[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලද පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ

ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලද පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ

කිරුලපන පූර්වාරාමය, රිලාවල සුසීමාරාමය, බොරලැස්ගමුවේ වාපිකාරාමය සහ ඇහැලියගොඩ කිරිපෝරුව නාගරුක්ඛාරාමය යන විහාරාධිපති, ස්‍යාමොපාලි මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභාවේ ලේඛකාධිකාරී, අතිරේක උපාධ්‍යාය, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ වෙත කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර පිරිනැමීම අගෝස්තු මස 10 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී සිදු කෙරේ.

කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහාසංඝ සභාවේ නායක පදවි අතර සුවිශේෂී නායක පදවියක් වන්නේ එම සංඝ සභාවේ ප්‍රථම මහානායක මලිගස්පේ මංගල මහ නාහිමිපාණන් වහන්සේ, සංඝ සභාව පිහිටුවීමට පෙර මල්වතු පාර්ශ්වයේ භික්ෂූන් වහන්සේ නමක වශයෙන් වැඩ සිටිද්දී ඉංග්‍රීසි ආණ්ඩුව මගින් පිරිනමන ලද නායක පදවිය නිසා ය. මෑත අතීතයේ වැඩ සිටි කොටිකාවත්තේ සද්ධාතිස්ස නාහිමි වැනි යතීන්ද්‍රයන් වහන්සේ මෙම නායක පදවිය හොබවන ලද අතර, දේවහන්දියේ පඤ්ඤාසේකර නාහිමියන් වහන්සේ 2021 වර්ෂයේ අපවත් වීමෙන් පසු පත්බේරියේ විමලඤාණ නාහිමියන් වහන්සේ වෙත මෙම පදවිය පිරිනමා තිබේ.

වර්ෂ 1949 අගෝස්තු මස 20 වන දින සබරගමු පළාතේ කුරුවිට කෝරළයේ රත්නපුර කෑගලූ දිස්ත්‍රික්ක මායිමේ පිහිටි පත්බේරිය ග්‍රාමයේ ඕවිටේ වලව්ව නම් නිවසේ විසූ ජයසිංහ මුදියන්සේලාගේ උක්කු බණ්ඩාර නිළමේතුමාගේ සහ මනම්පේරි මුදියන්සේලාගේ පොඩිහාමු මැණිකේ මැතිණියගේ සිව්වැනි දරුවා ලෙස නාහිමියන් වහන්සේ උපත ලැබූහ. නිසි වයස් එළඹුණු පසු පත්බේරියේ රජයේ පිරිමි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගන්නා ලදි.

පුරාකෘත පුණ්‍ය මහිමය හේතුවෙන් වර්ෂ 1960 ජූලි මස 20 වැනි දින කිරුලපන පූර්වාරාමයට වැඩම කොට තත් විහාරාධිපති ව වැඩ සිටි, පසුකලෙක කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ලේඛකාධිකාරී පදවිද්වය ශෝභාවත් කළ, අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨාධිපති, විද්‍යා විශාරද, රාජකීය පණ්ඩිත රද්දැල්ලේ ශ්‍රී ප්‍රඥාලෝක නාහිමියන් වහන්සේ සහ තලාවිටියේ පේමාලෝක නාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, මොල්ලිගාඩ ශ්‍රී අරියවංස මහ නාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ ගලගෙදර සුගතපාල නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යාව ලැබූහ.

ආචාර්යපාදයන් වහන්සේ ඇසුරෙන් මූලික බණ දහම් හදාරා වැඩිදුර අධ්‍යාපනය පිණිස ලක්දිව සුපතල මහා විද්‍යාස්ථානය වූ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් ව, කලුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමියන්, දොරටියාවේ නන්දසාර නාහිමියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ඇසුර ලබමින් වර්ග පටිපාටියෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට 1969 දී අවසාන ද්විතීයාංශයේ දක්ෂතම සිසුවාට හිමි වන ස්‍යාමරාජ ත්‍යාගලාභී ව අධ්‍යාපන කටයුතු නිමවා 1973 දී රාජකීය පණ්ඩිත උපාධිය ලැබූහ.

මේ වකවානුවේ ම එනම් 1970 ජූලි මස 08 වැනි දින පිරුණු විසි වයස් ඇති පත්බේරියේ විමලඤාණ සාමණේර හිමියන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී මොල්ලිගොඩ අරියවංස මහ නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන්, රද්දැල්ලේ පඤ්ඤාලෝක නාහිමි සහ වේඬරුවේ අනෝමදස්සි නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත උපසම්පදාව ලැබූහ.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස්පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල දක්වා 1972 වර්ෂයේ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් ව යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමියන්ගේ අනුග්‍රහය ලබමින් දර්ශනය ප්‍රධාන විෂයය වශයෙන් ද, සංස්කෘත, වාග්විද්‍යාව, ජර්මන් හා දෙමළ භාෂාවන් ද හදාරා ශාස්ත්‍රවේදී උපාධිධාරී ව 1975 වර්ෂයේ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්මපීඨයේ සහකාර කථිකාචාර්ය පදවියකට පත්ව සිව් අවුරුදු සේවා කාලයක් නිම කළහ.

සරසවි සේවය නිමවා පරිවේණාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ගුරු සේවයට එක්ව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොල්ගොල්ල ශාස්ත්‍රාරවින්ද පිරිවෙන, හොරණ විද්‍යාරත්න පිරිවෙන, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙන යන පරිවේණස්ථානයන්හි සේවය කොට 1992 වර්ෂයේ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පිරිවෙන් ආගමික හා සිංහල භාෂා සම්බන්ධීකාරක ධුරයකට ද, 1999 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණයෙන් සමත් ව ගාලු දිස්ත්‍රික් පිරිවෙන් පරීක්ෂක (සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ) ධුරයකට පත් වූහ.

ඊට අතිරේක ව මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක දෙකේ පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ ධුරයේ වැඩ ආවරණ කටයුතු ද සිදු කළහ. රත්නපුර දිස්ත්‍රික්කයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වශයෙන් කටයුතු කළ පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ 2009 වර්ෂයේ විශ්‍රාම ලැබූහ.

ගුරු සේවයේ නිරත වූයේ වුව ද, ශාස්ත්‍රාභිලාෂී වූ නාහිමිපාණන් වහන්සේ 1989 වර්ෂයේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, 1990 වර්ෂයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද හිමි කර ගෙන තිබේ.

කිරුලපන පූර්වාරාමයෙහි පෙරකම් පිළිසකර කරවා නවකම් කරවා භෞතික සම්පත් දියුණු කරන අතර දායක කාරකාදීන් වෙනුවෙන් විය යුතු මෙහෙවර ද නොකඩ කොට සිදු කළහ.

විහාරස්ථානය ආශ්‍රිත ව ශ්‍රී පූර්වාරාම මූලික පිරුවන ආරම්භ කොට මැනවින් පවත්වා ගෙන යමින් පළාතේ ජනප්‍රිය පිරිවෙනක් බවට පත් කරන ලද්දේ මතු නොව ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසල, සර්වෝදය පෙර පාසල, සණස බැංකුව, විශාඛා මැහුම් පාසල ආදී ආයතන මඟින් සුවිශේෂී මෙහෙවරක් සිදු කිරීමට නාහිමිපාණන් වහන්සේ නායකත්වය ලබා දුන්හ.

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සහ කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී සහ සභාපති ධුර දරමින් ප්‍රදේශයේ සහ දිස්ත්‍රික්කයේ ආගමික කටයුතු සඳහා නායකත්වය ලබා දුන්හ.

රටේ ජාතික ප්‍රශ්නවල දී ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, ආචාර්ය මාදුළුවාවේ සෝභිත හිමි, දේවහන්දියේ පඤ්ඤාසේකර හිමි, අත්තිඩියේ ධම්මසිරි හිමි වැනි යුගකාරක තෙරවරුන් සමග නොබියව පෙරට පැමිණ ගැටලු නිරාකරණය කිරීම පිණිස පත්බේරියේ නාහිමියන් සිය දායකත්වය ලබා දී ඇත.

සීතාවකපුර පරිවේණාචාර්ය අභ්‍යාස ආයතනයේ අධීක්ෂණ නිලධාරියකු ලෙස ද, ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරකසභික හිමිනමක වශයෙන් ද කටයුතු කරමින් නාහිමිපාණන් වහන්සේ සිදු කළ මෙහෙවර ප්‍රශංසනීය වෙයි.

1988 මැයි මස 07 වැනි දින කෝට්ටේ රාජමහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් කල්‍යාණි කාරකසභික ධුරයකට පත් වූ නාහිමිපාණන් වහන්සේ 1989 මැයි මස 06 වන දින කර්මවාගාචාර්ය සහ කාරක සභික ධුරක් සඳහා තේරී පත් වූහ. එතැන් සිට වාර්ෂික උපසම්පදා උලෙළෙහි කර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් කටයුතු කළ නාහිමිපාණන් වහන්සේ 2024 වර්ෂයේ අතිරේක උපාධ්‍යාය ධුරයකින් පිදුම් ලැබූහ. 2015 වර්ෂයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පුද ලද පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේ වෙත කොළඹ නව කෝරළයේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා තිබේ. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ විනිශ්චය කාරකසභික හිමිනමක ලෙස කටයුතු කළ නාහිමිපාණන් වහන්සේ මේ වන විට එහි ලේඛකාධිකාරී පදවිය හොබවති. සංඝසභාවේ ප්‍රකාශනයක් වූ කල්‍යාණි පුවත්පතෙහි සංස්කාරක ධුරයත්, සංඝසභාවේ 150 වැනි සංවත්සර සැමරුම් ග්‍රන්ථයෙහි සංස්කාරක පදවියත් නාහිමිපාණන් වහන්සේ හොබවා තිබේ.

තමා හමුවට පැමිණෙන කා හටත් සුහදශීලී ව කටයුතු කරමින්, වත සරසා ගත් මද සිනහවෙන් යුතු ව අල්ප කතාවෙන් බොහෝ වැඩ කොටසක් සිදු කරන, සුපේශල ශික්ෂාකාමී නිරහංකාර සංඝශෝභන ගුණයන්ගෙන් පිරිපුන් පත්බේරියේ විමලඤාණ නාහිමිපාණන් වහන්සේට දිගු කලක් ලෝක ශාසනික මෙහෙවරෙහි නිරතවීම පිණිස ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධිසාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.

නිකිණි පුර අටවක

අගෝස්තු 12 සඳුදා පූ.භා. 07.55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 ගෙවේ.
12 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 12

Full Moonපසළොස්වක

අගෝස්තු 19

Second Quarterඅව අටවක

අගෝස්තු 26

Full Moonඅමාවක

සැප්තැම්බර් 02

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]