[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුරක්ෂිත දිවියක මිහිර විඳින්න සිල්වත්වීමේ අගය දකින්න

සුරක්ෂිත දිවියක මිහිර විඳින්න සිල්වත්වීමේ අගය දකින්න

අප සතු ව ඇති සියලු භාණ්ඩ අතර අපට ඇති වටිනා ම හා වැදගත් ම භාණ්ඩය වන්නේ අපේ ජීවිතය යි. එම ජීවිතය භෞතික, මානසික, භාවාත්මක හා ආධ්‍යාත්මික යනුවෙන් කොටස් සතරකි.

උපතේ සිට අවුරුදු 5ක් හෝ 6ක් වන තෙක් අපේ ජීවිතය රකිනු ලබන්නේ අපේ මව්පියන් විසිනුයි. අපේ ජීවිතය අපේ භාරයට පත් වන විට එයට හානියක් නොවී රැක ගැනීම සඳහා උපදෙස් මාලාවක් ද අපට අපේ මව්පියන් විසින් උගන්වනු ලබයි. එම උපදෙස් මාලාව නිසි ලෙස පිළිපදින විට භෞතික, මානසික, භාවාත්මක හා ආධ්‍යාත්මික යන කොටස්වලින් සමන්විත අපේ ජීවිතයට කිසිදු හානියක් නොවන ලෙසට එය පාවිච්චි කරමින් එ මඟින් අපට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට හැකි වනු ඇත.

රූපවාහිනියක්, ශීතකරණයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් දීර්ඝ කාලයක් නිසි ගුණාත්මක බවින් යුතු ව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වන උපදෙස් පත්‍රිකා ව මෙන්ම අපේ ජීවිතය නිසි ලෙස පවත්වා ගෙන යාම සඳහා අපට ලැබී ඇති උපදෙස් මොනවා ද?

එදිනෙදා වහරේ දී එම උපදෙස් හැඳින්වෙන්නේ “පන්සිල්” ලෙසයි. එම උපදෙස් පිළිනොපදින ඕනෑම අයෙක් තමන්ගේ ජීවිතය ඉතාමත් අවදානම් තත්ත්වයකට පත් කර ගන්නා බව අප තේරුම් ගත යුතුයි.

සෑම ජීවිතයකට ම වටිනාකමක් දෙන්න

ජාතිය, ආගම, කුලය, තනතුර, ආදායම, රැකියාව නොසලකා සියලු මිනිසුන්ට ගෞරව කරන්නට පුරුදු පුහුණු වූ විට අපේ අතින් කිසි විටෙකවත් තවත් අයකුගේ ජීවිතයකට හානියක් වීමට ඉඩ කඩ නැති වෙයි. යම් අයෙක් අතින් වරදක් සිදු වූ විට අප කළ යුත්තේ එම පුද්ගලයාගේ එම වරද ඉවත් කිරීමට කටයුතු කිරීම මිස එම පුද්ගලයා විනාශ කර දැමීම නොවේ.

යම් අයෙක් මිය ගිය විට ඔහුගේ ඇඳුම් තව කෙනකුට පාවිච්චි කළ හැකි ය. එසේම වරදක් කළ අයකුට මරණීය දඬුවමක් දුන් විට බොහෝ විට සිදු වන්නේ වරද ඉතිරි වී පුද්ගලයා විනාශ වීමයි. එවිට තවත් අයකුට එම වරද පාවිච්චි කළ හැකි ය. ඒ නිසා අප කළ යුත්තේ පුද්ගලයා ආරක්ෂා කර ගනිමින් ‘වරද’ විනාශ කර දැමීමයි. මේ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ශරීරයේ ඇති පිළිකාවක් ඉවත් කර දමා රෝගියා බේරා ගන්නා ආකාරයට අපත් යම් අයකු ළඟ ඇති ‘වැරැදි’ ඉවත් කර දමා එම පුද්ගලයා යහපත් අයකු කිරීමට කටයුතු කළ යුතු වෙයි.

අවදානමක් ගන්නේ ඇයි ?

කෙනෙක් කොතරම් ඉහළට අධ්‍යාපනය ලබා තිබුණත්, කොතරම් ඉහළ තනතුරක් දැරුවත් නොදුන් දෙය ගත්විට “සොරකු” බවට පත් වනු ඇත. යම් විටෙක දි ඔබට හිමි දෙයක් වුවත් යම් කෙනෙක් ඔබට නොදී තබා ගන්නා අවස්ථාවක ඔහුට හොරෙන් හෝ ඔහුට යම් බලපෑමක් එල්ල කරමින් ඔබ එය ලබා ගතහොත් සිදු වන්නේ කුමක්ද? ඔබේ ජීවිතය අවදානමට ලක් වීමයි. මේ නිසා යම් කෙනෙක් බලෙන් තබා ගෙන සිටින, ඔබට හිමි දෙයක් වුවත් නැවත ඔබ සතු කර ගත යුත්තේ නීතියෙන්, ප්‍රයෝගයෙන් හෝ ප්‍රඥාවෙන් කටයුතු කිරීමෙන් එම තැනැත්තාගේ කැමැත්ත ඇතිවයි.

ආචාර ධර්ම ගරු කරන්න

“සමාජ ආචාර ධර්මවලට පටහැනි ලෙස ලිංගික තෘප්තිය ලැබීමෙන් වැළකී සිටිමි” යනු කාමේසුමිච්ඡාචාරා වේරමණි සික්ඛාපදං සමාදියාමි” යන්නෙහි සිංහල අදහසයි.

ලිංගික තෘප්තිය මිනිසාගේ ශාරීරික, මානසික මෙන් ම භාවමය අවශ්‍යතාවක් බව අප වටහා ගත යුතු ය. ඒ නිසා මෙහිදී අප කළ යුත්තේ ලිංගික තෘප්තිය ලැබීමෙන් වැළකීම නොව සමාජ ආචාර ධර්මවලට පටහැනි ලෙස ලිංගික තෘප්තිය ලැබීමෙන් වැළකීමයි.

අද දවසේ මිනිස් ජීවිත විනාශ කරන ඒඩ්ස් ආදී වූ සමාජ රෝග වැලඳෙන්නේ යම් කෙනෙක් මේ ආකාරයෙන් කටයුතු කරන විටයි. එසේ ම පවුල් ජීවිතවල විවිධ ගැටලු ඇති වී පවුල් සබඳතා බිඳ වැටීම මෙන් ම සිය දිවි හානි කර ගැනීම් පවා මේ නිසා ඇතිවිය හැකි ය.

අනුන්ගේ අපහාසයට ලක් වෙන්න එපා

“සත්‍ය නොවන දේ පැවසීමෙන් වළකිමි” මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි යන්නෙහි සිංහල අදහසයි. යමෙක් බොරු කියන විට ඔහු ඇසුරු කරන අයගේ උපහාසයට මෙන් ම අපහාසයට ලක් වෙයි. කෙනෙක් සත්‍ය නොවන දේ පවසන විට ඔහුගේ හෝ ඇයගේ හෝ සේවක පිරිස බලය නිසා හෝ තනතුර නිසා හෝ ඔහු හෝ ඇය හෝ ඉදිරියේ නිශ්ශබ්ද ව සිටියත්, වෙනත් තැනක දී එය මතු කරමින් විවේචනය කරනු ඇත. එසේ ම යම් කෙනකුට තමන් ගැන අන් අය තුළ ඇති විශ්වසනීයත්වය නැති කර ගැනීමට කළ හැකි හොඳම දේ නම්, ඔවුන් ඉදිරියේ ‘බොරු කීම’යි.

බොරු කියන පුද්ගලයා හැම විට ම කල් ගෙවන්නේ ආතතියෙන් හා බියෙන් යුතුවයි. රාත්‍රියට නින්දට ගිය විට නින්ද ඔහු කරා නොඑයි. මේ නිසා කෙනෙක් බොරු කියන විට ඔහුට හෝ ඇයට ශාරීරික මෙන් ම මානසික ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත.

හොඳ ද? නරක ද? වෙනස නොවැටහීම

චිත්ත ඒකාග්‍රතාවට හා පියවි සිහියට බාධා කරන මත්ද්‍රව්‍ය හා මත් වතුර පරිභෝජනය කිරීමෙන් වළකිමි. “සුරාමේරය මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යන්නෙහි සිංහල අදහසයි.

අද දවසේ සිදුවෙන මාර්ග අනතුරු රැසකට හේතුව මත්පැන් පානය කොට වාහන පැදවීමයි. එ මඟින් ඔවුන් තමන්ගේ ජීවිතය අඳුරු කර ගන්නා අතර ම අන් අයගේ ජීවිතත් අඳුරු කිරීමට කටයුතු කරනු ලබයි. එසේ ම අද දවසේ බොහෝ දෙනා මුහුණ දෙන සෞඛ්‍යය ගැටලු බොහොමයක් සඳහා මුල් වන්නේ දුම්වැටි, මත් වතුර හා මත් ද්‍රව්‍යයි.

එසේ ම අප මීට පෙර විමසා බැලූ අපේ ජීවිත අවදානමට ලක් කරන ක්‍රියාකාරකම් සතර සඳහා බොහෝ විට මුල් වන්නේ මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයයි. මත්පැන් භාවිතයෙන් මොළය අඩපණවීම නිසා සිතේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු නොවේ. එවිට අපට කළ යුතු දේ හා නොකළ යුතු දේ වෙන් කර හඳුනා ගැනීමට නොහැකි වේ. ප්‍රතිඵලය වන්නේ අප අතින් ඉහත කී වැරැදි ක්‍රියා සිදුවීමයි. මේ නිසා මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් ඉවත් වීම සිල් පද පහ ම රැකීමට රුකුලක් වනු ඇත.

එසේ නම් ඔබ කිනම් වයසක සිටියත්, කිනම් වෘත්තියක නිරත වූවත්, කිනම් ජාතියකට හෝ කුලයකට අයත් වුවත් නොකඩවා පන්සිල් රැකීම තුළින් ඔබේ ජීවිතය සුරක්ෂිත කර ගත හැකි ය.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]