[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 02: නමාමි බුද්ධං ගුණ සාගරන්තං

පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් - 02:

නමාමි බුද්ධං ගුණ සාගරන්තං

ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධනයන් විසින් ලියන ලද භාවනාවේ යෙදුන සාමණේර හිමි නමක් සිය අත්දැකීම් විස්තර කරන ලිපි පෙළක් " පොඩි හාමුදුරුවන්ගේ භාවනා සටහන් " මැයෙන් නමස්කාර සඟරාවේ පළවිණි. අත්දැකීම් සේ ම භාවනා හඳුන්වා දීමක් ද සිදුකෙරෙන, සෑම පුර පසළොස්වක පෝ දිනකම පළවන ලිපි මාලාව

මගේ ප්‍රධාන භාවනාවට පෙර ඒ සඳහා සුදුසු මානසික පසුබිම සකස් කිරීම සඳහා යි චතුරාරක්ඛ භාවනාවේ යෙදෙන්නේ. මෙය සැබෑවක්. එකවරට ම ප්‍රධාන භාවනාව ඇරැඹීමට වඩා කෙටියෙන් භාවනා හතරක යෙදීම ශාන්ත, නිවුණු සිතක් ඇතිවීමට හේතු වෙනවා. ශාන්ත, නිවුණු සිතේ ප්‍රධාන භාවනාව ඉතා හොඳින් වැඩෙන වග මා අත්දැකීමෙන් ම දන්නවා.

මුලින් මා කරන්නේ බුදුගුණ භාවනාව “නමාමි බුද්ධං ගුණ සාගරන්තං”

ගුණ සාගරයක් වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! බුදු ගුණ සාගරයක් වගෙයි අනන්තයි. බුදු ගුණ සිතා, කියා, ලියා නිම කළ නොහැකියි. සාගරයක් වගෙයි. අනන්තයි. මම ප්‍රධාන බුදු ගුණ නවයෙන් එකක් ඉතා කෙටියෙන් සිහි කරනවා. ඒ අරහං ගුණය.

සියලු කෙලෙස් කෙරෙන් දුරුවුණු, රහසින්වත් පව් නොකළ, දෙවියන්, බඹුන් ඇතුළු සියලු ලෝක සත්ත්වයන්ගේ පූජාවට සුදුසු වූ මාගේ බුදු පියාණන් ඒ ගුණ නිසා ම අරහං නම් වන සේක. උන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

මෙසේ සිතන විට මගේ සිත තුළ පන්සලේ බුදුමැඳුරේ වැඩ සිටින බුදු පිළිම වහන්සේ මැවේ. ඒ බුදු පිළිම වහන්සේ මම සිතින් දකිමි. සාධු! සාධු!!

කෙලෙසුන් කියන්නේ සිත කිලිටි කරන දේවල්. රාගය, ද්වේෂය,මෝහය එයින් ප්‍රධානයි. මාගේ බුදුපියාණන් වහන්සේ රාගයෙන් මිදිලා, ද්වේෂයෙන් මිදිලා, මෝහයෙන් මිදිලා.

රාගය කියන්නේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ ඇලීම. ඒවා පිළිබඳ බැඳීම. ද්වේෂය කියන්නේ තරහව. මෝහය කියන්නේ මෝඩකම, අවිද්‍යාව, චතුරාර්ය සත්‍යය නොදැනීම. මාගේ බුදුපියාණන් වහන්සේ රාගයෙන් මිදුණා, ද්වේෂයෙන් මිදුණා, මෝහයෙන් මිදුණා. මම සිතින් ද නිශ්ශබ්ද ව සිටිමි.

මගේ බුදුපියාණන් වහන්සේ බුදුවීමට පෙර විසි නව වසරක් ගිහියකු වශයෙන් ගෙවූ ජීවිතය මට පෙනෙයි. එතුමා ගිහි කාලයේ සිදුහත්. සිදුහත් රාජකීය පවුලක කෙනෙක්. රජකුගේ පුතෙක්. ඍතු තුනට ගැළපෙන පරිදි මහා මාලිගා තුනක අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගෙවූ කෙනෙක්. යොවුන් වියේ දී ම රජ වුණා. සුරූපී ළඳක් බිස ව වුණා. දුකක් නොදැක ගෙවුණු ඒ ජීවිතය එතුමා අත්හැරියා. කිසිම ඇලීමක් නැති ව. බැඳීමක් නැති ව. ඒ සුඛෝපභෝගී ජීවිතය සුරූපී බිසව, මහා මාලිගා, සම්පත්, සියල්ල ඇලීමක් බැඳීමක් නැති ව අත්හැරියා. රන් මිරිවැඩි ගලවා රළු බොරලු පස මත සිනිඳු මොළොක් පාද තබා පීඩාකාරි දුක්බර ජීවිතයක් සිය කැමැත්තෙන් ම තෝරා ගත්තා. මහ මඟ සිඟා යමින් පාත්‍රයට වැටෙන, තිබෙන දෙයකින් කුසගිනි නිවා ගත්තා. සය වසරක් අනන්ත දුක් පීඩා මැද දුෂ්කර ක්‍රියාවල යෙදෙමින් උන්වහන්සේ ආර්ය සත්‍ය සොයා වෙහෙසුණා.

අවසානයේ දී වෙහෙසීමේ ඵල ලැබුණා. සම්මා සම්බුද්ධත්වයට පත්වුණා.

මාගේ බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර ගිහි ජීවිතය අවසන් කළේ ඇලීමෙන්, බැඳීමෙන්, රාගයෙන් තොර වෙමින්.

බුදු වූ පසු ද උන්වහන්සේට සැප සම්පත් ගලා ආවා. ජේතවනාරාමයේ වටිනාකම මසුරන් කෝටි පනස් හතරයි. පූර්වාරාමයේ වටිනාකම මසුරන් කෝටි විසි හතයි. වේළුවනාරාමය, නිග්‍රෝධාරාමය ,කූටාගාර, කාලාරාමය, රාජකාරාමය, ඝෝෂිතාරාමය ආදී සියලු පහසුකමින් සපිරුණු ආරාම ද මහ මැඳුරු ද විය. ජේතවනාරාම ගඳකුටියේ පා පිස්නේ අගය මසුරන් ලක්ෂයක්. ඒ සියල්ල මාගේ බුදුරජාණන් වහන්සේ පරිහරණය කළේ ඇලීමෙන් තොරවයි. බැඳීමෙන් තොරවයි.

උන්වහන්සේ ඒ ආරාමවල වැඩ විසුයේ වස්සාන කාලයේ පමණයි. අනෙක් කාලවල ගත කළේ මහ පාරේ, ගස්යට, ගල්තලාවල ගල් ගුහාවල, රළු බොරලු පාරේ පාවහන් නොමැති ව උන්වහන්සේ වැඩම කළා. ගිනිකාෂ්ඨක අව්වේ, මහ වැස්සේ වැඩම කළා. සෝපාක කුඩා දරුවා රැහැන්වලින් මුදා ගැනීමට සොහොනට වැඩම කළේ, අංගුලිමාල මව මරා අපාගත වීමෙන් වළක්වා ගැනීමට වනාන්තරයට වැඩම කළේ සීතල පින්නට තෙමෙමින් අලුයම් කාලයේ.

ඇලීමෙන්, බැඳීමෙන් තොර වූ මාගේ බුදුපියාණන් වහන්සේ ඒ සියලු දුක් පීඩා උපේක්ෂාවෙන් විඳ දරා ගත්තා.

දුටු දුටු අය කාමයෙන් මුසපත් කරවන තණ්හා ,රතී, රඟා උන්වහන්සේට පෙනුණේ අසූචි වළක නළියන පණුවන් වගෙයි. මාගන්දි රූප සුන්දරිය උන් වහන්සේගේ ඇසට පෙනුණේ අසූචි පිරුණු ගබඩාවක් වගෙයි.

රාගය මුළුමනින් ම තුරන් කළ මාගේ බුදුපියාණන් වහන්සේ මහ රජුන්ගෙන්, සිටුවරුන්ගෙන් දිව බොජුන් පරයන ප්‍රණීත ආහාරපාන ලැබුවා. එහෙත් උන් වහන්සේ ඒ ප්‍රණීත බව සමඟ බැඳුණේ නැහැ. මහමඟ පිඬු සිඟා ගොස් පාත්‍රයට ලැබෙන රොටී කෑල්ලෙන් යැපුණු දවස් බොහෝමයි. කොසොල් රජුගේ අසදෘශ මහා දානයත්, දුප්පතුන්ගෙන් ලැබෙන රොටී කෑල්ලත් උන්වහන්සේට සමානයි.

ඇලීමත්, බැඳීමත් නැති නිසා එයින් ඒ සිතට කම්පාවක් ඇතිවුණේ නැහැ.

ඇලීමක්, බැඳීමක් නැති තැන ගැටීමක් ඇති වන්නේ නැහැ. ද්වේෂයක් ඇති වන්නේ නැහැ.

ඉතින් ඇලීමෙන්, ගැටීමෙන් තොර බුදුපියාණන් වහන්සේ ද්වේෂයෙන් තොරවීම අමුතුවෙන් කිව යුත්තක් නොවෙයි. දඹදිව අනෙක් ආගම්වල පූජකවරු, ශාස්තෘවරු සහ ඔවුන්ගේ අනුගාමිකයන් බුදුරජාණන් වහන්සේට අවමන් කළා. නින්දා කළා. උන්වහන්සේ විනාශ කිරීමට කුමන්ත්‍රණ කළා. මාගන්දි මැරයන් කුලියට ගෙන බුදුරජාණන් වහන්සේටත්, මහා සංඝයාටත් වීදිවල දී අපහාස කෙරෙව්වා.

චිංචි මානවිකාව, සිරිමා ගණිකාව යොදා ගනිමින් උන්වහන්සේගේ චරිතයට මඩ ගැසීමට තීර්ථකයන් කටයුතු කළා. දේවදත්ත දුනුවායන් ලවා, සුරාවෙන් මත් වූ ඇතුන් ලවා බුදුරජාණන් වහන්සේ නැසීමට කටයුතු කළා. බැරිම තැන ඔහු ගිජුකුළු පව්වට නැග ගල් පෙරළා බුදුරදුන්ගේ සිරිපතුලේ ලේ සෙලෙව්වා.

අනේ ඒ හැම අවස්ථාවක දී ම උන්වහන්සේ කම්පාවට පත්වූයේ නැහැ. සතුරන් පිළිබඳ තරහක්, වෛරයක් උන්වහන්සේගේ සිතට නැඟුණේ නැහැ. සුපුරුදු මෛත්‍රිය ම ඔවුන් වෙත ද ගලා ගියා.

ලක්ෂ සංඛ්‍යාත සංඝ සමාජයක් උන්වහන්සේ නිසා ගොඩනැගුණා. විවිධ චරිත ඒ සමාජයේ දක්නට ලැබුණා. උන්වහන්සේ කම්පාවෙන් තොරව ඒ අයට සසර ජය ගැනීමේ මඟ කියා දුන්නා. කිසිම ගැටීමක් ඇතිවූයේ නැහැ.

රාගයෙන්, ද්වේෂයෙන් තොරවූ මාගේ බුදුපියාණන් වහන්සේ මෝහයෙන් ද තොර වුණා.

මෝහය යනු අවිද්‍යාව, මෝඩකම, චතුරාර්ය සත්‍යය නොදත්කම. මේ අවිද්‍යාව නිසයි සංසාරේ අප මෙතෙක් කල් ගමන් කළේ. එදා ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ සෙවණේ දී උන්වහන්සේ අවිද්‍යාවට හේතුව වූ තණ්හාව හඳුනාගත්තා. තණ්හාව දුරු කළා. ඒ සමඟ ම අවිද්‍යාව දුරුවුණා. මෝහය දුරුවුණා. සසර ගමන හමාර වුණා. බුද්ධත්වයට පත් වුණා.

ඉන් පසු ලෝක සත්ත්වයා ද මෝහයෙන්, අවිද්‍යාවෙන් මුදා ගැනීමට උන්වහන්සේ සිය ජීවිතය ම කැප කළා. දවසකට පැය දෙකක් පමණ සැතපෙමින් සතළිස් පස් වසරක් පුරා මාගේ බුදුරජාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් යුක්ත ව අපගේ මෝහය දුරු කිරීමට ශ්‍රී සද්ධර්මය දේශනා කළා. රාග, ද්වේෂ,මෝහ යන කෙලෙසුන් කෙරෙන් දුරුවුණු බුදුපියාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා! පූජාවේවා.

බුදු පියාණන්ට පූජා කරන්නේ පිරිසුදු දෙයක්. මලක් නෙළා පූජා කරන්නේ පිරිසුදු පැන් ඉසීමෙන් පසුයි. මම මගේ ජීවිතය උන්වහන්සේට පුදනවා නම්, එය ද පිරිසුදු විය යුතුයි. රාගය, ද්වේෂය නැති විය යුතුයි.

මගේ සිතේ වූ බුදුරුව මහ රැස් දහරාවකින් වැසිණ. මගේ සිතට මහා සුවයක් දැනෙන්නට විය.

මා සිහි කළේ ඒ ගුණ සාගරයෙන් බිඳක්. අරහං ගුණයෙනුත් බිඳක්. ඒ ගුණ මගේ සිතට ද කාන්දු වෙනවා වාගේ මට දැනෙනවා.

නිකම්ම බුදු ගුණ නවය සිතෙන් කීමෙන් පලක් නැහැ. ඒ ගුණයට අදාළ සිදුවීම් මෙනෙහි කිරීමෙන් වඩාත් පහසුවෙන් ඒ ගුණ සමඟ එකතුවිය හැකියි. බුදු ගුණ භාවනාවෙන් සිදුවිය යුත්තේ එයයි. ඒ ගුණවලින් බිඳක් හෝ තමන් තුළට ද එකතු විය යුතුයි.

චතුරාරක්ඛ භාවනාවේ දෙවැන්න වන මෛත්‍රී භාවනාව ඊළඟ කලාපයෙන්

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]