[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පින් කරන - හිත හදන රත්නපුර බෝධිරාජාරාම වෙහෙර බිම

පින් කරන - හිත හදන රත්නපුර බෝධිරාජාරාම වෙහෙර බිම

වසරකට දෙතුන් වතාවක් ගංවතුරෙන් යට වන රත්නපුර වරකාතොට පාරේ බෝධිරාජාරාම විහාරය සතර පේරුවට පමණක් නොව අහල ගම් හතකින් ඔබ්බටත් දහම් දිය පතුරවන මහා පින් බිමකි. සකල විහාරාංගයන්ගෙන් සමන්විත වූ බෝධිරාජාරාම විහාරය සිත් සනහන පින් බිමකි. දායක පින්වතුන් දහමට ලැදි කරවන දනට පිනට හුරු විවිධ සමාජ සත්කාරයන්ට යොමු කරන පුණ්‍ය භූමියකි.

විහාරාධිපති විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක පූජ්‍ය මාවෙල සිරි සුමන නා හිමිපාණන්ගේ මඟ පෙන්වීම යටතේ බෝධිරාජාරාමය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන විවිධ වැඩසටහන් ඒ සඳහා නිදසුන් ය.

රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම සිසු සිසුවියන් පිරිසක් ඉගෙනුම ලබන්නේ බෝධිරාජ විහාරයේ ය. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් ම උගන්වන බෝධිරාජ දහම් පාසල ඉඩ කඩ මදි නිසා සෙනසුරාදා සහ ඉරිදා දින දෙකේ දී ම පැවැත්වේ. මේ සඳහා උන් වහන්සේ අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරින් ලත් අත්දැකීම් සම්භාරය ද මහත් පිටුවහලක් විය.

දහම් පාසලේ ඉගෙනුම නිමා කරන දරුවන් ඉන් පසු අතහැර දැමීමක් සිදු වන්නේ නැත. සුමන නා හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ඔවුන් වෙනත් සමාජ සංව්ධාන සඳහා යොමු කෙරෙයි. ඒ නගරයේ ව්‍යාපාරික ප්‍රජාව මෙන් ම ආයතන ද සුමන හිමිපාණන්ට සහය දෙන්නේ උන් වහන්සේ ගෙන යන වැඩ පිළිවෙළෙහි සාර්ථකත්වය දකිමින් ය. විඳිමින්ය. මිණිපුර ජන සෙත පදනම ඒ සියල්ල සම්බන්ධීකරණය කරයි.

බෝධිරාජාරාම විහාරාධිපති මාවෙල සිරිසුමන නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනයෙන් යුතු ව විහාරස්ථානයේ සිදු කෙරෙන මාසික පින්කම් අතරින් වඩාත් කැපී පෙනෙන්නේ ගැබිනි මාතා සත්කාරය යි. එය අප බොහෝ තැන්වල දකින ආකාරයේ දන් දීමක් නොව ආහාර පාන හෝ ඇඳුම් පැළඳුම් දීමක් නොව දන් ලබන්නන් දහමට බර මිනිසුන් කර ධාර්මික සමාජයකට අඩිතාලම දැමීමක් ද වන්නේ ය.

ගැබිනි මාතා සත්කාරය සදහා මූල්‍ය අනුග්‍රහය සමඟ ශ්‍රම දායකත්වය ලබා දෙන රත්නපුර නිශාන්ත සේනාධීර මහතා හැඳිනගන්නට ලැබුණේ බෝධිරාජාරාමාධිපති මාවෙල සිරි සුමන නා හිමිපාණන් මඟිනි.

“සේනාධීර මහතා අපේ මිණිපුර ජන සෙත පදනමේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. බොහෝම සැදැහැවත් දායකයෙක්. හැම පෝයකට ම සිල් සමාදන් වන තරුණ උපාසකයෙක්. ඒ වගේම දැහැමි ව්‍යාපාරිකයෙක්. අපේ විහාරස්ථානය මුල් කර ගෙන මෙයට අවුරුදු පහකට පමණ ඉහත ඇරඹුණේ අහල පහළ ගැබිනි මව්වරු දරුවො එකතු කරලා කිහිප දෙනකුට ආහාර පාන ඇඳුම් පැළඳුම් වගේ එදිනෙදා අවශ්‍ය කරන දේ දීලා. ඒත් මේ වන විට එම ප්‍රමාණය පවුල් 350 ඉක්ම ගිහින්.” උන්වහන්සේ පවසති.

රත්නපුර නගරයෙන් පටන්ගත් මේ පින්කමට දැන් රත්නපුර දිස්ත්‍රික්කය ම සම්බන්ධ වෙලා. ආධාර ලබන අය තෝරාගන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාගෙ, ග්‍රාම නිලධාරිතුමාගෙ වගේම ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙ නිර්දේශය සමඟයි. ආධාර ලබන අයගෙ පසු විපරමකුත් සිද්ධ වෙනවා. පවුලෙ ඉන්න දරුවො සංඛ්‍යාව අනුව අධාර ලැබෙන කාල සීමාව වැඩි වෙනවා.

එකම කොන්දේසිය දැහැමෙන් සෙමෙන් කල් ගෙවන පවුල් ඒකකයක් වීමයි.

මේ පින්කමට තවත් එකතු කිරීමක් කළා. ඒ තමයි සිව් වැනි දරුවා පිළිසිඳගත් දවසේ සිට ම ඒ මවට සුවිශේෂී රැකවරණයක් දරු ප්‍රසූතියට පෙරදි වගේ ම පසුවත් ලබා දෙනවා.

සේනාධීර මහත්මයා මේ ගැන කීවෙ මේ විදිහට. ‘අපේ ලොකු හාමුදුරුවො අපට සම්පතක්.’ උන් වහන්සේ අපට කරන මෙහෙවෙර ඉතාමත් ම ඉහළයි. මේ පුංචි ඉඩකඩ ඇතුලෙ කරගෙන යන සමාජ සත්කාර බොහොමයි. මම ඉතාම පිරිසුදු සිතින් හාමුදුරුවෝ ගෙන යන මේ වැඩ පිළිවෙළට සහය දක්වනවා. මම හොඳින් බලා හිට්යා හාමුදුරුවො දායකයින්ට බණ දේශනා කරනවා විතරක් නොවෙයි ආගමික වතාවත් කර දෙනවා පමණක් නොවෙයි, ඔවුන්ගෙ දුක සැප සොයා බලා උදව්වක් අවැසි අයට නොවරදවා ම උපකාර කරනවා. හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම තුළින් අපිත් පින් කර ගන්නවා.

සිංහල බෞද්ධ පවුලක එදා දරුවන් දහය දොළහ හිට්යා. අද වන විට එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට හෝ සීමාව තිබෙනවා. එය අනාගතයේ දි ජාතික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ පින්කමේ අරමුණු අතරට, දරුවන් නඩත්තු කර ගැනීමේ අපහසුව නිසා පවුලකට දරුවෙක් එකතු කර ගැනීම ඇතැම් මව්වරුන් දක්වන අකැමැත්තටක් විසඳුමක් වේවි. පවුලට පළමු දරුවා එකතුවෙලා දෙවන දරුවා ජනිත කරන මවට කලින් වතාවට වඩා වැඩියෙන් අධාර කරනවා. තුන් වැනි දරුවට හතර වැනි දරුවට තවත් වැඩි වැඩියෙන් අධාර කරනවා.

මේ වැඩ පිළිවෙළ ගැන රටට කියන්න අවශ්‍ය වන්නේ, මේ ගැන දකින තවත් ආගම දහමට ලැදි අය තවත් තැනක මේ වගේ පින්කම් සිදු කරනු දැකීමයි.

නිකිණි පුර අටවක

අගෝස්තු 12 සඳුදා පූ.භා. 07.55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]