[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පුර පෑළවිය සඳ - 07 කොටස

පුර පෑළවිය සඳ - 07 කොටස

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

මෙතෙක් කතාව

දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුවද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට වැරදිපිට වැරදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරවන්ට කරන අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි.

“ අන්න අර ගිහින් බලන්න බුද්ධි,

පන්සලට ඇවිල්ල හෝන් ගහන්නෙ කවුද කියල.”

ලොකු හාමුදුරුවන්ගේ හඬෙහි වූයේ ද නුරුස්නා බවකි.

ලොකු හාමුදුරුවන් හා බුද්ධි හාමුදුරුවන් ආවාස මිදුල දෙසට වැඩම කරද්දී , සිරිමල් මාමාට ඔරවා බැලූ නන්ද හිමියන් පිටත් වූයේ අහිංසක දමිත සාමණේරයන් දණගසා සිටි කාර්යාල කාමරය දෙසට ය.

සිරිමල් මාමා බොරු හැඬිල්ලත් සමඟ ම ඤාණ හිමියන්ට නොදැනෙන ලෙසට අතතිබූ හඩු සරමෙන් ඉක්මනින් ම ඇඳුම් වැට වසා දැමුවේ ය.

දිමි රැළකට හසුවූ ගැඩවිල් පණුවෙක් පිළිසරණක් සොයමින් ඒ මේ අත ඇඹරෙයි. කොතරම් ඇඹරුණත්, දැඟලුවත් ඌට මිදීමක් නම් නැත. ඒ දුටු සාමණේරයන්ට හොඳටම දුක ය. කෝටු කැබැල්ලක් ගෙන ගැඩවිලා ඔසවා බෝ පතක් මත තබා ගත්තේ නපුරු දිමියන්ගෙන් අහිංසකයා බේරා ගැනීමට ය.

හෙමි හෙමීට එකින් එක දිමියන් ඉවත් කර දැමුවත් නැවත නැවතත් උන් එන්නේ අහිංසක ගැඩවිලා හපන්නට ය. ඒ මදිවාට දැන් එකෙකු දෙන්නෙකු සාමණේරයන්ගේ අතත් හපති. දැන් නම් දමිත සාමණේරයන්ට හොඳට ම තරහ ය. මොවුනුත් හරියට සිරිමල් මාමා වාගේ යැයි දමිතට සිතේ. අහිංසක ගැඩවිලා තමන් වාගේ ය. අසරණ ය.

දිමියෙක්, දෙන්නෙක් වරින් වර තදින් අත හපා කෑවෙන් නොදැනීම මෙන් එකෙකු දෙන්නෙකු තම අතින් පොඩි වී යනු හිමියන්ට දැනුණි. ගැඩවිලා වෙනුවෙන් ඇති වූ වැනි දුකක් සියතින් පොඩි වී ගිය දිමියන් කෙරෙහි සාමණේරයන්ට ඇති නොවිණි. ගැඩවිලා බේරා ගැනීමේ මෙහෙයුමේ සිටි දමිත සාමණේරයන්ට නන්ද හාමුදුරුවන් වඩිනවා දැනුණේ නැත.

දැන් බොහෝ වේලාවක් නන්ද හිමියන් බලා සිටියේ සාමණේරයන් දෙස ය. නොකළ වරදකට හසුවූ අහිංසක දමිත හිමියන් ගැන නන්ද හිමියන්ට ඇත්තේ කරුණාවකි.

කරුණාව වනාහී තිබිය යුත්තේ දුකට පත්වන තැනැත්තා ගැන සිතා හඬා වැළපී දුක්වීමට නම් නොවේ. හැඬීම් වැළපීම්වලින් දුකට පත්වූ අයට වන යහපතක් නම් නොවේ. ඇති වූ දුකක් නිවාලීමට තරම් අවබෝධයක් සමඟ උපන් කරුණාවක් නම් එය ඵලදායි සැබෑ කරුණාවක් වන්නේ ය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාව අන්‍ය දෙවි මිනිසුන්ගේ කරුණාවෙන් වෙනස් වන්නේ එතැන දී ය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කරුණාව, උන් වහන්සේ තුළ වූ අසහාය මහා ප්‍රඥාවෙන් මිශ්‍ර වී පවතුණි. බුදු කරුණාවට මහා කරුණාව යැයි කියන්නේ එබැවිනි. සකල ලෝ සතුන් කෙරෙහි පතළාවූ ඒ මහා කරුණාව ගැඩවිලාටත් එක ය. දිමියන්ටත් එක ය. පුදුමාකාර ය.

ගැඩවිල් පණුවා බේරාගත් දමිත හිමියන් ඌ බෝධි ප්‍රාකාරයේ උඩ කෙළවරකින් තැබුවේ ය. මොහොතකින් බෝ අතු අතර බෝ ගෙඩි කමින් සිටි බටිති කුරුල්ලෙක් සැනින් විත් ගැඩවිලා ගොදුරු කර ගත්තේ ය.

සාමණේරයන් සූ සූ කීවත් ඌ නතර වූයේ නැත. ගැසීමට ගලක් සෙවූවත් වැලි මලුවේ ගල් කොයින් ද ?

දමිතට දරාගත නොහැකි ව දත්මිටි කැවෙන්නට විය.

“ දමිතට දුකයි ද? “

දමිත සාමණේරයන් නන්ද හිමියන් දුටුවේ එවිට ය.

“ පව් නන්ද හාමුදුරුවනේ, ගැඩවිල් පැටියා. මං අමාරුවෙන් දිමියන්ගෙන් බේරල උඩින් ගෙනත් තිබ්බෙ...”

“දුක් වෙන්න එපා දමිත. සමහර දේවල් තියෙනවා , අපි කොච්චර උත්සාහ කළත් වෙනස් කරන්න බැරි දේවල්.

ගැඩවිල් පණුවට වෙනත් සතෙක්ගෙ ආහාරයක් වෙලා දුක් විඳලා මැරෙන්න කර්මයක් තියෙන්න ඇති. ගැඩවිල් පැටියා ඒ කර්මෙන් නිදහස් වුණා කියල හිතන්න දමිත.

කොහොමත් තිරිසන් ලෝකෙ කියන්නෙ සතර අපායෙන් එකක් නෙ. අපිට ලස්සනට පෙනුනට දුකින් පිරුණු තැනක්. කුසල් රැස් කරන්න බැරි තැනක්. “

සාමණේරයන්ට නොදැනීම කඳුළු එන්නට විය. දෙකොපුල් හරහා කඳුලු රූරා යයි.

“ එතකොට නන්ද හාමුදුරුවනේ, ... මං ගෙවන්නෙත් මේ කරුමයක් ද?...”

අහිංසක නෙතින් බලා ඇසූ දේට නම් නන්ද හිමිගේත් සිත සසල වී ගියේ ය.

නන්ද හිමියන් උඩ බැලුවේ ඇසින් කඳුළු වැටේ දැයි යන බියට මෙනි.

හැමදේ ම සිදුවන්නේ කර්මයෙන් නොවන බව නම් සැබෑ ය. නමුත් අප හා සම්බන්ධ බොහෝ දෑ සිදුවන්නේ කර්මය ම ප්‍රධාන තීරකයක් කොට ගෙන ය.

කර්මයට ම ඉඩ දී ජීවත් වීමට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට උගන්වා නැත. බුද්ධියෙන් යුතු වීර්යයට ද, කල්‍යාණමිත්‍ර සම්පත්තියට ද බොහෝ දෑ වෙනස් කිරීමේ හැකියාව පවතී.

බුද්ධ කාලීන සුනීත සෝපාකලාගේ සහ අංගුලිමාලලාගේ කර්ම ප්‍රවාහය අසහාය කල්‍යාණමිත්‍ර ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසා බිඳී වෙනස් වී සුවපත් වී ගියේ ය. ඒ උතුමන් උතුම් සැනසීමෙන් ම සැනසීමට පත්ව ගියෝ ය.

භික්ෂුවගේ ප්‍රතිපදාව විය යුත්තේ මෛත්‍රී කරුණා මූලික ප්‍රතිපදාවකි. එය වනාහී ආත්මාර්ථය හා පරාර්ථය යන උභයාර්ථය ම අරමුණු කොට ගත්තකි.

එබැවින් තමන් වහන්සේත්, දමිත සාමණේරයන්ගේ ජීවිතය යන්තමකට හෝ ආලෝකවත් කළ යුතු යැයි නන්ද හිමියන්ට සිතේ.

දුප්පත් භේද, පොහොසත් භේද, කුල ගෝත්‍ර භේද , උස් පහත් භේද කිසිවක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට තිබුණේ නැත. රහතන් වහන්සේට තිබුණේත් නැත. මිනිසකු උසස් හෝ පහත් වන්නේ තම තමන්ගේ සිතිවිලි හා ක්‍රියාවන් නිසා ම බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. අද බොහෝ ගිහි පැවිද්දන්ට ඒ උතුම් බුදුවදන් අමතක ය.

සාමණේරයන් දණගස්වා නඩු විසඳමින් සිටි මොහොතේ දී පැමිණි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමා තවමත් ලොකු හාමුදුරුවන්ගේ කාර්යාල කාමරයේ ය.

පන්සලෙත් දැන් අසුන් පැනවෙනුයේ එක් එක් අයට එක් එක් විදියට ය. දුගී දායකයින්ට අසුන වන්නේ පැදුර හෝ බිම ය. මහ ධනවතුන්ට හෝ දේශපාලඥයන්ට ලොකු හාමුදුරුවන්ට සේ ම හරි හරියට සමාන වූ සැප පහසු පුටුවකි. ලොව්තුරා බුදුදහම හෝ සමාජ සමානාත්මතාවවත් එහි සොයා ගත නොහැක.

ලොව්තුරා බුද්ධ ශ්‍රාවක සේ පෙනී සිටින බොහෝ ගිහි පැවිද්දන් උසස් පහත් බව මනින්නේ ධනයේ හා බලයේ ප්‍රමාණයට මිස, අදහස් හා ක්‍රියාවේ තරමට නම් නොවේ. ඒවාට උපදෙස් දෙන්නට නම් තමන් වහන්සේට නොහැකි බව නන්ද හාමුදුරුවෝ හොඳාකාරව ම දනී.

කළ යුතු ව පවතින්නේ බාහිර ලෝකය සමඟ ඔට්ටු වෙමින් අන්‍යයන් වෙනස් කිරීමට පොරබැදීම නොවේ. නියමාකාර බුද්ධ පුත්‍රයකු විලසට තම තමන් ම ලෝකයාට ආදර්ශයක් වීම ම පමණි.

“ දමිත,.... දමිත කැමති ද දමිතගෙ කරුම ජීවිතේ වෙනස් කර ගන්න...”

නන්ද හිමියන් පවසන්නේ කුමක්දැයි සාමණේරයන්ට වැටහීමක් නැත. නමුත් යහපතට මිස අයහපතට දෙයක් නම් නන්ද හිමියන් නොකියන බව දමිතට විශ්වාස ය.

(මතු සම්බන්ධයි)

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]