[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක පෝ දා 2024-05-23

ධර්මයෙහි පිහිට ලබමු

පීඩාකාරී වූ දාහය සංසිඳුවමින් හමන මඳ නලට මුසු වූ නේක වර්ණ මල් සුවඳින් සත සිත පහන් හැඟුම් පුබුදුවයි. ඒ වෙසක් මාසයේ අසිරිය යි. ඒ ආශ්චර්යයට අමිල අර්ථයක් ගෙන එමින් මහා කාරුණිකයන් වහන්සේගේ උතුම් තෙමඟුල පින් සිතින් සමරන්නට සුවහසක් බොදු දනන් සිය හදවත් සදහම් සුවඳින්, සිල් සුවඳින් පුරවාලයි.

උතුම් සම්බුද්ධ දේශිතය අඳුරේ ගිලුණු සත්වගට ප්‍රඥාවේ ප්‍රදීපය යි. මේ ඉපදෙමින්, මිය යමින් ගමන් කරන, කෙළවරක් නොදකින ඝොරතර සසර මඟ දුක හඳුනා ගැනීම, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පහදා දෙන ශ්‍රී සම්බුද්ධ දේශනාව අවබෝධ කර ගන්නට අප්‍රමාදි වීම බෞද්ධයාගේ ඒකායන අරමුණයි.

ඒ උතුම් අරමුණට යන ගමනේ දී කාමච්ඡන්දය, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්මයන් යටපත් කළ යුතු ය. ඒ එම ධර්මයන් නිවන වළක්වන බැවිනි. එය කළ හැකි ධර්මයෙහි ම හැසිරීමෙනි.

අප මුහුණ දෙන්නා වූ කවරාකාරයේ ගැටලුවකට වුව අසිරිමත් පිළිතුරක් සම්බුද්ධ දේශිතයේ අන්තර්ගත ය. ඒ දහම් මඟ යා හැකි තථාගතයන් වහන්සේගේ මෙත්, කරුණා, දයා ගුණ අවබෝධ කරගත් තරමට ය. සම්බුදු ගුණ භාවනාවක් ලෙස පුරුදු කළ තරමට ය.

“නමාමි බුද්ධං ගුණ සාගරන්තං සප්ත මහා සමුදුරෙහි මහා ජලස්කන්ධය බිංදු ගණනට ගනු ලැබුවේ නම් එය ද ඉක්මවා සම්මා සම්බුදු ගුණ අනන්ත යැයි සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වැඩීම, සත්තා සදා හොන්ති සුඛී අවේරා - සියලු සත්ත්වයෝ සෑම කල්හි ම අවෛරී සිත් ඇති සැප ඇත්තෝ ම වෙත්වා’යි මෙත්තානුස්සතිය වැඩීම, කායො ජිගුච්ඡො සකලො දුගන්ධො - දොරටු නවයකින් අපිරිසුදු දෑම පිටවන මේ සිරුරෙහි පිළිකුල් සහිත බව සිහිපත් කිරීම, ‘ගච්ඡන්ති සබ්බෙ මරණං අහං ච’ - මේ ලොව උපත ලද සෑම සත්වයකුට ම මරණය නියත බව, තමන් ද කවර මොහොතක හෝ මරණයේ ගොදුරක් වන බව සිහියට නඟමින් මරණානුස්සතිය වැඩීම තුළ පුහුදුන් මිනිස් සිත උපදින අකුසල ධර්ම යටපත් කිරීමත්, ධර්මානු ධර්ම මාර්ගයට පිවිසීමත් පහසු කරවයි.

එවැනි පුද්ගලයාගේ සිත ඡන්දයෙන් නොමඟ නොයයි. ද්වේෂයෙන්, බියෙන් මෝහයෙන් අගතියට නොයයි.

ඡන්දය නිසා සුදුස්සාට සුදුසු තැන නොලැබේ. සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම්, වගකීම් මඟ හැරේ. එනිසා ඔහු අපකීර්තියට පැමිණේ.

ගුණවත්කම්, යුතු අයුතුකම් අමතක කරවන ද්වේෂය බරපතළ අකුසලයකි. අනුන්ගේ නිලයට, ධනයට, බලයට ඇති බිය නිසා බොහෝ යුතුකම් මඟහැරේ. මෝහය නිසා සාරය අසාරය නොහඳුනයි. ඒ නිසා ම පව් කඳු රැස් කරයි. ත්‍රිවිධ රත්නයේ ගුණ දැන තිසරණ සරණ ගිය පුද්ගලයා මෙසේ සතර අගතියෙන් දුගතියට නොයයි.

සම්බුද්ධ පරිනිර්වාණය සිදුවීමට ආසන්න මොහොතේ භික්ෂූන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර රහත් වෙමි’යි භාවනා කරන්නට පටන් ගත්හ. අනෙක් භික්ෂූහු මෙ පුවත තථාගතයන් වහන්සේට සැළ කළහ. උන්වහන්සේ ඒ භික්ෂුව කැඳවා එය සැබෑ දැයි විමසා සත්‍ය බව අසා ඒ හිමියන්ට මහත් ප්‍රශංසා කළහ.

භාග්‍යවතුන් වහන්සේට කරන උතුම් පූජාව නම් උන්වහන්සේ දේශනා කොට වදාළ දහම් මඟ ගමන් කිරීම බව සාධුකාර දෙමින් දේශනා කොට වදාළහ.

ඒ සම්බුදු වදන ගරු කොට මේ ලැබූ මිනිස් බවය මනුසත් ධර්මයෙන් බබළවා උතුම් නිවන් මඟට පිවිසෙන්නට මේ උතුම් පෝදා අධිටන් කර ගනිමු.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]