[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්මා සම්බුදු සමිඳු සිත් නෙතින් දැක ගනිමු

සම්මා සම්බුදු සමිඳු සිත් නෙතින් දැක ගනිමු

හිරු බබළන්නේ දිවා කල පමණි. සඳු බබළන්නේ රාත්‍රියේ පමණි. තාරකා රූප, විදුලි එළි, ගිනිදැල් ආදියෙන් නැඟෙන ආලෝක ද ඉතා සීමිත ය. ඒ සියලු ආලෝක ප්‍රභවයන් පරිච්ඡින්න වූ භූමි සීමා හා කාල සීමා සහිත ය.

එහෙත් කාල භූමි සීමා අතික්‍රමණය කොට, සදාකාලික ව දිදුලන, හැම අතින් ම බබළන රන් හිරු මඬලත්, රිදී සඳ මඬලත් මිහිමත පහළ විය. ඒ අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ය. දුලභ දෑ විරල ය. විරල දෑ දුලභ ය. කෙතෙක් දුලභ වුව, විරල වුව විදුරු, මිණි, රන් රිදී ආදිය සෑම කල්පයක ම මෙදියත විද්‍යමාන ය. දිස්සමාන ය. එහෙත් මහා කල්ප අසංඛ්‍යෙය ගණනකින් පවා හමු නොවන අතිශයින් දුලභ විරල උත්පාදය ශ්‍රීමත් සම්බුද්ධෝත්පාදය ම පමණි.

සිත ඇසිල්ලකින් වෙනස් ව යයි. එවන් සිත සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් අවම වශයෙන් එකම අරමුණක, අදිටනක පිහිටුවා නිම් හිම් නොතකා ඇස්, ඉස්, මස්, රුහිරු ධාරා, අඹුදරු සිහසුන් දනට පුදා පුරන දාන පාරමිතාවෙන් ද, සීලාදී සෙසු පාරමී අනුහසින් ද ලබන්නා වූ සම්බුදු පදවිය අනන්ත සක්වාතල අතර අසමසම විජයග්‍රහණයයි. සකල සත්ත්ව ප්‍රජාවගේ ම පූජනීය වසන්තයයි.

යම් උපතක් සියැසින් ම දැක ගැනීම පිණිස අනන්ත සක්වළ දෙව් බඹුන් සමුළු වෙමින් අපමණ පුද පෙළහරින් මේ මහා මඟුල් සක්වළට පැමිණියේ නම් ඒ මහාසත්, සිරිමත් සිරි සිදුහත් කුමරුගේ උත්පත්ති මංගල්‍යය දැක ගැනීම පිණිස ය.

එදා වෙසක් පුන් පොහෝ දිනයකි. කපිල වස්තුපුර මහරජ සුද්ධෝදනයන්ගේ අග බිසව් තොමෝ රන් සිවිකාවක වැඩ හිඳ දෙව්දහ පුරය බලා රාජකීය පෙරහරකින් පිටත් වූවා ය. දෙපුර අතර මාවත වැටී තිබුණේ ලුම්බිණි සල් වනය පෙනෙන මානයෙනි. කොළ අඩු, මල් වැඩි සල් වනය දුටු මායා බිසොවුන්ට සල්වනයෙහි සිරි බලනු රිසි සිතක් පහළ විය. රන් සිවිකාවෙන් බැස රාජකීයයන් පිරිවරා සල්තුරු අතරින් පිය මනින ඇය දෙව් ලොවින් මිහි බට දෙව්ලියක් සේ සෝබමාන වූවා ය.

ඒ අසිරිමත් බ්‍රහ්ම මුහුර්තයේ හිරු සඳු තාරකා එක විට අහසේ දිස් විය. නේක වර්ණ කිරණ කැටි දිගන්තයෙන් පැතිර නැඟිණි. පියාසර නතරකොට මිහි බට සියොත් කැළ රුචිත කූජනයෙන් නාද නැංවීය. හමා එන මඳ සීත සුසිනිඳු නල රැල්ල දිව්‍යමය සුවඳින් යුක්ත විය. දස දහසක් සක්වළ මල් නොපිපුණ ගහක් ගලක්, පර්වතයක්, පොළොවක් නැත. නතර නොවූ ගංගාවක් නැත. පස්පියුම් නොපිපුණ සමුදුරක් නැත. මල් වියන් නොදැරූ ආකාශයක් නැත. සාධුකාර නොදුන් දෙව් බඹෙක් නැත. අපා ගිනිදැල් මොහොතකට නිවී ගියේ ය. එදින වැටුණු එළියෙන් ලෝකාන්තරික නිරය පවා ආලෝකවත් විය.

දිගු ගමන් ඇති සසරේ වෙර විකුම් බලපා පිරූ බුදුකුරු දම් අනුහසින් මෙතෙකැයි කිව නොහැකි මංගල සිරියෙන් ඉන් පෙර කිසිදා නොවූ විරූ අසිරි සිරියක් උසුලනු ලැබීය. ඒ සිරි විඳිමින් වඩින මායා බිසව් තොමෝ භද්‍ර සාල රුක්ෂ මූලයක නතර වූවා ය. බෝසත් පුතු උපදින්නට සියලු පෙරනිමිති පහළ වී ඇත. මායා බිසව් වටකොට වටතිර ඇදින. ඉහළින් වූ සල් අත්තක් ඇයට අල්ලාගත හැකි වන පරිදි නැවී පහත් විය. බඹ ලොවින් පැමිණි අරහන්තක බ්‍රහ්ම රාජයන් අතරින් සතර දෙනෙක් රන් දැලක් සතර කොනින් අල්ලා මායා දේවිය ළඟට ම වැඩියහ. සරාගී කිසි දෙව් බඹෙක් ඈ වෙත සමීප නොවීය. චමත්කාරයේ උපරිමය තුළ සත් සිත් මිහිරි ගන්වා ධර්මාසනයෙන් බසින ධර්ම කථිකයකු සේ සුකොමල සිරිපා පොඩි රන් දැලේ තැබූ මහසතාණෝ දිගු භව ගමනේ අවසන් උපතින් යුතු ව මෙලොවට වැඩම කළහ.

රන් දැලින් දෙවියන්ගේ අඳුන් දිවි සමට ද ඉක්බිති ව රාජකීයයන්ගේ කසී සළුවට ද වැඩම කළ බෝසත් කුමරු මිහිමත සිරිපා පිහිටුවූහ. මිහිලිය පලා නැඟි රත් පියුම් ඒ සිරිපා පිළිගනිද්දී සත් පියවරක් උතුරු දිශාවට වැඩම කොට නතර වූහ. සතර දිශාව ම විලෝකනය කළහ. ඒ ඒ දිශාවල සියල්ලෝ මහසත් කුමරුට තුති ගී කිය කියා නමස්කාර කළහ. අනන්ත සක්වළ එකම අග රජුන් ඔබ ම යි කියා සාධුකාර නැංවී ය. ඒත් සමඟ ම මොළකැටි සිරි මුව මඬල විවර කළ බෝසත් කුමරු මම ලොවට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි, මේ මාගේ අන්තිම ඉපදීමයි කියා සිංහනාද නැංවූහ. මිනිස් ඉතිහාසයේ සත් සිත් සනහා ඇසුණ පළමු අමා ගීතය ද එය ම විය.

යශෝධරා දේවිය අග බිසව වූ සිදුහත් කුමරුගේ රාජකීය යුග දිවිය අවුරුදු දහතුනකට සීමා විය. උත්පත්ති මංගල්‍යයෙන් විසි නව අවුරුද්දක් ගෙවෙන දා සත්‍යාවබෝධයේ මාවත සොයා ඒ මහසත් බෝසතාණෝ රජ මැඳුරෙන් තපෝවනයට අභිනික්මන් කළහ. ඒ ජරා, මරණ, ශෝක, දුකින් පීඩිත සත්ත්වයන්ගේ දුක් නිවා සනසාලනු පිණිස ම ය.

සමකාලීන භාරතීය ශ්‍රමණ සම්ප්‍රදායයන් විසින් ගරු කොට සලකනු ලැබූ කයට දුක් දීමේ ක්ලමථන ප්‍රතිපදාව එවකට බොහෝ සත්‍ය ගවේෂීන්ගේ තෝරාගැනීම විය. එහි සත්‍යයක් තිබේ දැයි විමසමින් බෝසතාණන් වහන්සේ පුරා සය වසක් දුෂ්කර ක්‍රියාවෙහි යෙදී වාසය කළහ. එකල් පුරා විමුක්තියේ නාමයෙන් මානව වංශයේ ශ්‍රමණයන් වහන්සේ නමක් අත්විඳි ඉහළ ම දුක් ඉසිලූහ.

වැරැදීම පරාජයක් ලෙස නොව අත්දැකීමක් ලෙස සැලකූ මහසත් සිදුහත් බෝසතාණෝ දුෂ්කර ක්‍රියාවේ අසාර භවය අවබෝධ කොට උතුම් මැදුම් පිළිවෙතට අවතීරණ වූහ.

උත්පත්ති මංගල්‍යයෙන් තිස් පස් අවුරුද්දක් පිරෙන එදා වෙසක් පුන් සඳ පෙරගිරින් පායා නැඟුණි. ගයාවේ විජය බිම, ඇසතු බෝ සෙවෙණින් මනරම්‍ය ශාන්ත ය. නේරංජන ගඟ දිය පිරිමැද හමන මඳනල සිසිලස ය, සුවඳවත් ය. දෙතිස් මහා මංගල පෙරනිමිති නැඟී අනේක සක්වළ අතර මේ මංගල සක්වළ සිත්කළු ය, නන්දනීය ය. සාරා සැකි කප් ඉසිලූ පෙරුම් බල හදින් දැරූ මහසත් සිදුහත් හිමි එබිම් තලාවට වැඩි සේක. මිහි පළා නැඟි විදුරසුනේ නොසැලී අදිටනින් අසුන් ගත් සේක. දස බිම්බරක් මර බල මුළු පැරද වූ සේක. දෙවි බඹුන්ගේ අනේක ගුණ ගැයුම් මැද මහී ගර්ජනා පූජා ලැබූ සේක.මේ සොඳුරු මහ කපේ සතර වන මහ අගරජු වූ සේක. සම්බුදු පදවිය ලැබූ සේක. සාධු සාධු භාග්‍යවතුනි. අපි අනුමෝදන් වෙමු. ඔය සිරිපා සිප වැඳ පින් ලබමු.

යුගඳුර තුරන් විය. භව දුක් ගෙවන් විය. ඉකිබිඳුම් නතර විය. කුදිටු මිසදිටු කටු වනය දැවී අළු විය. සත්‍යයේ සිහ නදින්, ධර්මයේ බෙර නදින් දෙව් මිනිස් ලෝකය ම අවදි විය. මහ ගොයුම් දම් රජාණෝ ඉසිපතන මුව වෙනෙහි දී සදහම් අමා ගඟ දිය උල්පත් මතු කළ සේක. පව් මල දොවා හද විමන් පූජනීය කළ සේක.

මහ මුනි රජුනි, ඔබ වහන්සේගේ සොඳුරු රූ දුටුවෝ පිනැත්තෝ ම ය. සදහම් ඇසුවෝ නිවුණාහු ම ය. දන් හැන්දක් තරම් පිදුමට ලැබුවෝ වාසනාවන්තයෝ ය. ගණනින් පමණ නැති සත්ත්වයෝ ඔබ වහන්සේ නිසා හැම දුකින් අත මිදුණි. ජාති කුල ගොත් නොතකා පෙර කළ පිනෙන් සරු දනන් වෙත ඔබ වහන්සේ සිරිපා නොමසුරු ව යොමුවිය. දම් අමාවෙන් සැම සිත් සැනසූ සේක්, සැහැසි අගුල්මල්, අසරණ පටාචාරා, රහල් පුත්, දෙව්දත් ආදී සැම වෙත සම මෙතින් සම කුළුණින් බැලූ සේක. අපමණ සෙත සැදූ සේක.

පන්සාළිස් වසක් නොදැනීම ගෙවී ගියේ ය. පැතූ බුදු බව, ලැබූ දා සිට සිදු කළ මහා බුදු කිස නිමවා මහා කාරුණික දම් රජාණෝ උපවත්තන සල් වනයට වැඩි සේක. සංස්කාරයන්ගේ නොතිර බව වදාළේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ම ය. එහෙත් අපමණ සත් වගකට තවමත් වාවාගත නොහැකි වේදනාව ද ඔබ වහන්සේගේ සමුගැනීම ය.

එනමුත් බුදු හදවත විමුක්ති සුව පටිසංවේදී ව අකම්පිත ය. වෙසක් සඳ මිළාන ව බැස ගියේ ය. අකලට පිපි සල් කුසුම් එකින් එක බිම පතිත විය. අවසන් බුදු වදන අප්‍රමාදී අනුශාසනාවෙන් උණුසුම් ව නිකුත් විය. අභිනීල නෙතු සඟල වැසී යද්දී කරුණා දහරින් ලොව සැනසූ විරාගී හද මඬල නතර විය. පහන් සිලක් නිවුණු ලෙස ගෞතම මුනි රජාණෝ පිරිනිවී සැනසුණ සේක.

මෙසේ අපි ඒ අසිරිමත් තෙමඟුල සිහිකරමු. බුද්ධගතාසතියෙන් කල් ගෙවමු. සිත් නෙතින් බුදු සමිඳු දැක ගනිමු. අප්‍රමාදී ව ඒ දහම් මඟ ගමන් කොට දුක්බර සසර සරණියෙන් සමුගනිමු.

“ අමා බුදුගුණ අනුහසින් හැම සිත් නිවී පහන් වේවා!

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]