[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කාලාම සූත්‍රයෙන් ජන සමාජයට දෙන පණිවුඩය

කාලාම සූත්‍රයෙන් ජන සමාජයට දෙන පණිවුඩය

දෙව් මිනිසුන් හට නිවන් මඟ පෙන්වා දුන් අසහාය ශාස්තෘවර භාග්‍යවතුන් වහන්සේ, නව අරහාදී සම්බුදු ඥානයන්ගෙන් ද, දස බල ඥානයන්ගෙන් ද, අපරිමිත ඥාන සම්භාරයන්ගෙන් යුතු වේ. බුදුන් වහන්සේ ධර්මය දේශනා කරන ලද්දේ නිදාන සහිත ව ය. කරුණු සහිත ව ය. එම නිසා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේ පැවිදි ශ්‍රාවක පිරිස් ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පිණිස මහත් වූ ගෞරවයෙන් යුතු ව ඇරයුම් කළෝ ය.

භාග්‍යවතුන් වහන්සේ විසින් කියා දෙනු ලබන ආකාරයට භික්ෂූහු ධර්මය මතක තබා ගත්හ. නිවන් මඟ වඩන ශ්‍රාවකයන් නිහතමානී ව ශ්‍රාවකත්වයේ පිහිටීම සඳහා ශාස්තෘ ගෞරවය ඇති කර ගත යුතු ආකාරය පෙන්වා දෙන ලදී.

මාගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ය. මම වනාහි ශ්‍රාවකයා වෙමි. භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක. මම වනාහි නොදනිමි. යනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය කෙරෙහි සිත පහදවා ගැනීම ශ්‍රාවකයා තුළ ඇති කර ගත යුතු ගුණ සම්පත්තියක් වේ.

නමුත් වසර ගණනාවක් සමහර ගිහි පැවිදි ශ්‍රාවකයන් කාලාම සූත්‍රය වැනි දේශනා සාවද්‍ය ලෙස අර්ථ දක්වමින් “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” ලෙස පවසමින් ශාස්තෘ ගෞරවයට හානි සිදුකර තිබේ. නමුත් කාලාම සූත්‍රය පිළිබඳ නිවැරැදි වටහා ගැනීමක් තිබීම අප සැමට ප්‍රයෝජනවත් කරුණක් වේ.

අංගුත්තර නිකායේ තික නිපාතයේ කාලාම සූත්‍ර දේශනාව සඳහන් වේ. කාලාම සූත්‍රය පිළිබඳ ඉගෙනීම ලොකු කුඩා සැමට ප්‍රයෝජනවත් වේ. “භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමඟින් කොසොල් ජනපදයේ චාරිකා කරන අතරේ කාලාම වැසියන්ගේ කේසපුත්ත නියම් ගමට වැඩම කළ සේක. එම අවස්ථාවේ දී ගමෙහි මෙවැනි කල්‍යාණ කීර්ති රාවයන් පැතිර යන ලදී. “ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු පිරිසක් සමඟ අපගේ ග්‍රාමයට ද වැඩම කළහ. උන්වහන්සේ නව අරහාදී සම්බුදු ගුණයෙන් යුක්ත වේ. තමන්ගේ ම විශිෂ්ට නුවණින් අවබෝධ කළ ධර්මය දේශනා කරති. එවැනි රහතුන් දකින්නට ලැබීමත් කොතරම් යහපත් ද? යනුවෙනි.

ඉන්පසු කාලාම වැසියන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස්, ගෞරවයෙන් වන්දනා කොට එකත් පස්ව වාඩි වී මෙලෙස පවසන ලදී.

“ස්වාමීනි අපහට ලොකු ගැටලුවක් තිබෙනවා. මේ කේසපුත්ත ගමට නොයෙක් මත දරන ශ්‍රමණයන් පැමිණෙනවා. ඇවිත් තමන්ගේ මතයන් පමණක් නිවැරැදි බව ද අන්‍ය මතය වැරැදි බව පවසනවා. ඉතින් ස්වාමීනි, ඒවායින් හරි මොකක් ද? වැරැදි මොකක් ද? අපට සැකයක් ඇති වේ. “එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දේශනා කරනු ලබන්නේ බුද්ධිමත් ව සිතා බලා විමසා තීරණ ගත යුතු බවයි.

ඒථ තුම්හේ කාලාමා, මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන, මා තක්කහේතු, මානය හේතු, මා ආකාරපරිවිතක්කේන.

කාලාමයෙනි, යමක් ඇසූ පමණින් භාර නොගනිව්.’ පරම්පරාවෙන් පැවත එන නිසාවත්, එය එසේ ය යන ආරංචියෙන්වත්, පොත්වල තිබුණු නිසාවත්, තර්කය නිසාවත්, තමන් කලින් සිතූ අදහසට ගැළපුණු නිසාවත්, මේ මාගේ ආචාර්යයන් වහන්සේ ය කියාවත් යමක් භාර නොගනිව්. නමුත් කාලාමයෙනි, මේ අයහපතැයි යම් දිනක තොපට වැටහුණොත් එදින එය හැර දමවු. එසේම මේ යහපතැයි වැටහුණොත් එය පිළිපදිව් යන්න එහි අදහස වේ.

ඉහත සඳහන් මෙම කාලාම සූත්‍ර දේශනාව මඟින් ජන සමාජයට ලැබෙන පණිවුඩය අගනා වේ. යමක් පිළිබඳ තීරණ ගැනීමේ දී නුවණින් විමසා සිතා බලා නිදහස් ව තීරණ ගත යුතු වේ. එවිට සිත් තුළ සැකය, අවිශ්වාසය තුරන් වීම සිදු වේ.

එමෙන්ම සතුන් මැරීම, සොරකම, බොරු කීම, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්පැන් පානය වැනි පව්වලින් අයහපත සිදු වේ. ඒවා මඟින් දුකක් ද ඇතිවේ. අහිතක් ම සිදුවේ. එම දේවලින් ඈත් වී යහපත් ව ජීවත්වීමට අපට මෙ මඟින් උපදෙස් ලබා දෙයි.

එමෙන්ම කුසල ධර්මයන් සිදු කිරීමට කාලාම සූත්‍රය මඟින් උපදෙස් ලබා දෙයි. මෝහයෙන්, ද්වේෂයෙන්, ලෝභයෙන් ඈත් වී කුසල් සිත් ඇති කර ගත යුතු බව පැහැදිලි වේ. එවිට ප්‍රශංසා ලැබේ. හිත සුව ඇති වේ. සතුටුදායක ලෙස ජීවත්වීමට හැකි වේ. එපමණක් නොව බිහිසුණු සතර අපායෙන් නිදහස් වී සුගති රැකවරණය ලැබේ.

උතුම් ධර්මාවබෝධය කරා ළඟා වී යහපත් බෞද්ධ සාරධර්ම පිරි සමාජයක් බිහිකර ගැනීමට මෙම කාලාම සූත්‍රය ලබා දෙන පණිවුඩය ඉතා වැදගත් වේ.


දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ රචනා අතරින් පළමු, දෙවැනි හා තෙවැනි වශයෙන් ජයග්‍රාහි දරුවන්ගේ රචනා මෙසේ පළ කෙරේ. ඉදිරි බුදුසරණ අන්තර්ජාල කලාපවල සාර්ථක නිර්මාණ එවූ අනෙක් දරුවන්ගේ රචනා ද පළ කෙරේ.

නිකිණි පුර අටවක

අගෝස්තු 12 සඳුදා පූ.භා. 07.55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]