[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

උතුම් නිර්වාණයට අප්‍රමාදී වෙමු

උතුම් නිර්වාණයට අප්‍රමාදී වෙමු

මෙලොව විජයට ද, පරලොව සුගතියට ද, නිවනින් නිවීමට ද, සුදුසුකම් සපුරාලීම බුදුදහම උගන්වන පාඩමකි.

සුමන සමන් දෙව්රද ඇරියුමෙන්, සමන්තකූට පර්වතයෙහි බුදුරදුහු සිරිපා ලාංඡනය පිහිට වූයේ ද අද වන් වෙසක් පුනු පොහෝ දිනක දී ය. ඒ මණිඅක්ඛිත නා රජු ඉල්ලීමෙන් බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී ය.

එදා සිරිලක කැලණිපුරයට වැඩි කුලුණුබර බුදුරදාණෝ මණිඅක්ඛික නා රජු ප්‍රමුඛ රාජකීයයන්ගේ නොමඳ සම්භාවනා ලැබ දන් වළඳා අවසානයෙහි පිරිසට දහම් දෙසූ සේක.

“සසර සත්වයෝ බුදුවරයකු ද ලබා ඉන් පිහිට ලබා නොගනින් ද ඔවුහු අනාථ ව දුකෙහි ම ගැලෙති. බුද්ධෝත්පාද කාලය දුර්ලභ ය. බොහෝ කාලයකින් එය අත්පත් කර ගන්නා වූ තෙපි වීරිය වඩවු. නොපමා වවු. සසර වසන්නහුට දුක් නියත යැ. සසරින් ගැලවුණහට දුකක් නොමැති.”

කාටත් හොරා විකසික වන පියුම ස්වල්ප වේලාවකින් මුකුලිත වෙයි. යෞවනය ද එලෙසමැයි. ජීවිතය පිනි බිඳක් සේ නොතිර ය. ධන ධාන්‍යයෙන් පිරි ඉසුර අස්ථිර ය.

මිනිස් සිත නිතර නිතර ශෝකයෙන් ආතුර වෙයි. ඒ බාහිරයේ බලපෑම චිත්තභ්‍යන්තරයෙහි දෝංකාර දෙන නිසාවෙනි. ඇස, කන, නාසාදි ඉඳුරන් චංචල වීමෙනි.

ආකාශචාරි ඍද්ධියෙහි සමත් බලවත් ඍෂිහු ධ්‍යානයෙන් පිරිහුණෝ ස්ත්‍රි රූපයෙහි ඇලීමෙනි.

සෙබඩකගේ හඬෙහි ඇලුණු මොනරකු සෙබඩ හඬ ඔස්සේ වනයට පිවිස වැද්දකුට හසු ව දිවි සිඳ ගත්තේ ය.

මඳ ගන්ධයේ ඇලුණු මී මැස්සෝ මල් පැණි රුචිය ද හැර ඇතුන්ගේ කුම්භස්ථලයට වැදී කන්තලින් පහරකා දිවි තොර කර ගත්හ.

ගැඹුරු දියෙහි බොහෝ අහර අතැර බිලිය ගිලින මත්ස්‍යයෝ ඉන් විනාශයට පැමිණෙති.

පෙර බඹලොව බඹසිරි විඳ මිනිස් ලොව ඉපිද බ්‍රහ්මචාරි වූ බෝධිසත්ව රජ තෙමේ වරෙක ස්ත්‍රී සමාගමයෙහි ලොල් වැ රාජ ඉසුරින් ද පිරිහුණි.

මෙලෙස රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයට ලොල් වැ ඇස, කන, නාසාදී පසිඳුරන් වරදෙහි පිහිටුවා ගැනීමෙන් සත්වයෝ සසර දුක අත්පත් කර ගනිති. ඉන් මිදුණාහු සසර දුක හැර දමති. දස අකුසලයෙන් වැළකී දස කුසලය පුරා, දානාදී කුසල් වඩා ගත්තෝ අප්‍රමාණ දිව්‍ය දිව්‍යාංගනාවන් ගැවසීගත් විසිතුරු දෙව්ලොව දෙව් අසිරි විඳිති. කළ කුසල් බෙලෙන් දිව්‍ය බ්‍රහ්ම සම්පත් ලැබූව ද නිවන් සැපත ඒ හැම සම්පත් ඉක්මවයි. ශ්‍රේෂ්ඨතම සැපත වනුයේ නිවන් සැපතයි.

ජාත්‍යාදි දුක් කතර ගෙවා උත්තම නිර්වාණ ක්ෂේම භූමියට පිවිසෙන්නට වීර්යය වඩන්නැයි අවවාද කරමින් එදා වෙසක් පුන් පොහෝ දා කැලණි පුරවරයේ දී මණිඅක්ඛිත නා රජුන් ප්‍රධාන පිරිසට බුදුරජාණන් වහන්සේ සිදු කළ ධර්ම දේශනාව උතුම් නිවන උදෙසා සුදුසුකම් සපුරන කාගේත් සිත්හි රැව් දේවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]