[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගුරු දෙවිවරු පුදන ගුරුදෙව් සුව අරණ

ගුරු දෙවිවරු පුදන ගුරුදෙව් සුව අරණ

අපවත්වී වදාළ මාපලගම සිරි සෝමිස්සර නායක ස්වාමීන් වහන්සේ ජීවත්ව සිටියදී තම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය පිටිගල සෝනුත්තර හිමියන් දැනුවත් කළේ, ශ්‍රී ලංකාව තුළ හා විදෙස් හි සිට මෙරටට පැමිණ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේට භික්ෂූ විවේකාශ්‍රමයක් ඉදිකළ යුතු බවයි. ඒ අනුව එම බෝධිසත්ව අදහස ඉටුකිරීමට ගත් අප්‍රතිහත උත්සාහය සඵල වීමක් ලෙස හෝමාගම කිරිවත්තුඩුව ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය ඉදි වී තිබේ.


පිටිගල සෝනුත්තර හිමි

කොහුවල ධාතුමළු විහාරයේ දී 1976 වසරේ දී පැවිදි වූ පිටිගල සෝනුත්තර හිමියෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ගෞරව විශේෂ උපාධිය ලබා පේරාදෙණිය සඟබෝධි පිරිවෙනෙහි අචාර්යවරයෙක් ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූහ. පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහිත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සමාජවිද්‍යා අංශයේ ගුරු උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කර 2005 වසරේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූහ.

භික්ෂු රෝහල නිම කිරීමට සුදුසු මනරම් භූමියෙන් කොටසක් පූජාවක් ලෙස තිලිණ කළේ කොට්ටාව සිරි වජිරඥාණ සෙනසුනේ අනුශාසක කඩවත සමින්ද ස්වාමීන් වහන්සේ ය.

අනෙක් භූමි කොටස අතපත්තුගේ මැගිලින්නෝනා උපාසිකා මාතාව සහ දියණිය වන යකුපිටියගේ සන්ධ්‍යා කාන්තිලතා මහත්මිය හා එම මහත්මියගේ ස්වාමිපුරුෂයා වන සිසිර කුමාර කරුණාරත්න මහතා විසින් පූජා කරනු ලැබ ඇත.

ගුරුදෙව් සුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානය සඳහා දායකකාරකාදීන් සේම අමරතව විශේෂයෙන් රෝහල් උපකරණ සඳහා දකුණු කොරියාවේ තේගු නුවර ශ්‍රී ලංකාරාමාධිපති දකුණු කොරියාවේ සංඝනායක කටුවන විජිතවංශ හිමියන්ගේ අනුග්‍රහයත්, දකුණු කොරියාවේ බෞද්ධ රෝහලේ ප්‍රධානී Neunghaeng භික්ෂුණියගේ සහ තායිවානයේ කෞෂෝන් Long Fong ආරාමයේ සින්දාවෝ (Sin Daw)  භික්ෂුණියගේ දායකත්වය ලබාදීම මහත් සේ අගයකළ යුතු ය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධූරන්දර ව වැඩ සිටි, නාපාන පේමසිරි මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2016 වසරේ දී මෙම භික්ෂු අරණට මුල්ගල තැබුණි.

යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්, විශ්ව ශක්තිය ගලා ඒමට මං සලකුණු සැකසූ ඉතා මනරම් කැණිමඬලක් සහිත ව සුන්දර පරිසරයකට මුහුණලා ඉදිවුණ මෙම භික්ෂු ගිලන් මධ්‍යස්ථානයෙහි එකවර භික්ෂූන් වහන්සේ පනහකට (50) නේවාසික ව ප්‍රතිකාර ලැබිය හැකි ය.

පිටිගල සෝනුත්තර හිමියන් විසින් අවශ්‍ය සියලු පහසුකම් භික්ෂු රෝහලෙහි අන්තර්ගත කරවීමට ගත් උත්සාහය එහි නේවාසික ව ප්‍රතිකාර ගන්නා භික්ෂු හිමිවරුන්ට මහත් පහසුවකි. එසේ ම භික්ෂූන් වහන්සේගේ ඥාතීන්ට සහ එම ගම්වාසීන්ට ද ප්‍රතිකාර ගැනීමට කටයුතු සැලසුම් කරමින් පවතී.

පිටිගල සෝනුත්තර නා හිමියන්, සහ දායක සභාව විසින් මෙම රෝහලෙහි නිසි අධීක්ෂණය සිදු කරන අතර ම පරිපාලනය භික්ෂු රෝහල් කමිටුවක් විසින් සිදුකෙරේ. සුදුසුකම්ලත් වෛද්‍යවරුන් යටතේ රෝගී භික්ෂූන් වහන්සේට ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය නිදහස මෙන් ම භික්ෂූන් වහන්සේ පන්සියයකට භාවනායෝගී ව වැඩ හිඳීමට සුදුසු වපසරිය ද වේ.

පස්මහල් ගොඩනැඟිල්ලකින් සහ තුන්මහල් ගොඩනැඟිල්ලකින් යුතු මෙම රෝහලෙහි කාමර 20කි. සාමාන්‍ය වාට්ටු අංගනයකින් ද සමන්විත ය. දාන ශාලාවක්, වෛද්‍ය නිල නිවාස, හෙද නිල නිවාස, අභ්‍යන්තර කාර්ය මණ්ඩල නිල නිවාස මෙන් ම විදුලි සෝපාන පහසුකම් සහ දෛනික අවශ්‍යතා සඳහා බෙහෙත් හා ඖෂධ ශාලාවක් ද ස්ථාපිත ය.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් කායික මානසික සමතුලිතතාව ය පවත්වා ගැනීමට අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික පරිපූර්ණ සුව කිරීමේ පද්ධතියක් සහිත දේශීය ආයුර්වේද වෙදකමත්, ඖෂධ, ශල්‍යකර්ම සහ උසස් වෛද්‍ය තාක්ෂණයත් භාවිතයෙන් විශේෂිත රෝග නිර්ණය කිරීම, විකිරණ ප්‍රතිකාර සහ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සඳහා උසස් වෛද්‍ය තාක්ෂණයන් මත රඳා පවතින ප්‍රතිකාර කිරීම් කෙරෙහි අවධානය යොමු කිරීමට බටහිර වෛද්‍යක්‍රමයත් එකම රෝහලකින් ලබා ගැනීමට අන්තර්ගත කර තිබීම තවත් සුවිශේෂත්වයකි.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]