සමාජයේ පිරිහීම
වගකීම හා වගවීම නැති තැනයි
සියඹලාගොඩ ධම්මින්ද හිමි
සහයෝගයෙන්, වගකීම් සහිත ව, වගවීමෙන් ජීවත්වීම ජීවිතයට අභිමානයක්. ඒ තැනට අපගේ
හැසිරීම් හසුරුවා ගන්නට අප නිරතුරු උත්සාහ කළ යුතුයි.
අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ,
“සමඟිවන්න, අනවශ්‍ය වාද විවාද කරන්න එපා. කිරි හා දිය සේ සමානව ම අන්‍යොන්‍ය
සුහදත්වයෙන් ජීවත්වන්න” යනුවෙනි.
ඝෝෂිතාරාමයේ දී විනයධර, ධර්මධර ස්වාමීන් වහන්සේ අතර ඇතිකරගත් අනවශ්‍ය විවාදයේ දී
බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේට අවවාද කොට වදාළේ “සමග්ගා හෝත මා විවදත” සමඟිවන්න,
විවාද නොකරන්න, යනුවෙනි. එහෙත් ඒ ඒ පිළිබඳ සුබවාදි ප්‍රතිචාරයක් නොදැක් වූහ.
බුදුජාණන් වහන්සේ හුදකලාව ම පාරිල්‍යෙ වනයට වැඩම කළහ. වස් කාලය පාරිල්‍යෙ වනයේ ම ගත
කළහ.
සහයෝගිතාවට පටහැනි වූ, වගකීම්- වගවීම්වලින් දුරස් වූ දෙව්දත් තෙරුන්ට කොපමණ අවවාද
කළත් නිසි මඟට නොපැමිණි නිසා බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පනවා වදාළහ.
බුද්ධ රත්නයට, ධර්ම රත්නයට හා ශාසනය සම්බන්ධයෙන් විවිධ වූ දුර්මතයන් ඉදිරිපත් කළ
භික්ෂූන් වහන්සේට ද, ධර්මය සම්බන්ධයෙන් අනවශ්‍ය ආකාරයට යම් යම් මත ප්‍රකාශ කළ ගිහි
පිරිස් වෙනුවෙන් ද බුදුරජාණන් වහන්සේ “පත්ත නික්කුජ්ජන කර්මය” පැනවූහ. එනම් මේ අයගේ
දානය ප්‍රතික්ෂේප කිරීම ය. ඒ ප්‍රතික්ෂේප කිරීම සදාකාලික වූවක් නොවේ. ඔවුන් ඒ
වැරැද්ද නිවැරැදි කර ගන්නා තුරු පමණි. නිවැරැදි මාර්ගයට පැමිණි කල ඒ දඬුවම
ක්‍රියාත්මක වන්නේ නැත.
කුල දරුවන් මහණ කිරීමේ දී මව්පියන්ගේ අවසරය ඇතිව කුල දරුවන් මහණ කළ යුතු බවට අදහස
සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට පෙන්වා දුන්නේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ
වහන්සේ ගිහි ගෙය හැර ගිය පසු මම නන්ද කුමරු දෙස බලා සතුටු වූයෙමි. නන්ද කුමරු ද
ගිහි ගෙය හැර ගියේ ය. ඉන් පසු මම රාහුල කුමරු දෙස බලා සතුටු වූයෙමි. රාහුල කුමරු ද
ගිහි ගෙය හැර ගියේ ය. ස්වාමීනි දරු සෙනෙහස සම, සිවිය, ඇට, ඇට මිදුළු සිඳ හදවතට ම කා
වැදුණු දෙයකි. ඒ නිසා කුල දරුවන් මහණ කිරීමේ දී මව්පියන්ගේ අවසරයෙන් තොරව සිදු නොකළ
යුතු යි” යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ය.
තථාගතයන් වහන්සේ ඒ ඉල්ලීම ඒ අයුරින් ම ඉටු කළ සේක. ඒ වගේ ම ශාසනික ව, යම් යම්
වෙනස්කම් සිදු කිරීමේ දී භික්ෂූන් වහන්සේගේ මෙන් ම ගිහියන්ගෙන් ද අවශ්‍ය උපදෙස්
ලැබූහ.
ප්‍රථම රහත් හැට නම අමතා දේශනා මුල, මැද, අග යහපත් ශ්‍රී සද්ධර්මය බොහෝ ජනයාගේ හිත
පිණිස බොහෝ ජනතාවට සැප පිණිස දේශනා කරන ලෙස දේශනා කොට වදාළහ. ඒ අයුරින් බලන කල මේ
ලෝකයේ සමාජවාදය පිළිබඳ, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපට ගන්න පුළුවන් පූර්වාදර්ශී ම
චරිතය අප බුදුරජාණන් වහන්සේ ය.
පිණ්ඩපාතයේ වඩින බුදුරජාණන් වහන්සේ දුටු සුද්ධෝදන රජතුමා බොහෝ දුකට කනගාටුවට පත්
වුණි. ඔබ වහන්සේ අපට නිග්‍රහ කරනවා’යි බුදුරජාණන් වහන්සේට කීවේ ය.
ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ රජතුමනි, මම ඔබේ වංශයට නිග්‍රහ
නොකරමි. මේ බුදුවරයන්ගේ වංශයයි. මේ ඔබගේ ශාක්‍ය වංශය නොවෙයි යනුවෙනි. මේ හැම
අවස්ථාවක දී ම සහයෝගය, වගකිම සහ වගවීම පිළිබඳ බුද්ධ දේශනාවේ අන්තර්ගතය. තමන්ට
නිදහසේ කටයුතු කරන්නට හැකි සේම ඒ හැම දෙයක් සම්බන්ධයෙන් ම තමන්ට වගවීමක් ද තිබේ.
අද සහයෝගය, වගවීම, වගකීම බොහෝ අය අතරින් දුරස්ය. යම් රාජකාරියක් පැවරුනේ නම්, ඉතා ම
නිවැරැදි ව, බොහොම විශ්වාසයෙන් එය ඉටු කිරීම වගේ ම වග වීමද කළ යුතුය. ඒ රැකියා
ස්ථානය, පාසල, පන්සල විය හැකිය. සාමාන්‍ය ජීවිතය ද විය හැකිය.
සහයෝගයක් නැති තැන ජයග්‍රහණය හීනයකි. වටුකුරුලු රෑන වැද්දාගෙන් ගැලවී ජීවිතය
බේරාගෙන ඉගිල ගිය කතාවෙන් අපි පුංචි ම කාලේ ඉගෙන ගත්තේ සහයෝගයේ වටිනාකමයි. එක්
අයකුට, දෙදෙනකුට කරන්න බැරි බොහෝ දේ සාමූහික ප්‍රයත්නයක් ලෙස අප භාර ගන්නේ නම්,
අපිට එය කරන්නට පුළුවන.
තමන්ට යහපතක් ඇතිකර ගෙන, තමන්ට වටිනාකමක් නිර්මාණ කර ගැනීම ආත්මාර්ථයයි. ඒ වටිනාකම
ඔස්සේ සමාජයට වටිනාකම් සදා දීම පරාර්ථයයි. බුදුරජාණන් වහන්සේ අනුමත නොකළේ ආත්ම
ලාභයයි. ආත්ම තෘෂ්ණාවයි.
මඝ මානවකයන් මචලගමේ තරුණ ගම්වැසියන් තිස් දෙනෙකු සමඟ එකතුව ඔහුගේ පරාර්ථ චර්යාවන්හි
යෙදුණි. ඒ නිසා ඔහුට ශක්‍ර පදවිය ලැබුණි. ඔහු වටා එකතු වූ පිරිසට ශක්‍රයාගේ පරිවාර
පිරිස හැටියට පත්වෙන්නට අවස්ථාව සැලසුණි. මේ සහයෝගයේ ප්‍රතිඵලයයි.
ලෝකයේ යම් ජයග්‍රහණයක් වේ නම් ඒ ලැබූ හැම දිනුමක ම සහයෝගයක් තිබුණි. ඒ වගේ ම එතැන
ලොකු වගකීමක් තිබුණි.
බුදුරජාණන් වහන්සේ උපත අනුව කෙනෙක් ශ්‍රේෂ්ඨ නොවන බවත්, ක්‍රියාව හා චර්යාවන් මත
ශ්‍රේෂ්ඨ වන බවත් පෙන්වා දුන්නා. තවත් කෙනකුගේ වටිනාකම්වලට, අගනාකම්වලට,
වන්දනීයත්වයට, පූජනීයත්වයට කරන සැලකිලි සම්මාන අපට බැහැර කරන්න බැහැ. අපි අපේ ආගමට,
දහමට ආදරෙයි කියා කියන්නේ. අනෙක් හැම දර්ශනයකට ම, ආගමකට ම ඒ හා සමාන ලෙන්ගතුකමක්,
ආදරයක් ඇති බවය. තමන්ට ආදරය කරන හැම මනුෂ්‍යයෙක් ම අනෙක් මනුෂ්‍යයාටත් ඒ හා සමානව ම
ආදරය කරයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිහිංසාවෙන්, අව්‍යාපාදයෙන් යුතුව කටයුතු කරන්නයි.
සමාධිය උදෙසා මෙත්තාවෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් කටයුතු කළ යුතුයි. ඒ
වගේ ම මේ සමාජය වෙනුවෙන් දානය, පි‍්‍රය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවයෙන් යුක්තව ඒ
හැම කෙනකුට ම තමන්ගෙන් ඉටුවිය යුතු, තමන්ට කළ හැකි යම් හෝ සේවාවක් ඇත්නම්, ඒ සේවාව,
කාර්යය නොපිරිහෙලා ඉටු කළ යුතුයි. ඒ වෙනුවෙන් අපට අත්නොහල හැකි වගකීමක් තිබේ.
සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ද අන්‍යොන්‍ය ලෙස එකිනෙකා
වෙනුවෙන් කළයුතු යුතුකම්ය. පංචබලි සූත්‍රයේ දී දේශනා කොට වදාළේ ද යුතුකම් ය.
එකිනෙකා, එකිනෙකා වෙනුවෙන් කළ යුතු යුතුකම් මත සහයෝගය රැඳේ. ඒ සහයෝගය ඇති ව
ජීවත්වෙන්න අපට ආගම තුළින් ම ශික්ෂණයක් ලැබී තිබේ.
වණ්නුපථ ජාතකයේ දී, අපණ්ණ ජාතකයේ දී කියවෙන්නේ ද මේ සහයෝගය, වගකීම සහ වගවීමේ ශක්තිය
යි. විශේෂයෙන් ම සුනඛ ජාතකයේ දී සුනඛ නායකයාගේ ඒ අදහසට, ඒකමතිකව, සම්මුතිකව කටයුතු
කළ නිසා වෙන්න තිබුණ මහා විනාශයක් බෝසත් නායකයාට වළක්වා ගන්නට හැකියාව ලැබුණි. මේ
කරුණ සෑම තැනක දී ම එක හා සමාන ය.
අප භේද බින්න වූ හැම වස්ථාවක දී ම සහයෝගය අපෙන් ගිලිහුණි. ඒ වගේ ම වගකීම වගවීම
මොකක්ද කියා දැන ගත්තේ නැති හැම මොහොතක ම අපට සිදු වුණේ මහා අලාභයකි. මහා හානියකි.
එය නැවත, නැවත නොවෙන්නට නම් බුදුරජාණන් වහන්සේගේ අගය කළ සමගි ව, අනවශ්‍ය වාද,
විවාදවලින් තොරව කටයුතු කිරීම ඉතාම වැදගත්ය.
-
දීපා පෙරේරා |