නිකිණි පුර අටවක පෝ දා
2024-08-12
ධර්මය ජීවිතයටයි
මේ එළඹ තිබෙන්නේ ජීවිතයට පින් පුරවා ගත හැකි කාලය යි. උතුම් වස්සානය යි. ගිහි
පැවිදි සම්බන්ධතාවට අර්ථයක්, වටිනාකමක් එක්කර ගැනීමේ හැකියාව වඩාත් සඵල කර ගත හැකි
මෙකල ඒ වෙසෙස් අවස්ථාව මඟ නොහැර ගන්නට සෑම බෞද්ධයකු ම උත්සුක විය යුතු ව ඇත.
කාලය ඊයක වේගයෙන් ඉගිල යන බව අපි සෑම දෙනා ම අවධාරණය කර ගත යුතු ය. ඒ වේගයෙන් ගෙවී
යන්නේ ජීවිතයයි. ගෙවෙන හැම තත්ත්පරයක ම අප සමීප වන්නේ මරණයට යි. එය ඊළඟ තත්ත්පරයේ
සිදුවේ දැයි කිසිවකුට නිශ්චය කළ නොහැකි ය. එයම කාලය අපතේ නොහරින්ට අපට නිසි මඟ
පෙන්වයි.
අපේ ජීවිතයට ධර්මයේ රැකවරණය හැර අන් රැකවරණයක් නැත. ඊළඟ ජීවිතය තීරණය කරන්නේ සසරේ
රැස් කළ කර්ම අනුව ය.
නගරයේ සේ ම ඈත ගම්දනව් පුරා ද මෙකල වෙහෙර විහාරවල වස් පින්කම් සංවිධානය කරමින් ගිහි
පැවිදි දෙපාර්ශ්වය ම උද්‍යෝගයෙන් ඒකරාශී වීම අගය කළ යුත්තකි. ගමේ පන්සලේ වැඩ සිටින
භික්ෂූන් වහන්සේගේ කල්‍යාණමිත්‍ර ඇසුර ලැබෙන විට ගිහි පාර්ශ්වයේ ආධ්‍යාත්මික
ගුණධර්ම දියුණු වේ. එය මෙලොවට සේ ම පරලොව ජීවිතය ද සාර්ථකත්වයට පත් කර ගැනීමෙහි ලා
ඉවහල් වේ. විශේෂයෙන් අනේකවිධ කරදර පීඩා හමුවේ ජීවිතය පැවැත්වීම ම ඉතා අසීරු තැනක
පවතී. එදිනෙදා මුහුණ දෙන සමාජයීය, ආර්ථික හා දේශපාලනික ප්‍රශ්න හමුවේ පැහැදිලි
මනසින් ඒවාට මුහුණ දෙමින්, ව්‍යාකූල බවින් තොරව සාමකාමී ව ජීවත් වීමට ධර්මය උපකාරී
වේ.
අප මුහුණ දෙන සියලු ප්‍රශ්න, ගැටලුකාරී ස්වභාවයන් තුළ නිර්මාණය වන්නේ ලාභ - අලාභ,
යස- අයස, නින්දා - ප්‍රශංසා, දුක - සැප යන අටලෝදහමට මුහුණ දීමටයි. නිරන්තරයෙන්
ධර්මයේ ඇසුර ලබන්නාට මේ ලෝක ස්වභාවය දරා ගැනීම අසීරු නොවේ. ජීවිතය ගැන යථාව තේරුම්
ගැනීම එවැනි පුද්ගලයාගේ ස්වභාවය යි.
ජිවිතය ගෙන යන සටනේ දී කාර්ය බහුලත්වය සමඟ උදාවු වස් සමයේ හෝ වෙහෙර විහාරයට යන්නට,
දිනපතා පැවැත්වෙන සම්බුද්ධ පූජා, බෝධි පූජා, අසූමහා ශ්‍රාවක පූජා, ධර්ම දේශනා ආදී
පින්කම්වලට සහභාගි වීමට අවස්ථාව ගිලිහී යන්නට ද පුළුවන. දිනපතා නොවුණත් සතියකට වරක්
දෙවරක් හෝ මේ පින්කම්වලට සහභාගිවීම තුළ ලැබිය හැකි මානසික සුවය ඉහළ ය. නිරවුල්
සිතින් ජීවිතයට මුහුණ දෙන්නට අවශ්‍ය ශක්තිය එයින් ලැබෙයි.
ධර්ම දේශනාමය පින්කම්වලට සහභාගි වීම තුළ ශ්‍රී සද්ධර්මය ගැන දැනුම සේ ම විචාරශීලී
විමේ හැකියාව ද ලැබේ. ධර්මයේ පිහිට ලබන්නට නම් ධම්මානු ධම්ම පටිපන්න විය යුතු ය. ඒ
සඳහා පළමු ව දහම් ශ්‍රවණය කළ යුතු ය. එසේත් නැති නම් කියවා දැන උගත යුතු ය. දහම්
ශ්‍රවණය කළ ද ධර්මය තුළ ජීවත් නොවන්නේ නම් ප්‍රයෝජනයක් අත්වන්නේ නැත. එය ලෝකයට
පෙනෙන්නට කරන ව්‍යායාමයක් පමණක් වනු ඇත.
නිති දාන සීල භාවනාවන්හි නිරත වන පුද්ගලයා නිවුණු තැනැත්තෙකි. ඔහු සිත ලෝභය නැමැති
ගින්න නිසා නොදැවේ. සමහරු ජීවිතයට ප්‍රශ්න ඈඳා ගන්නේ ලෝභී සිත නිසාය. දේවල් අත්පත්
කර ගන්නට සේ ම රැස් කර ගන්නට ද යෑම තුළ අහිමි කරවන්නේ සැනසීමයි.
ධර්මයට ලැදි පුද්ගලයා තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැත. අනුන්ගේ දියුණුවට අතහිත දීම සේ ම
අනුන් දියුණු වන සැටි බලා සතුටු වන්නට ද හැකි නම් ඒ පුද්ගලයාගේ සිත ගිනි ගෙන
නොදැවේ. සමාජයේ ජීවත්වන විට සිත තරහගස්වන, ආවේගශීලී කරන සිදුවීම් බොහෝ ය. එහෙත්
එවැනි කිසිදු අවස්ථාවක ව්‍යාකූල නොවන්නට ධර්මයට හිතැති පුද්ගලයාට අපහසු නැත.
බෞද්ධයන් ලෙස අපි ගෙවන සෑම මොහොතක ම දහමට අවනත ව දිවි පවත්වමු. දෙලොව සැනසුම උදා කර
ගනිමු. |