රසබර තොරතුරු සමඟින් පබැඳුණු
කියවමු විස්මිත නා ලොව විසිතුරු
ආචාර්ය
ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න
බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ වසන සමයේ සිට වාසය කළ යක්ෂ, නාග සහ දේව යන කොට්ඨාශ
පිළිබඳ අපි අසා ඇත්තෙමු. මේ අයගෙන් වඩාත් රසවත් තොරතුරු හමුවන්නේ නාගයන් පිළිබඳ ය.
නාගයන් නොනැසිය යුතු කොටසක් ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙන බව
දැක්වෙයි. සමහර නාගයෝ බුදුරජාණන් වහන්සේට විරුද්ධ වූහ. ඒ අතර බොහෝ නාගයෝ බුදුරජාණන්
වහන්සේ සරණ ගියහ. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන නයින් කෙබඳු කොට්ඨාශයන් දැයි අප විමසා
බැලිය යුතු ය.
ආදරණීය ඇමතුමක්
අප සාමාන්‍යයෙන් නයා වශයෙන් හඳුන්වන්නේ අපගේ ඉඩකඩම්වල දී දක්නට ලැබෙන නයින් ය.
මොවුන් අතර සිටින සුදු නයි පිළිබඳ ගැමියෝ විශේෂ සැලකීමක් දක්වති. කළු නයි නපුරු
යැයි කියති. කෙසේ වෙතත් ගැමියාට හමුවන නයා ඔවුන් ඇමතුවේ නයි හාමි යනුවෙනි. එයට හේතු
වූයේ තම මිය ගිය ඥාතීන් නයින් ව ඉපදෙන බවට ඔවුන් අතර පැවති විශ්වාසයයි.
විෂඝෝර නයි
ආසිවිසෝපම සූත්‍රයෙහි විෂඝෝර නයි සතර දෙනෙක් පිළිබඳ හඳුන්වා දෙයි. ඔවුන් දෂ්ට
කිරීමෙන් මිනිස් ජීවිතවලට හානි සිදුවෙයි.
කට්ඨ මුඛ - මොවුන් දෂ්ඨ කළ විට සිරුර දර ලීයක් මෙන් වෙයි.
ප්‍රති මුඛ - දෂ්ට කිරීමෙන් ශරීරය කුණු වෙයි
අග්රාමුඛ - දෂ්ට කළ විට සිරුර කැබලිවලට කැඩෙයි
සත්ථ මුඛ - දෂ්ට කළ මොහොතේ ම මිය යයි.
මෙම වර්ග සතර දේශීය වෛද්‍ය ශාස්ත්‍රයෙහි දක්වා ඇත්තේ රජ, ඔටුණු, වෙළෙඳ සහ ගොවි
වශයෙනි.
නාගයා - නාගයා නයාට වඩා විශාල ය. වනාන්තරවල සහ වෙහෙර විහාර දේවාල ආශි‍්‍රත ව වෙසේ.
මොවුන් නිදන් ආරක්ෂා කරන බව සමහරු කියති.
ද්‍රව්‍ය නාගයින්,
මොවුන් මිනිස් ඇසට නොපෙනේ. මනුෂ්‍ය වෙස් ගැනීමට පුළුවන . මුචලින්ද නා රජු එයට
නිදසුනකි.
නාග මන්ත්‍රය
නාග ගෝත්‍රිකයෝ දඹදිව මෙන් ම ලක්දිව විසූ මනුෂ්‍ය කොට්ඨාශයකි. ඔවුහු රාජ්‍ය පාලනය
කළහ. ලක්දිව සිටි චූලෝදර, මහෝදර එවැනි නා රජවරු ය . මෙම නාග ගෝත්‍රිකයෝ කොටස් දෙකක්
වූහ.
සමුද්‍රවාසි සහ ගොඩබිම වාසි යනුවෙනි.
සමුද්‍රවාස ගෝත්‍රය ධීවර කර්මාන්තය සහ ගොවිතැන කළහ. ඔවුන්ට නාවික යාත්‍රා තිබිණ.
අගනා වෙළෙඳ භාණ්ඩය මැණික් ය.
ගොඩබිම වාසී ගෝත්‍රයට අයත් පිරිස
කෘෂි කර්මාන්තය සහ සත්ව පාලනයෙහි නියුක්ත විය. රාජ්‍ය බලයෙන් පිරිහුණ බලවත් නයි පසු
කල ආරක්ෂකයෝ වූහ.
නාග ලෝකය
වංශ කතාවල සඳහන් වන ආකාරයට නාග ලෝකය පිහිටියේ සාගර පත්ල යට ය. නාගයෝ එහි සිට මනු
ලොවට පැමිණියහ. නාග ලෝකය පිහිටි ස්ථානය පිළිබඳ ඇතැමුන් අතර මත පවතී. ලෝකය නැඟෙනහිර,
බටහිර වශයෙන් කොටස් දෙකකි. එයින් බටහිර රටවල් අපරදිග ලෝකය වශයෙනුත්, නැඟෙනහිර රටවල්
පෙර දිග ලෝකය වශයෙනුත් හැඳින්වෙයි. ඒ අනුව නාගයින් වාසය කළ ප්‍රදේශය හැඳින්වූයේ නාග
ලෝකය නමින් ය. ඒ අනුව නාග ලෝකය පිහිටියේ ද මෙම පෘථිවි තලයේ ම ය. එම ප්‍රදේශයට දඹදිව
සහ ලක්දිව කොටස් ද සම්බන්ධ විය. එහි විශාල ප්‍රදේශයක් පසුව සාගර ජලයට යටත් විය.
නාග නාමය
නාගයින් සම්බන්ධ වූ ප්‍රදේශවලට නාග යන නම ද එකතු විය. නාග ලෝකය, නාග දීපය, නාගොඩ,
නාපාන, නාලන්ද උදාහරණ වේ. නාග නමින් නාගයන් හැඳින් වූ අතර ඇතා ද නාග නම් වෙයි.
බෞද්ධ සාහිත්‍යය
බෞද්ධ සාහිත්‍යයේ නාගයින් හා සම්බන්ධ වූ තොරතුරු රාශියකි. බුදුරජාණන් වහන්සේ
කිරිපිඬු වැළඳූ පාත්‍රය නේරංජනා ගංගාවේ උඩුගං බලා ගොස් මදක් නතර ව සිට වැටුණේ නාග
ලෝකයට ය. "ඒ නිල් දිය මුදුනට දැමු රන් තලිය සරත් කාලයෙහි හිරු මඬල මෙන් උඩුගං බලා
ගොස් ටිකක් සිට කාල නාග රාජයාගේ භවනට වැද (ථූපවංශය 31 පිටුව)
මේ අතර දිව්‍ය නාගයන් ගැන ද සඳහන් වේ. ඔවුන්ට මිනිස් වෙස් ගැනීමට පුළුවන. මුචලින්ද
නා රජ එවැන්නෙකි. හයවැනි සතිය අවසානයේ දී මුචලින්ද නා රජ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ
පෙනී සිටියේ මනුෂ්‍ය වේශයෙනි.
“සතිය අවසන වැසි නැවති කල්හි නාග රාජයා මානවක වේශයක් ගෙන ඉදිරියට අවුත් බුදුනට
නමස්කාර කරමින් සිටියේ ය.
(බුද්ධ ධර්ම සංග්‍රහය ස්වභාෂා ප්‍රකාශන, මුද්‍රණාංශය, කොළඹ 10)
උරුවෙල් දනව්වට වැඩි බුදුරජාණන් වහන්සේ රාත්‍රියෙහි ගිණි හල් ගෙයි සිට එහි වූ නාගයා
දමනය කර පාත්‍රයෙහි ලා පසු දින උදයේ උරුවෙල් කාශ්‍යපට දැක්වූහ.
ඒරක පත්‍ර නා රජු - බුදු කෙනෙක් ලොව පහළ වී දැයි දැන ගැනීමට ගංගා නම් ගං තෙරට පැමිණ
සිය දියණියට ගීතයක් උගන්වා තම විශාල පෙන ගොබය මත නටන්නට සැලැස්විය. එම ගීතයට
පිළිතුරු සපයන කෙනකුට දියණිය විවාහ කර දෙන බව ප්‍රකාශ කළේය.
සංඛපාල නා රජු - පොහොය දිනවල දි මනු ලොවට පැමිණ සිල් සමාදන් විය.
අප බෝසතාණන් වහන්සේ අතුල නම් නා රජ ව සිටිය දී දහනව වැනි නියත විවරණ ලද්දේ විපස්සි
බුදුරජාණන් වහන්සේගෙනි. අනුරුද්ධ මහ රහතන් වහන්සේට ඇතිවු උදරාබාධයට පැන් ගෙන ඒමට
ගිය සුමන සාමණේරයන් වහන්සේට පැන් නො දීමට අනවතප්ත විල පෙන ගොබයෙන් වසා ගත්තේ පන්ථක
නම් නා රජ ය.
එවිට සාමණේරයෝ දොළොස් යොදුන් බඹ වෙසක් මවා ගෙන ඔහුගේ පණස් යොදුන් පණ ගබ පිට බැසලා
සත්ගවුනු හමාරක් දිග ඇති පතුල් දෙකින් ඉක්මන් නොවී සක්මන් කරන සේක.
එ කෙණෙහි ම නාග රජයාගේ ඵණය මඩුත්, බඩුත් අසු අඩියෙන් ජල ධාරාවෝ තල් කඳසා පොල් කඳ
සාම ආකාශයට ගවු දෙගවු උස නැඟෙන්නට පටන් ගත්තාහු ය.” පූජාවලිය (පිටුව 227) ,වේරගොඩ
අමරමෝලි නාහිමි, ශ්‍රී ලංකා ප්‍රකාශන සමාගම, කොළඹ, 1691. 01.01
දිව්‍ය නාගයෙක්
දිව්‍ය නාගයෙක් මිනිස් වෙස් ගෙන පැවිදි ව විහාරස්ථානයක වාසය කළේ ය. මිනිස් වෙස් ගත්
නමුත් ඔවුන්ට ආහාර ගැනීමේ දීත්, නිදා ගැනීමේදීත් නාග වේශය ගත යුතු විය. දිනක් මේ
නාග රාජයා දුටු හිමිනමක් බිය වූහ. එයින් පසුව නාගයන් පැවිදි කිරීම බුදුරජාණන්
වහන්සේ තහනම් කළහ.
ද්‍රෝණ බමුණා සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදන විට දකුණු දළදා වහන්සේ තම
හිසකෙස් අතර සඟවා ගත්තේ ය. ම් අවස්ථාවේ එහි පැමිණ සිට නා ලොව ජයසේන නම් නා රජු එය
දැක ඍද්ධියෙන් ගෙන ගොස් නාග පුර මැණික් සෑයක් කර එහි තැන්පත් කොට පූජා කළේ ය.
සර්වඥ ධාතු බෙදීමේ දී කෝලිය රජ දරුවන්ට ලැබුණු ධාතු කොටස ඔවුන් ගෙන ගොස් රාම
ග්‍රාමයෙහි දා ගැබක් කොට එහි තැන්පත් කළේ ය. පසු කාලයේ දී එම දාගැබ වතුරෙන් බිඳී
සුමුදුර වැද රන්වැලි මත්තෙහි පිහිටියේ ය. එය මඤ්ජෙරීක නාග භවනයේ නයින් විසින් දැක
මහකෙළ නා රජුට දන්වන ලදී. එවිට නා රජු එහි පැමිණ දා කරඬුව වඩා ගෙන ගොස් නා ලොව දා
ගැබක් කොට එහි තැන්පත් කොට පුද සත්කාර කළේ ය.
දුටුගැමුණුූ රජතුමා විසින් මහා සෑයේ තැන්පත් කරන ලද්දේ එම ධාතුන් වහන්සේ ය. නා ලොවට
වැඩ එය මෙහි ගෙන ආවේ සෝණුත්තර සාමණේරයන් විසිනි. සෝණුූත්තර සාමණේරයන් වහන්සේ ධාතුන්
වහන්සේ රැගෙන යාමට නා ලොව වැඩිය බව දැනගත් මහකෙළ නා රජු එය ආරක්ෂා කර ගැනීමට
වාසුලදත්ත නම් සිය බෑණනුවන්ට දැන්විය. වාසුලදත්ත දන්ත ධාතු කරඬුව කුස රඳවා ගෙන
ආරක්ෂා කළේ ය. එය දුටු සෝණුත්තර සාමණේරයෝ සියුම් අතක් මවා ගෙන ඔහුගේ කුස තුළ තිබුණ
දා කරඬුව ගත්හ.
මේරු පාමුල නා කැළක් පිරිවරා වැදහොත් ඔහුගේ බෑණා මුඛයට අත පා වදාරා දා කරඬුව ඇරැගෙන
වදාරණ සේක් “නාගරාජයා අප කාරිය සිද්ධ විය. තෙපි සිටුවයි වදාරා අවුත් තමන් වහන්සේ
වැඩ හිඳිනා පිරිවෙන පෙණුන සේක.” ථූපවංශය (පිටුව 100),
මකුළුදූවේ පියරතන හිමි සංශෝධනය, ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ 1966 ථූපවංශයෙහි
නාගයන් ගේ ස්වභාවය හඳුන්වා ඇත්තේ මෙසේ ය.
ඉක්බිති නාග භවනයෙහි සියලු නයි රැස්ව ඉස් කෙස් මුදා පිට බැඳ හෙළා ගෙන දෑතින් ළය
වහමල් කොට ගෙන දෑස්වලින් කඳුළු ධාරාවන් වගුරන්නාහු නාග භවනයෙන් අවුත් සෝණුූත්තර
සාමණේරයන් වහන්සේගේ පුද පිරිවෙනට රැස්ව අඬන්නාහු මෙසේ කියා ඇඬූහ.
ඒ ස්වාමි දරුවන්ගේ ශරීරයෙන් විසිරුණු ශරීර ධාතූන් වහන්සේ අප විෂ ඝෝර විසින් අප ඇසට
හදාළ වූයේ සේක් ද? අපිත් සසර නො සිටිය මෝ ද, මිනිසුන් දුක් පහ කරමි යැයි බුදු වූ බව
මුත් නා ලොව නයින්ගේ දුක් පහ කරමි’දැයි නො සිතූ සේක් ද? ඒ බුදුන්ගේ කරුණාව අප විෂ
ඝෝර හෙයින් ඇකිළී අප කරා නො වන්නේ ද? නුඹ වහන්සේ ගේ ධාතුන් රැගෙන ඊමෙන් පීඩාවට
පැමිණි යමි'යි සඟ මැද අනෙක් කාරණා කියා ඒ නයි මේ සැටියේ ඇඬූහ.
ථූපවංශය (පිටු 101. 102), නාගයන් ගේ හැඬීම
සංඝමිත්තා තෙරණිය ශී‍්‍ර මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලංකාවට වැඩමවා ගෙන
එන විට එය ලබා ගැනීමට නාගයෝ තැත් කළහ. එහිදී තෙරණියෝ ගුරුළු වෙසක් ගෙන නාගයින් බිය
කළහ. පසුව නාගයෝ යාඥා කොට බෝධින් වහන්සේ ලබා ගෙන නා ලොවට ගෙන ගොස් සත් දිනක් පූජා
කොට ගෙන ආහ.
විස්තර සිංහල බෝධි වංශය දුමින්දාගමන කතා, 229 පිටුව
ලක්දිව
ලක්දිව නාගදීපයෙහි විසූ චුලෝදර මහෝදර සහ කැලණියේ මණිඅක්ඛිත නා රජවරුන් හා
බුදුරජාණන් වහන්සේ පිළිබඳ තොරතුරු මහාවංශයේ සඳහන් ය. බුදුරජාණන් වහන්සේ මයියංගණයට
වැඩම කළ අවස්ථාවේ මණිඅක්ඛිත නා රජු එහි ගොස් බණ අසා බුදුසරණ ගිය කෙනෙකි.
නාගදීපය
නාගදීපයට යාපනය ඇතුළු බටහිර වෙරළ තීරය අයත් විය. කැලණිය එහි ප්‍රධාන නගරය යි.
එකල්හි මහත් සෘද්ධි ඇති මහෝදර නම් නාග රජ තෙමේ මුහුද පන්සියයක් යොදුන් ඇති නාග
භවනයෙහි රජවී (මහාවංශය පිටුව 04)
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
කොළඹ 1946
වර්තමානයේ කැලණියට හත් ගවුවක් දුරින් එකල මුහුද විය. කැලණිතිස්ස රජ දවස ඇතිවු මුහුද
ගොඩ ගැලීමෙන් ද, ඊට පෙර ඇති වූ විපත්වලින් ද ගොඩබිම මුහුදට යට විය. ඒ විශාල
ප්‍රදේශය එකල නාගදීපයට අයත් විය.
මැණික් පුටුව - නාගදීපය
බුදුරජාණන් වහන්සේ නයින් එළඹ සිටි යුද්ධය නතර කොට මිණිපළඟ (මැණික් පුටුව) ඔවුන්ට ම
ප්‍රදානය කළ සේක.
“ නාගයෙනි එය තොපට වැඩ පිණිස ද වන්නේ ය.
(මහාවංශය - (පිටුව 05)
එම මැණික් පුටුව නාගදීපයෙහි දාගැබක් කොට තැන්පත් කළේ ය. ඒ බව නාගදීප ථූප වන්දනා
ගාථාවේ මෙසේ සඳහන් ය.
භගිනි සුත මාතුලේහි දින්නේ
මණිපල්ලංක වරේ යහිං නිසින්නෝ
මුනි ධම්ම දේසයි පණීතං
සිරසා තං නමාමි පණමාමි නාගදීපං
කැලණිය
යුද්ධයට සහභාගිවීමට පැමිණි සිටි මණිඅක්ඛික නා රජු එහිදී බුදුරජාණන් වහන්සේට තමන්ගේ
වාස භූමියට වඩිනා ලෙස මෙසේ ආරාධනා කළේ ය.
“ස්වාමීන් වහන්ස, මේ තෙමේ නුඹ වහන්සේ විසින් අපට කරන ලද මහත් වූ අනුකම්පා වෙත. නුඹ
වහන්සේ මෙහි නො පැමිණියේ නම් අපි සියල්ලෝ ම අළු වම්හ. පුණ්‍යොදය ඇත්තා වූ තථාගතයන්
වහන්ස, මා කෙරෙහි ද වෙන් වශයෙන් නුඹ වහන්සේගේ කරුණාව වේවා. නැවත මෙහි ආ ගමනයෙන්
මාගේ වාසභවනයට වඩිනා සේක්වා'යි කීයේ ය. (මහාවංශය පිටුව 05)
එයින් තුන්වැනි වර්ෂයෙහි සම්බෝධියෙන් අටවන වර්ෂයෙහි බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට
ලක්දිවට වැඩියහ.
භික්ෂූන් පන්සියයක් විසින් පිරිවරන ලද්දේ දෙවෙනි දවස භක්ත කාලය ආරෝවන කළ කල්හි
රම්‍ය වූ වෙසක් මස පෞර්‍ණවාසි තිථියෙහි එහි දී ම සඟල සිවුරු පොරවා ගෙන පාත්‍රය
(ශ්‍රී හස්තයෙන්) ගෙන ඒ කැලණි දෙස වූ මණි අක් (නාරජහු) නිවසට වැඩි සේක. (මහාවංශය
පිටුව 05)
එහිදී බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේ මණිඅක්ඛික නා රජු විසින් කරවන ලද රත්න
මණ්ඩපයෙහි වැඩ සිටියහ. කැලණි සෑය පිහිටි තන්හි කරන ලද රත්න මණ්ඩපයෙහි සංඝයා ද
මාහැඟිවූ පළඟෙහි තමන් වහන්සේ ද වැඩ උන් සේක. (මහාවංශය පිටුව 05) |