සසර පුරා මඟ නොහැරෙන නොසිඳෙන ධන උල්පත
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ධනය හැමදා සතුට ඇති කරන්නක්. සන්තුට්ඨී පරමං ධනං
සතුට තමා පරම ධනය, ඉහළම ධනය, ඒ සතුට තිබෙනවා නම් හොඳට නින්දත් යනවා.
කවුරු කවුරුත් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා. එවැනි අය කවදාවත් දිළිඳුවන්නේ
නැහැ. භයක් චකිතයක් නැහැ. ඒ විතරක් නොවෙයි හැම දා සතුටින් පිරුණු නොසිස් ජිවන ගමනක
යෙදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.
බුදුරජාණන් වහන්සේ එවැනි ධන හතක් පෙන්වා දෙනවා. පළමුවැනි ධනය ශ්‍රද්ධාව. දෙවැනි ධනය
සීලය, තුන්වැනි ධනය හිරි හෙවත් පවට අකුසලයට ඇති ලජ්ජා සහිත බව, ඔත්තප්ප හෙවත් පවට
අකුසලයට ඇති බිය සිව්වැනි ධනය යි. ශ්‍රැතය හෙවත් ඇසූපිරුතැන් ඇති බව පස්වන ධනයයි.
හයවන ධනය ත්‍යාග වන්ත බව, හත්වන ධනය නුවණැති බව හෙවත් ප්‍රඥාවන්ත බවයි. මේවා
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය ධන විදිහට යි.
ඒවා ආර්ය ධන වෙන්නේ මේ ධන හත හරියට ම පිහිටන්නේ සෝවාන් ආදි මාර්ග ඵලයන්ට පත් වූ
ආර්ය උත්තමයන් වහන්සේට කියන මේ අදහසයි. අනික් පැත්තෙන් මේ ධන හත සනාතනිකයි. කිසිම
වෙනසකට භාජන වන්නේ නැහැ. පුද්ගල ජීවිතයේ සදාකාලික සැනසිමට, සතුටට හේතු වෙනවා කියන
එකයි.
ශ්‍රද්ධාව(සද්ධා) කියලා කියන්නේ අපේ හිත්වල හට ගන්නා ඉතාමත් සුවදායක, ශෝභන
සිතිවිල්ලක්, අපි යම් කුසල පක්ෂයේ, එහෙම නැතිනම් පුණ්‍යවන්ත කටයුත්තකට සිත නැමෙන
ස්වභාවය තමා ශ්‍රද්ධා සිතිවිල්ලෙන් සිදු වන්නේ. තරහ, වෛරය හෝ ක්‍රෝධය ඇති හිතකින්
කුසල් රැස් කරන්නට බැහැ. දන් දෙන්නට, සිල් ආරක්ෂා කරන්නට, බණ භාවනා කරන්නට
සිතිවිල්ලක් පහළ වෙනවා නම්, ඒක තමා ශ්‍රද්ධාව.
ඇයි අපට එවැනි ශ්‍රද්ධාවක් ඇති වෙන්නේ? ඒ තමා අපේ ශාස්තෘවරයාණන් වූ බුදුරජාණන්
වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ ඇති කර ගන්නා වූ විශ්වාසය. එදා වෙසක් පුර පසළොස්වක පොහෝ
දා දැනට වසර 2568 පමණ පෙර බුදුරජාණන් වහන්සේ ඇසතු බෝ රුක මුල දී චතුරාර්ය
සත්‍යයාවබෝධයෙන් සර්වඥතා ඥානය ලබා ගත්තා කියන මේ පරම විශ්වාසය අප තුළ පවතිනවා නම්
එය තමා ශ්‍රද්ධාව. ඒ නිසා උන්වහන්සේගේ දහම ගැන අපේ තදබල නොකැඩෙන විශ්වාසයට
ශ්‍රද්ධාව කියා ඉතා සරල ව පෙන්වා දෙන්නට පුළුවනි.
දෙවැනි ධනය සීල ධනය යි. සරල ව පෙන්වා දෙනවා නම් සීලය කියන්නේ හැදිච්චකම. හික්මුණු
බව. හීලෑ බව. ගිහි උදවිය හැටියට පන්සිල් අරක්ෂා කරමින් සුචරිතයෙහි යෙදෙනවා නම් එය
ගිහි සීිලය යි. ගිහි දසසීලය, පැවිදි සමාණේර සීලය, උපසම්පදා සීලය කියලා ප්‍රායෝගික
ජීවිතයේ දී අපි සීිලය ආරක්ෂා කර ගන්නට ක්‍රියා කරනවා නම්, එතැන ඒ තත්වයන්ට අදාළ වන
සීලය අපි ආරක්ෂා කරමින් හික්මුණු, හැදිච්ච පිරිසක් බවට පත් වෙනවා. එනම් කය වචන දෙක
සංවරවීම සීලයයි.
සීලයෙන් පස්සේ ලැබෙන්නේ සමාධිය යි. සමාධිය නිසා ප්‍රඥාව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ
ප්‍රකාශ කරනවා 'සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො –- චිත්තං පඤ්ඤං ච භාවයං'
සීලය අත්තිවාරම ලෙස බුදු දහමේ සැලකෙන බව.
තෙවැන්න හිරි හෙවත් ලජ්ජාව කියන්නේ පාප ක්‍රියාවන් කිරීමට ඇති ලජ්ජාවයි. හිරිකිත
බවක් ඇති කර ගැනිමයි. ඉතින් කයින්, වචනයෙන් කෙරෙන්නට අවකාශ තිබෙන හිරිකිත
ක්‍රියාකාරකම්වලින් වැළකෙනවා නම්, එය මේ ලෝකයේ මනා පැවැත්මට හේතුවන බලගතුම ශක්තියක්
වෙනවා. මේ ලෝකය පාලනය කරන සනාතනික දහමක් ලෙසත් හිරි හෙවත් ලජ්ජාව ගැන සඳහන් වෙනවා.
ඒ නිසා හිරි චෙතසිකය කුසල පක්ෂයේ බලගතු ශෝභන සිතිවිල්ලක් ලෙස ඉගැන්වෙනවා.
ඊළඟ ආර්ය වූ සනාථනික ධනය ඔත්තප්පයයි. පාපයට, අකුසලයට බියජනක ස්වභාවයක් සන්තානයෙහි
ඇති වීමයි. ඉතින් මේ භය අපට ඇති වන්නට පුළුවන් ක්‍රම කීපයක් තිබෙනවා.
මෙසේ පවට භය ඇති වන හේතු කීපයක් තිබෙනවා. අපට පෙන්වා දී තිබෙනවා 'මනසා චෙ පදුට්ඨෙන
භාසති වා කරොති වා - තතො නං දුක්ඛමන්වෙති චක්කංව වහතෝ පදං' කියලා. මේ සරල ඉගැන්විම
අනුව තම සන්නානයේ ආශා, ක්‍රෝධ, මුළා වූ සිතිවිලි ඇති ව යම් කෙනෙක් අකුසලයක් පාපයක්
කරයි නම්, වැරැදි අගෝචර නොසරුප් වචන කියයි නම්, ඒ පුද්ගලයා පිටුපස අනිටු විපාක
වශයෙන් දුක ලුහුබැඳගෙන එනවා. දහම තේරුම් ගන්නා උදවිය මේ දුක් විඳීමට බයයි.
අකැමැතියි.
පස්වැනි ධනය වන ශ්‍රැතය(සුත) යනුවෙන් කියවෙන්නේ ඇසූපිරූතැන් ඇති බවයි. එනම් දහම්
දැනුමෙන් ශක්තිමත් වීමයි. මෙහි දී අපට වැදගත් වන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා
කරන ලද මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත් සනාථනික අගයකින් යුත් මේ සුපිරිසුදු
දහම මෙලොවටත් පරලොවටත්, තමන්ටත්, අනුනන්ටත් වැඩදායක බව පසක් වන සේ දහම් දැනුම
තහවුරු කර ගැනිමයි. එවිට තමන් කවරදාකවත් අවැඩට, අකුසලයට පෙළඹෙන්නේ නැහැ.
හයවැනි ධනය පරිත්‍යාගයයි (චාග). අපේ සිතේ ඇති වන මල මසුරුකම් ඉවත දැමිමට සමත් සිතක්
ඇති කර ගැනුම යි. මල කියන්නේ මලකඩ. මලකඩ කෑවොත් ඒ උපකරණයෙන් වඩක් නැහැ. ඉතින් මලකඩ
නොකා යම් උපකරණයක් වුවත් පවත්වා ගන්නවා මෙන් හිත නිතර ම ලෝභ දෝස මෝහා දී අකුසලවලින්
දුරු කර ගැනීම අකුසල මුල් තදංග වශයෙන් දුරු කර ගැනීම පරිත්‍යාගයෙන්, දානයෙන් සිදු
වෙනවා. ඒ නිසා සිත ප්‍රබෝධවත් ව සතුටින් පවත්වා ගත හැකි මාර්ගයක් ලෙස පරිත්‍යාගය
හෙවත් ත්‍යාගය සලකන්නට පළුුවනි.
පඤ්ඤා යන්න අවසාන උත්කෘෂ්ට අවස්ථාව හෙවත් ධනය යි. ශීලයෙන් ආරම්භ වී සිතේ විදර්ශනාමය
භාවනාවෙන් සමාධිය ඇති වී, සනාතනික ව ම ප්‍රීතය, සතුට ගෙන ආර්ය අෂ්ටාංගික මාර්ග පසක්
කර ගැනීමයි. මේ තත්වය තමා අවසාන වශයෙන් පරම ආර්ය ධනය වූ සමාහිත වූ සනාතනික ප්‍රීතිය
සතුට හෙවත් පරම විමුක්තිය වූ නිර්වාණාවබෝධය. |