් වටිනා ඇඳුමක් දුන්නා කියලා හිතමුකෝ. එම ත්‍යාගය ලද පුද්ගලයා අප ඉහතින් සඳහන් කළ ගතිගුණ ඇති පුද්ගලයකු නම්, ඔහු මෙහෙම කියන්න ඉඩකඩ තිබෙනවා.

“අනේ, මේ වගේ වටිනා ඇඳුමක්. මම එතරම් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.”

නමුත් ඔහුගේ යටි සිතේ ක්‍රියාත්මක වන්නේ වෙන දෙයකි. තමන්ගේ බොරු අල්පේච්ඡතාව පෙන්වමින් තමන්ට ත්‍යාගය ලබා දුන් පුද්ගලයා තමන් වෙත වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීමට තමන් ගැන ඔහුගේ සිතේ වැඩි පැහැදීමක් ඇති කර ගැනීමට ඔහු ක්‍රියාත්මක වන්නේ නම් ඊළඟ පියවරේ දී වැඩි වැඩියෙන් ලාභ අපේක්ෂා කරන්නේ නම් ඔහු ‘කුහක’ පුද්ගලයකු ලෙස හඳුන්වාදිය හැකියි. වෙනත් අයුරකින් කියනවා නම්, ඔහු එම අවස්ථාවේ දී සිදු කරනුයේ තමන් ළඟ නැති ගුණ මවා පෙන්වීමක්. මෙවැනි තත්ත්වයකට පත්වීමේ දී ගිහි පැවිදි කියා භේදයක් නැහැ.

මාර්ගඵලලාභී නොවන අයෙක් තමන් මාර්ගඵලලාභී අයකු ලෙස හඳුන්වාදීමත් වැටෙන්නේ කුහකත්වයක් ලෙසයි. පසුගිය කාලවල තමන් නිවන් මාර්ගය සාක්ෂාත් කර ගෙන ඇති බව ප්‍රකාශ කළ අයත් සිටියා. එම තත්ත්වයන්ට පත්වීමට සිදුවනුයේ නැති ගුණ මවා පෙන්වීමෙන්. කුහකත්වය වංචනික තත්ත්වයක්. මෙය කපටිකමක්. කෛරාටිකමක්. කෛරාටිකම ඉස්මතු වන්නේ ද්වේෂය පදනම් කරගෙනයි. ලාභ සත්කාරක ලබා ගැනීමේ පදනම ක්‍රියා කරනුයේ ආශාව පදනම් කරගෙනයි. සමාජයේ බොහෝ දෙනාට මේ ගැන අවබෝධයක් නැහැ.

මේ සියලු දේ පාපකාරී අදහස් මෙම කාරණා පිළිබඳ නිසිලෙස අවබෝධ කර ගතහොත් සමාජයේ කාටවත් හිරිහැරයක් නොවී පහසුවෙන් ජීවත් වන්න පුළුවන්. ආයතනික වශයෙන් වේවා, තනි පුද්ගලයකු ලෙස වේවා අප උත්සාහ කළ යුත්තේ හැම විටම පාපකාරී චේතනාවලින් තොරව සමාජයේ යහපත් ව ජීවත්වීමටයි.

බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රයේ දී “පාප මක්ඛී” යනුවෙන් දේශනා කළේ මෙම තත්ත්වය යි. පාප මක්ඛී යන්නෙහි තේරුම ගුණ මැකීම හෙවත් ගුණමකුකමයි. මේවා පාපී අදහස්. කුඩා කාලයේ දී දෙමව්පියන්ගෙන් යැපී, ඉගෙනුම ලබා සමාජයේ උසස් තලයකට පැමිණි පසු ඔහු හෝ ඇය දෙමාපියන් තමාට කළ දෙයක් නැතැයි කියමින් දෙමව්පියන් නොසලකා හැරීම ගුණ මැකීමක් ලෙස පෙන්වාදිය හැකියි. මෙම අයගේ තත්ත්වය තේරුම් නොගතහොත් සමාජය විශාල පරිහානියකට යෑම වළක්වා ගත නොහැකියි.

ජාතක පොතේ හරි අපූරු කතාවක් තිබෙනවා. මෙම කුහකයන් පිළිබඳ ව. එම ජාතක කතාව නම් කර තිබෙන්නේ ‘කුහක’ ජාතකය ලෙසයි. අප කියන මේ කාරණය තේරුම් ගැනීම සඳහා මෙම ජාතක කතාව පිළිබඳ දැන ගැනීම වැදගත්.

එ දවස එක්තරා ගමක ජටාදර නම් තාපසයෙක් සිටියේ ය. මේ තාපසයා දැකීමෙන් එක්තරා පුද්ගලයකුට ඔහු පිළිබඳ ව ප්‍රසන්න සිතක් පහළ විණි. තාපසයා ගැන පැහැදීම නිසා ම ඔහු කුඩා කුටියක් තනා තාපසයාට පරිත්‍යාග කිරීමට පියවර ගත්තේ ය. සෑම දිනක ම උදේ සහ දහවල් මධුර පෝෂණය සහිත ආහාරවලින් තාපසයාට සංග්‍රහ කිරීමට ඔහු අමතක නොකළේ ය. මේ අයුරින් ටික කාලයක් ගතවෙද්දී මෙම පුද්ගලයාට එක්වර ම සිහිවෙනවා තම නිවසේ තිබෙන රන් කහවනු පසුම්බිය පිළිබඳ ව. මෙම රන් කහවනු නිවසේ තිබුණොත් සොරදෙටුවන් අතට පත්වේ යැයි ඔහු තුළ සිතක් පහළ වෙනවා. තාපසයාට මෙම රන් කහවනු බලා ගැනීමට දුනහොත් ඊට නිසි ආරක්ෂාව සැලසෙනු ඇතැයි ඔහු කල්පනා කළා. ඔහු එතරම්ම තාපසයා ගැන පැහැදීමෙන් හිටියේ. තාපසයා කිසිම දෙයකට ඇලුම් නොකිරීම පිළිබඳ ඔහු තුළ තිබුණේ බලවත් ප්‍රසාදයකි.

තවත් දවසක් උදාවෙනවා. එම පුද්ගලයා අර රන් කහවනු සියල්ල තාපසයා ළඟට ගෙනැවිත් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමක් කරනවා. එවිට තාපසයා කියන්නේ කුමක් ද? මෙවැනි දේවල් පිළිබඳව අප ආසා නැහැ. එනිසා අපට කැප නැති දේ භාර ගන්න බැහැ. කියා ප්‍රකාශ කළා.

එම ප්‍රකාශයත් සමඟ තාපසයා පිළිබඳ එම පුද්ගලයා තවදුරටත් පැහැදෙනවා. කෙසේ හෝ අවසානයේ එම පුද්ගලයා ඔහුගේ රන් කහවනු තාපසයා රැඳී සිටින කුටියේ ම ආරක්ෂිත ලෙස වළදමා ඒ පිළිබඳ තාපසයාවත් දැනුම්වත් කරනවා. ඒ වේලාවේ දී තාපසයා හැසිරෙන්නේ එම කතාව ඇහුණ නෑසුනා වගෙයි. ඒ පිළිබඳ කිසිම ඇල්මක් ඇති බවක් හඟවන්නේ නැහැ.

ටික දවසක් යනකොට මොකද වෙන්නේ. තාපසයාට සිතක් පහළ වෙනවා මේ රන් කහවනු ගත්තොත් හොඳින් ජීවත්වෙන්න පුළුවන් කියා. එනිසා අර පුද්ගලයා නැති අතරතුරේ කුටියේ වළදමා තිබූ රන් කහවනු සියල්ල පසුම්බිය සමඟ ම කුටියට එන පාරේ වෙනත් තැනක වළ දමනවා. ඊට පසුව අර පුද්ගලයා අමතා තාපසයා කියන්නේ මේ වගේ කතාවක්.

මම තවත් දවසකින් මෙම කුටියෙන් පිටවෙනවා. මිනිසුන් සමඟ වාසය කිරීමෙන් අපේ ශීලය දූෂණය වෙනවා. එනිසා තවදුරටත් මේ කුටියේ රැඳී සිටීම සුදුසු නැහැ. මගෙන් වැරැද්දක් වුණා නම් සමාවෙන්න. මේ කතාව අහපු අර පුද්ගලයාට තාපසයා ගැන ඇතිවෙන්නේ පුදුම භක්තියක්. එම පුද්ගලයා කුටිය හැරදා නොයන ලෙස තාපසයාගෙන් අයැද සිටිනවා. එය පිළි නොගන්නා තාපසයා අවසානයේ එම කුටියෙන් ඉවත් වෙනවා කුටියෙන් ඉවත්වී ගිය තාපසයා තවත් මොහොතකින් ආපසු කුටිය දෙසට එන බව අර පුද්ගලයා දකිනවා. ඇයි ඔබතුමා පැමිණියේ, මගේ ඉල්ලීම ගැන යළිත් වතාවක් කල්පනා කළාද? මට නම් තව ම සතුටුයි. එම පුද්ගලයා එසේ ප්‍රකාශ කළ පසු තාපයා පවසන්නේ මෙවන් දෙයකි.

නැත පින්වත, මම ආවේ ඔබගේ ඉල්ලීමට නොවේ. මාගේ ජටාවේ කුටියේ තිබූ පිදුරු ගසක් රැඳී තිබෙනවා. නොදුන් තණ පතක් හෝ ගැනීම තාපසයන්ට සුදුසු ක්‍රියාවක් නොවේ. තාපසයාගේ මෙම වදන් අසන එම පුද්ගලයාගේ සිතේ ඇතිවන්නේ පුදුම සතුටක්. මේ තාපසයා පුංචි දේටත් කෙතරම් කුකුස් බරද? තාපසයාගේ ක්‍රියාවලිය පිළිබඳ මේ පුද්ගලයා පසුවන්නේ නිම්හිම් සතුටකින්. කෙසේ හෝ අවසානයේ දී තාපසයා එම කුටිය හැරදා ගියා. තාපසයා ගිය පසු එම පුද්ගලයා කල්පනා කරනවා තාපසයා නැහැනේ. එනිසා රන් කහවණු මෙතැන තිබීම සුදුසු නැහැ. ඔහු අවසානයේ වළදැමූ තැනින් රන්කහවණු ගන්න ගියත් රන් කහවණු තිබුණේ නැහැ. එහෙත් මෙම පුද්ගලයාට තාපසයා ගැන කිසිම සැකයක් ඇතිවන්නේ නැහැ.

මේ කාලයේ අපේ බෝධිසත්වයන් වහන්සේ අවට කුටියක් හදාගෙන මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න විසඳනවා. අප සඳහන් කළ පුද්ගලයාත් බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටි කුටියට පැමිණියා. තමන් මුහුණ දුන් ප්‍රශ්නය ඉදිරිපත් කළා. එහෙත් තාසපයා ගැන කිසිම සැකයක් නැති බවයි එම පුද්ගලයා ප්‍රකාශ කළේ.

නමුත් බෝධිසත්වයන් වහන්සේ උපදෙස් දෙන්නේ කුටිය හැරදා ගිය තාපසයාගෙන් ම මේ පිළිබඳ ප්‍රශ්න කරන ලෙසයි. අවසානයේ දී තාපසයා මුණ ගැසී දිගින් දිගට ම ප්‍රශ්න කිරීමේ දී රන් කහවනු සොරා ගත්තේ තාපසයා ම බව එම පුද්ගලයා විසින්ම අනාවරණය කරනු ලබනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් නියම ආකාරයෙන් තේරුම් ගන්නේ කෙසේද කියා.

න වණ්ණ රූපෙන නරෝ සුජාතෝ
න විස්සසේ ඉත්තරදස්සනේන
සුසඤ්ඤතානං හි වියඤ්ජනේන
අසඤ්ඤතා ලෝකමිමං මරන්ති

වර්ණයෙන් දුටු පමණින් මිනිසා හඳුනාගත නොහැකියි. ඊට හේතුව තමයි හික්මුණු පුද්ගලයාගේ වෙස් ගත් නොහික්මුණු පුද්ගලයන් මේ ලෝකයේ හැසිරීම.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

නිකිණි පුර අටවක

අගෝස්තු 12 සඳුදා පූ.භා. 07.55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]