[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඔබේ සිත හීලෑ කරන භාවනාවේ රුව ගුණ

සුවපත් මනසක් සුවබර දිවියක් - 14 කොටස:

ඔබේ සිත හීලෑ කරන භාවනාවේ රුව ගුණ

නිරවුල් මනස ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලබා දෙයි. එහෙත් කාර්ය බහුල බව නිසා ම බොහෝ දෙනාගේ මනස නිරතුරුව ම ව්‍යාකූල ය. සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරි වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙස වැඩිය නොහැකි ය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝ දෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගිත්වය මහත් සේ අගය කරති. ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමි විසින් රචිත Mindfulness in plain English  (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අමෙරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ සියයක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සෑම පසළොස්වක පෝදාක ම බුදුසරණ පුවත්පතේ පළවන අතර මේ එම ලිපි මාලාවේ දාහතර වැන්නයි.

මෙහිදී අප උගන්වන භාවනා ක්‍රමය විපස්සනා නමින් හැඳීන්වේ. කලින් සඳහන් කළ පරිදි භාවනාව සඳහා භාවිතා කළ හැකි අරමුණු අසීමිත ය. කාලාන්තරයක් තිස්සේ ඒවායින් විශාල ප්‍රමාණයක් භාවනාව සඳහා පාවිච්චි කර ඇත. විපස්සනා සම්ප්‍රදාය වුව ද වෙනස් ක්‍රම පවතී. උදරය පිම්බීම හා හැකිළීම නිරීක්ෂණය කිරීම මඟින් හුස්ම අධ්‍යයනය කිරීමට උගන්වන ගුරුවරු ද සිටිති.

තවත් සමහරු, වාඩි වී සිටින කොට්ටය සිරුර හා ස්පර්ශ වන තැන නැතහොත් දෑත් එකිනෙකට ස්පර්ශ වන තැන හෝ දෙපා එකිනෙකට ගැටෙන තැන කෙරෙහි අවධානය යොමු කරන ලෙස උගන්වති. අප මෙහි සඳහන් කරන ක්‍රමය ඉතාමත් සම්ප්‍රදායානුකූල එකක් ලෙස ගිණිය හැකියි. සමහරවිට මෙය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් තම අනුගාමිකයන්ට ඉගැන්වූ ක්‍රමය වීමට ද ඉඩ ඇත. උන්වහන්සේ දෙසූ සතිපට්ඨාන සූත්‍රයේ පවසන අන්දමට, මුලින්ම තමාගේ හුස්ම කෙරෙහි සිහිය පිහිටුවීමෙන් පටන් ගෙන, පසුව සිරුරේ හා මනසේ ඇතිවන අනෙක් සිදුවීම් වෙත අවධානය යොමු කරන ලෙස වදාරා ඇත.

වාඩි වී, අප නාසය තුළින් ඇතුළුවී පිටවී යන හුස්ම දෙස බලා සිටිමු. බැලූ බැල්මට මෙය කිසිම වැදගැම්මකට නැති ක්‍රියාවක් ලෙස ඔබට පෙනීමට පුළුවන. විස්තරාත්මක උපදෙස් කෙරෙහි යොමුවීමට පෙර, එසේ කිරීමට හේතුව කිමෙක්දැයි විමසා බලමු. කුමක් හෝ කෙරෙහි අවධානය යොමු කළ යුත්තේ ඇයි ද යන්න අපගේ හිත් තුළ පැන නඟින මුල්ම ප්‍රශ්නය විය හැක. කෙසේ වෙතත්, අප වැඩීමට බලාපොරොත්තු වන්නේ දැනීමයි. එසේ නම් වාඩි වී, සිත් තුළ සිදුවෙන සෑම දෙයක් ගැන ම සිහියෙන් නොසිටින්නේ ඇයි? ඇත්තෙන් ම එවැනි භාවනා ක්‍රම ද ඇත. ඒවා ව්‍යුහගත නොකළ භාවනා ලෙස හැඳීන්වෙන තරමක් අපහසු ක්‍රම වෙති.

අපගේ සිත උපායශීලීයි. සිතිවිලි ස්වභාවයෙන් ම සංකීර්ණ ක්‍රියාවලියකි. මා ඉන් අදහස් කළේ අප සිතිවිලිවල ඇලී ගැලී පැටලී යන බවයි. එය සිතිවිල්ලෙන් සිතිවිල්ල අප ව කෙළවරක් නැති සිතිවිලි මාලාවකට යොමු කරවයි. විනාඩි 15කට පමණ පසු, හදිසියේ, ඉන් අවදි වන අප දවල් සිහිනයෙක හෝ ලිංගික මනඞකල්පිතයක හෝ මුදල් ප්‍රශ්නයක හෝ වෙනත් එවැනි කල්පනාවක පැටලී මුළු කාලය ම ගෙවා ඇති බව තේරුම් ගනිමු.

සිතිවිල්ලක් ගැන සිහියෙන් සිටීම හා සිතිවිල්ලක් සිතීම අතර ඉතා සියුම් වෙනසක් ඇත. මූලික වශයෙන් එය දැනීම පිළිබඳ කාරණයකි. නිර්මල අවධානයකින් යුතු සිහියෙන් දැන ගන්නා සිතිවිල්ල සැහැල්ලු ය. සිතිවිලිවල හා එය දකින සිහිය අතර පරතරයක් පවතී.

බුබුලක් මෙන් සැහැල්ලුවෙන් නැඟී එන එය සිතිවිලි දාමයේ ඊළඟ සිතිවිල්ල ජනිත නොකර ම පහව යයි. සාමාන්‍යයෙන් සිතන සිතිවිල්ල මෙයට වඩා බරෙන් වැඩියි. එය ඕනෑකමින් හිතා බලන, විධානය කරන හා බලකරන සුලු ය. එය ඔබ රවටා, ඔබගේ උඩුහිතේ පාලනය සියතට ගනී. ස්වභාවයෙන් ම එය නොවැළැක්විය හැකි වන අතර ඔබට දැනෙන පරතරයක් නොතබා, ඊළඟ සිතිවිල්ල උපදවයි.

සිතන සිතිවිල්ල මස්පිඬු හැකිලීම හෝ පපුවේ ගැස්ම වැඩි කිරීම වැනි ඊට අනුරූප ව ආතතියක් සිරුරෙහි ඇති කරයි. සාමාන්‍ය සිතිවිල්ලෙහි තිබෙන ඇලීම් ස්වභාවය නිසා, මෙම ආතතිය වේදනාවක් බවට හැරෙන තෙක් ඔබට එය නොදැනෙයි. ඔබගේ මුළු අවධානය ම අල්ලාගන්නා එය, එහි පල විපාක දැකීමට ඔබට ඉඩ නොදෙයි. සිතිවිල්ලක් දැනගෙන සිටීම හා සිතිවිල්ලක් සිතීම අතර සැබැවින් ම වෙනසක් පවතින නමුත් එහි සියුම් බව නිසා එය දැකීම අතිශයෙන් අසීරුයි. අවධානය, එය දැකීමට රුකුල් දෙන උපකරණයකි.

ගැඹුරු චිත්ත ඒකාග්‍රතාව සිතීමේ ක්‍රියාවලියේ වේගය අඩුකර, එය දැන ගැනීමේ වේගය වැඩි කරයි. එහි ප්‍රතිඵලය වන්නේ, වඩා හොඳීන් සිතිවිලි ක්‍රියාවලිය විමර්ශනය කිරීමේ හැකියාව ලැබීමයි. චිත්ත ඒකාග්‍රතාව සිතෙහි සියුම් අභ්‍යන්තර ස්වභාවයන් පැහැදිලි ව බලා ගත හකි අන්වීක්ෂයකි. අපි, සන්සුන් ව, නිරන්තර අවධානය යොමු කිරීම මඟින් සිතේ එකඟ බව අත්පත් කර ගැනීමට අවධානයේ එල්ලය ම භාවිත කරමු.

අපි, හුස්ම අපගේ ඉලක්කය ලෙස භාවිත කරමු. සිත ඉබාගාතේ යන විට, නැවත කැඳවා ගෙන එන අත්‍යවශ්‍ය ලක්ෂ්‍යයක් ලෙස එය ක්‍රියා කරයි. සිත පිටතට විසිර යෑම, විසිර යෑමක් බව දැකීමට නම් එය කේන්ද්‍රගත ව තිබිය යුතු ලක්ෂ්‍යයක් තිබිය යුතුයි. එය අපගේ සාමාන්‍ය සිතිවිලි ක්‍රියාවලියේ කොටසක් වන නිරන්තර වෙනස්වීම් හා බාධාවන් නිරීක්ෂණය කිරීමට මූලික රාමුව ලෙස ක්‍රියා කරනු ඇත.

පැරැණි පාලි පොතපතෙහි භාවනාව, ඇතෙකු හීලෑ කිරීමේ ක්‍රියාවලියට සමාන කර ඇත. ඒ සමයේ දී අල්ලා ගන්නා අලියා, ශක්තිමත් කඹයකින් ගසක බඳීනු ලබයි. මෙම ක්‍රියාවෙන් අසතුටට පත්වන සතා දින ගණනක් ගතවෙන තුරු කෑගසමින්, අඩි පොළවේ ගසමින් කඹයෙන් අදියි. අවසානයේ දී තමාට බේරී යා නොහැකි බව තේරුම් ගන්නා ඌ සන්සුන් වන්න පටන් ගනියි. මේ අවස්ථාවේ දී, අලියාට කෑම බීම දී, ආරක්ෂාකාරී ව ඌ හීලෑ කිරීමේ කටයුතු කිරීමට හැකි වෙයි. තරමක කාලයකට පසුව, කඹය ලිහා දමා, විවිධ කාර්යයන් කරවා ගැනීම සඳහා අලියා පුහුණු කර ගැනීමට හැකියාව ලැබෙයි. මේ අන්දමින් ප්‍රයෝජනවත් වැඩ කර ගත හැකි, හීලෑ අලියකු ලැබෙනු ඇත.

මෙම උපමාවේ එන අලියා ඔබගේ සිතයි. කඹය ඔගේ සිහිනුවණ යි. අලියා බඳීන ගස හෝ කණුව ඔබගේ භාවනා අරමුණ වන හුස්මයි. මෙම ක්‍රියාවලියේ ප්‍රතිඵලය වන හීලෑ අලියා නොහොත් හොඳීන් පුහුණු කළ හෝ ඒකාග්‍ර වූ සිත, යථාර්ථයට අකුල් හෙලන මුළාවේ කඩතුරාව ඉරා දැමීම වැනි දුෂ්කර කාර්යයන් සඳහා එවිට භාවිත කළ හැකි වනු ඇත. භාවනාව ඔබගේ සිත හීලෑ කරයි.

මූලික භාවනා අරමුණ ලෙස හුස්ම භාවිත කරන්නේ කුමන හේතුවක් නිසා ද යන්න ඔබගේ ඊළඟ ප්‍රශ්නය විය යුතු ය. මීට වඩා රසවත් දෙයක් තෝරා නොගත්තේ ඇයි? එයට පිළිතුරු බොහෝ ඇත.

ඵලදායී භාවනා අරමුණක තිබිය යුතු ලක්ෂණ වන්නේ සිහිය දියුණු කළ හැකි වීම, පහසුවෙන් එහා මෙහා ගෙන යෑමේ හැකියාව, නිතර ම පවතින දෙයක් වීම හා එය මිල අධික භාණ්ඩයක් නොවීමයි. එය අප නිදහස් වන්නට තැත්කරන තණ්හාව, කෝපය හා මුළාව වැනි ස්වභාවයන් සමඟ අප ව ගැටුමට පත් නොකරන වස්තුවක් වීම ද වැදගත් ය.

හුස්ම මේ සියලුම අංගයන් සෑහීමට පත්කරන අරමුණකි. හුස්ම ගැනීම සෑම මනුෂ්‍යයකුට ම පොදු වූ ලක්ෂණයකි. අප යන සෑම තැනකට ම එය ද අප හා ගමන් කරයි. උපතේ සිට මරණය දක්වා නොනැවතී සෑම මොහොතක ම අප සමඟ සිටින එයට කිසිම මුදලක් වැය නොවෙයි.

මනෝභාවාත්මක නොවන හුස්ම ගැනීම, සිතිවිල්ලකින් තොර ව ඍජුව ම අත්දැකීමට පුළුවන. ජීවිතයේ නිරන්තරයෙන් ම වෙනස් වන එක අංගයක් වන එය ඉතා සජීවී ක්‍රියාවලියක් වෙයි. එය චක්‍රාකාර ව ක්‍රියාත්මක වෙයි. ආශ්වාස කිරීම, ප්‍රාශ්වාස කිරීම නොහොත් හුස්ම ඇතුළු වීම හා හුස්ම පිටවීම වශයෙනි. එම නිසා එය ජීවිතයේ ඉතා කුඩා ආකෘතියක් ලෙස සැලකිය හැකියි.

හුස්ම දැනීම ඉතා සියුම් ව වූව ද, එය සංජානනයට ඉගෙන ගත් විට පැහැදිලි ව දැකිය හැකියි. එය සොයා ගැනීම තරමක් දුරට වෙහෙසකර ය. නමුත් සෑම කෙනෙකුට ම එය කළ හැකියි. එය මහත් අසීරු කාර්යයක් නොවන නමුත් දිගට ම එහි යෙදී සිටිය යුතු ය. මේ සියලු හේතූන් නිසා හුස්ම වඩාත් සුදුසු භාවනා අරමුණක් වනු ඇත. ආශ්වාස ප්‍රාශ්වාසය තමාගේ මෙහෙයවීමෙන් තොරව එයට ම ආවේණික, ඉබේ සිදුවන ක්‍රියාවලියකි. එසේ නමුත් හිතාමතා කරන එක ක්‍රියාවකට එහි වේගය අඩුකිරීම හෝ වැඩි කිරීම හෝ එය දිගු සහ සුමට කිරීම හෝ කෙටි සහ ගොරෝසු කිරීම කළ හැකියි.

ඉබේ ඇතිවන හුස්ම ගැනීම හා වුවමනාවෙන් සිදු කරන හුස්ම ගැනීම අතර පවතින්නේ සියුම් වෙනසකි. මෙහිදී අපට අධිෂ්ඨානය හා ආශාව පිළිබඳ ඉගෙන ගැනීමට පාඩමක් ඇත. මෙහිදී, නාසය අග තිබෙන ලක්ෂ්‍යය, අපගේ අභ්‍යන්තර හා බාහිර ලෝක අතර පවතින කවුළුවක් ලෙස දැකිය හැක. එය “තමා” යන්නෙහි කොටසක් බවට පත්වීම සඳහා පිටත ලෝකයෙන් ද්‍රව්‍ය ඇතුළු වන හා “තමා” වෙතින් බැහැර පිටත ලෝකය සමඟ එක්වීමට පිටව යන, ශක්තිය මාරුවන හා සම්බන්ධ වන ස්ථානයක් ලෙස ක්‍රියා කරයි. “මම” යන සංකල්පය හා එය සෑදෙන ආකාරය අපට ඉගෙනීමට ඇති පාඩම් ය.

හුස්ම ගැනීම, සෑම සංචේතනික ජීවියකුට ම පොදු ක්‍රියාවකි. එය අත්දැකීම තුළින් අවබෝධ කර ගැනීම ඔබ අනෙක් ජීවීන් වෙත සමීප කරවයි. එය සියලුම ජීවීන් සමඟ ස්වභාවික ව පවතින ඔබගේ බැ¼දීම පෙන්වා දෙයි. හුස්ම ගැනීම මේ දැන් පවතින ක්‍රියාවලියකි. එයින් අදහස් කළේ හුස්ම මේ දැන් මෙතැන පවතින බවයි. සැබැවින් ම අපි වර්තමානයේ ජීවත් නොවෙමු. අප අපගේ කාලයෙන් වැඩි කොටසක් ගත කරන්නේ අතීත සිහිවටනවල ඇලී ගැලී හෝ අනාගතය ගැන සිහින මවමිනි.

හුස්මට වෙනත් වේලාවක් නැත. සත්‍ය වශයෙන් ම, අප හුස්ම දෙස බලා සිටින විට අප ව ඉබේම වර්තමානයේ රඳවා තබයි. එය අප ව මනෝරූප මඩ ගොහොරුවෙන් මේ දැන් මෙතැනට ඇද දමයි. එලෙස ගත් කල හුස්ම සජීවී යථාර්ථය ය. එවැනි, ජීවිතයේ කුඩා අනුරුවක් හොඳ සිහිනුවණකින් යුතු ව නිරීක්ෂණය කිරීම ඔබගේ ඉතිරි ජීවන අත්දැකීම් සඳහා අවශ්‍ය වන විනිවිද දක්නා බුද්ධිය ඔබට ලබා දෙනු ඇත.

හුස්ම භාවනා අරමුණ ලෙස භාවිතා කිරීමේ දී ආරම්භක පියවර වන්නේ එය සොයා ගැනීමයි. ඔබ සොයන්නේ නාස්පුඩු තුළින් ඇතුළු වී පිටවී යන වාතයේ භෞතික සංවේදනයකි. මෙය නාස්පුඩු කෙළවරෙහි ඇතුළතින් දැනෙයි. නියමිත ස්ථානය නාසයේ හැඩය මත රඳා පවතින බැවින් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. ගැඹුරු හුස්මක් ගෙන ඇතුළු වන හා පිටවන වාතය නාසය ඇතුළත හෝ උඩුතොල මත වඩාත් පැහැදිලි ව ස්පර්ශ වන ලක්ෂ්‍යය සොයා ගැනීමට ඔබට හැකි වනු ඇත.

දැන් හුස්ම පිටකර එම ස්ථානය මත හටගන්නා දැනීම සිතෙන් සනිටුහන් කර ගන්න. ඔබගේ මුළු ආශ්වාස ප්‍රාශ්වාසය ම දැක ගන්නේ මෙම ලක්ෂ්‍යය මතිනි. තමාගේ මෙම ස්ථානය පැහැදිලිව ම සොයා දැන ගත් පසු ඔබගේ අවධානය ඉන් ඉවතට නොගන්න. අවධානය රඳවා තබා ගැනීමට මෙය පාවිච්චි කරන්න. මෙවැනි ලක්ෂ්‍යයක් සොයා නොගන්නේ නම් නිරතුරු ව වෙනස් වෙමින්, චලනය වෙමින් ගලා යන හුස්ම අල්ලා ගැනීමට, නාසය තුළින් ඇතුළු වී පිට වී යමින් හා ශ්වසනාලය තුළ ඉහළ පහළ යමින් හුස්ම පසු පස ලුහුබැඳ යන්නට ඔබට සිදුවනු ඇත.

ඔබ කෙදිනෙක හෝ ලීයක් ඉරා ඇතිනම් ඔබ උපාය දන්නවා විය හැකි ය. වඩුවෙක් කිසිදිනෙක චලනය වන කියතේ දැති දෙස නොබලයි. එසේ කළහොත් ඔහුට හිස කැරකැවිල්ල ඇති වනු ඇත. කියතේ දැති ලීය මත කිඳා බසින ස්ථානය වෙත ඔහුගේ අවධානය රඳවනු ඇත. ලීය කෙළින් ඉරා ගත හැක්කේ එවිට ය.

භාවනා යෝගියා තමාගේ නාසය ඇතුළත හුස්ම ස්පර්ශ වන එම තනි ලක්ෂ්‍යය වෙත හිත යොමු කරයි. මෙම වාසිදායක ස්ථානයේ සිට ඔහුට සම්පූර්ණ ආශ්වාසය හා ප්‍රාශ්වාසය සන්සුන් ව හා පැහැදිලි ව දැකගැනීමට හැකි වෙයි. හුස්ම පාලනය කිරීමට කිසිවිටෙකත් වෑයම් නොකළ යුතුයි. මෙය යෝග ව්‍යායාමවල දී කරන හුස්ම ගැනීමේ අභ්‍යාසයක් නොවේ. හුස්මෙහි, ඉබේ ඇතිවන චලනය කෙරෙහි හිත යොමු කරන්න. කුමන ආකාරයකින් හෝ එය හැසිරවීමට උත්සාහ නොකළ යුතුයි. බොහෝ ආධුනිකයිනට මේ ආශ්‍රිත ව ගැටලු හට ගැනීමට ඉඩ තිබේ. හුස්ම කෙරෙහි හිත යොමු කිරීමට උපකාරි වන පිණිස, ඔවුන්, නොදැනුවත්ව ම බරකොට ආශ්වාස ප්‍රාශ්වාස කරයි. මෙම බලහත්කාරය හෝ අස්වාභාවික උත්සාහය හිත එකඟ කිරීමට උපකාරයක් නොව බාධාවක් වෙයි.

ගැඹුරින් හෝ ශබ්ද නගා හෝ හුස්ම නොගන්න. ශබ්ද නගා හුස්ම ගැනීම, සමූහ භාවනාවේ දී සෙසු භාවනා යෝගීන්ට මහත් හිරිහැරයක් විය හැකියි. ඔබ නින්දේ පසුවන විට මෙන් ස්වභාවික ව ආශ්වාස ප්‍රාශ්වාසය සිදුවීමට ඉඩ හරින්න. ඇලීමකින් තොරව, එහි රිද්මයට අනුව එම ක්‍රියාවලියට සිද්ධවීමට සලස්වන්න.

පහසු කාර්යයක් සේ පෙනුන ද එය දුෂ්කර කටයුත්තකි. ඔබගේ ම කැමැත්ත එයට හරස් වුව හොත් එයින් අධෛර්යවත් නොවන්න. එය, සිහිකල්පනාවෙන් යුතු ව, චේතනාවේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලෙස යොදා ගන්න. හුස්ම පාලනය කිරීමට ඔබ තුළ ඇති පෙළඹවීම හා හුස්ම පාලනය නැවැත්වීමට ඇති පෙළඹවීම අතර පවතින සියුම් අන්තර් සම්බන්ධතාව දකින්න. මඳ වේලාවකට එය, නිශ්ඵලදායි බවක් හැඟුන ද ඇත්තෙන් ම එය ඉගෙනුම් අත්දැකීමක් ලෙස ඉතා ප්‍රයෝජනවත් වූ, ක්‍රමයෙන් පහවී යන දෙයකි. අවසානයේ දී හුස්ම ගැනීමේ ක්‍රියාවලිය එයට රිසි සේ ගලා යනු ඇත. එය හැසිරවීමට උවමනාවක් ඔබට නොදැනෙනු ඇත.

මේ මොහොතේ දී ඔබ ඉතා වටිනා පාඩමක් ඉගෙන ගන්නවා ඇත. එනම්, විශ්වය පාලනය කිරීමට ඔබ තුළ පවතින අධික ආශාවයි. බැලූ බැල්මට, නීරස හා සරල (ක්‍රියාවක්) ලෙස පෙනුන ද හුස්ම ගැනීම බොහෝ සංකීර්ණ මෙන් ම චිත්තාකර්ශනීය ක්‍රියාවකි. එය සියුම් විවිධතාවලින් පිරී ඇති බව ඔබ දකිනු ඇත. එහි, හුස්ම ඇතුළු වීම හා පිට වීම, දිගු හුස්ම හා කෙටි හුස්ම, ගැඹුරු හා නොගැඹුරු හුස්ම, සුමුදු හා රළු හුස්ම යනාදී වශයෙන් ඇත. මෙම වෙනස්වීම් ඉතා සියුම් ලෙස පැටලී එකිනෙක සමඟ සංයෝග වී ඇත. එය සමීප ව නිරීක්ෂණය කරන්න. එය ඉතා හොඳීන් අධ්‍යයනය කරන්න.

නැවත නැවතත් සිදුවන නියත රටා චක්‍රයක් සහ වෙනස්වීම් විශාල සංඛ්‍යාවක් එවිට ඔබ දකිනු ඇත. එය හරියට සමූහ වාදනයක් වගෙයි. හුස්මෙහි පිට මායිම පමණක් නිරීක්ෂණය නොකරන්න. එහි ඇතුළු වන හා පිට වන හුස්මට වඩා දැකීමට යමක් ඇත. සෑම හුස්මක් ම ආරම්භයක්, මැද අවස්ථාවක් හා අවසානයකින් යුක්තයි. සෑම ආශ්වාසයක ම මෙන් ම ප්‍රාශ්වාසයක ම ඉපදීමක්, වැඩීමක් හා මරණයට පත්වීමක් තිබේ. හුස්මෙහි ගැඹුර හා වේගය ඔබගේ මානසික ස්වභාවය, සිත හරහා ගලා යන සිතිවිලි හා ඔබට ඇසෙන ශබ්ද අනුව වෙනස් වෙයි. මෙම සංසිද්ධින් අධ්‍යයනය කරන්න. එවිට ඔබ එහි ආකර්ශනීය බව දැක ගන්නවා ඇත.

මීළඟ කොටස පොසොන් පුර පසළොස්වක පෝදා කලාපයේ

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]