[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතය දිනන්න කාලයට වටිනාකමක් දෙන්න

ජීවිතය දිනන්න කාලයට වටිනාකමක් දෙන්න

ඉගෙනීම, රැකියාවක නිරතවීම, පවුල් ජීවිතයක් ගත කිරීම, යහපත් ආර්ථිකයක් ගොඩනඟා ගැනීම, ආගමික හා සාමාජික කටයුතු සාර්ථක ව ඉටුකර ගැනීමට ක්‍රමානුකූල සැලැස්මක් අනුව කටයුතු කළ යුතු වන්නේ ය. ළමා වියේ හෝ තරුණ වියේ දී හෝ දෛනික කාල කළමනාකරණයක් අනුගමනය කිරීමට ඔබේ අපේක්ෂා හා අරමුණු සඵල කර ගැනීමට මහෝපකාරී වන්නේ ය.

ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්විමෙන් අනතුරුව 45 වසරක් තිස්සේ උතුම් බුද්ධ කෘත්‍යය සම්පූර්ණ කළේ ද කාලය කළමනාකරණය කිරීමෙනි. කාල කළමනාකරණය පාසලක, පිරිවෙනක පන්ති කාමරයක වුවද අධ්‍යාපනික අරමුණු සාක්ෂාත් කර ගැනීමට මහෝපකාරී වෙයි.

අරුණට පළමුව.....

“සසුන් වන් කුල දරුවන් විසින් අරුණට පළමුව දැහැටි වළඳා යනාදි ලෙස සාමණේර දිනචරියාව ආරම්භයේ දී ම දක්වා ඇත්තේ සූර්යෝදයට පෙරාතුව ම දවසේ කටයුතු ආරම්භ කළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේ ද පරාර්ථ චර්යාව හෙවත් අනුන්ට පිහිට වීම සඳහා කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත් සැටි තථාගත දිනචරියාවෙන් පැහැදිලි ව දැනගත හැකි ය.

ඒ උත්තරීතර ආදර්ශය බාල, තරුණ, වැඩිහිටි කාගේත් දිවිමඟ සරසා ගන්නට නිසැකයෙන් ම හේතුවෙයි.

බුදුරජාණන් වහන්සේ දිනය කොටස් 5කට බෙදා සැලසුම් කරගත් සේක. ඒ අනුව

1. පෙර බත් කිස - පෙ.ව. 6.00 සිට ප.ව. 12.00 දක්වා

2. පසු බත් කිස - ප.ව. 12.00 සිට 6.00 දක්වා

3. පෙරයම් කිස - රාත්‍රී 6.00 සිට 10.00 දක්වා

4.මැදියම් කිස - රාත්‍රී 10.00 සිට 2.00 දක්වා

5. පැසුළුයම් කිස - රාත්‍රී 2.00 සිට අලුයම 6.00 දක්වා

තථාගත දින චරියාව සකස් වී ඇත.

පෙරබත් කිස -

භාග්‍යවතුන් වහන්සේ ඉතා උදේ නැඟිට මුහුණ සේදීම ආදිය කරන සේක. ඉන් පසු පිණ්ඩපාතයේ හැසිරිය යුතු වේලාව දක්වා විවේක සුවයෙන් කල් ගෙවති.

පෙ.ව. 10.00 ට පමණ තනි ව හෝ භික්ෂු සංඝයා පිරිවරා පිඬු සිඟා වඩිති. සාමාන්‍ය අයුරින් හෝ ප්‍රාතිහාර්ය ඇතිව වඩින බුදුරජාණන් වහන්සේට සැදැහැවත් ජනයා පූජා සත්කාර කරති. සමහර කෙනෙක් තමනට හැකි පමණින් නිවෙස්වලට වැඩමවා දන් පිරිනමති. බුදුහු භුක්තානු මෝදනා බණ දෙසති. සමහරු තිසරණයෙහි ද, පන්සිල් හි ද, සෝවාන් ආදී මාර්ග ඵලයන්හි ද පිහිටති. ඉන්පසු විහාරයට වඩිති.

පසුබත් කිස -

පස්වරු 12.00 ට පමණ මණ්ඩල මාලයේ පණවන ලද අසුනෙහි වැඩ හිඳ භික්ෂූන් දන් වළඳා එනතුරු සිටිති. ඉන්පසු ගන්ධකුටියට පිවිස එතැන පැණ වූ අසුනෙහි වැඩහිඳ භික්ෂූන් අමතා “මහණෙනි නොමුළා වූ සිහියෙන් සියලු කටයුතු සම්පාදනය කරන්න. ලෝකයෙහි බුදු උපත දුර්ලභ ය. මනුෂ්‍යත්වය ලැබීම දුර්ලභය. ක්ෂණ සම්පත්තිය (චතුරාර්ය සත්‍යය ශ්‍රවණය කිරීම) දුර්ලභ ය. මහණකම දුර්ලභ ය. බණ ඇසීම දුර්ලභය යනාදී වූ ධර්මාවවාද කරති.

දිවා විහරණය

සමහර භික්ෂූන්ට චරිත්‍රානුකූල කර්මස්ථාන දෙසති. දහම් ගැටලු විසඳති. පස්වරු 2.00 ට පමණ ගඳකිළියට වැඩම කර සයනය කරන අදහසක් ඇතිවුවහොත් දකුණැලයෙන් සැතපී මොහොතක් දිවා විහරණය කරති.

පස්වරු. 2.30ට පමණ නැඟිට ලෝකවාසී සත්වයන් දෙස නුවණින් බලා පස්වරු 4.00ට පමණ දම්සභා මණ්ඩපයට වැඩම කර රැස් වූ පිරිසට දහම් දෙසති. දෙපැයකට පසු ගඳකිළියට වඩිති.

පෙරයම් කිස -

පස්වරු 6.00 ට පමණ නාන කොටුවට වැඩමවා කුඩා කළයකින් පැන් පහසු වෙති. එනම් ස්නානය කරති. ඉන්පසු ගන්ධකුටිය ඉදිරිපස පණවන ලද බුද්ධාසනයෙහි වැඩ හිඳ මොහොතක් විවේක ගනිති. එතැනට පැමිණෙන භික්ෂූන්ගේ ප්‍රශ්න විසඳති. දහම් දෙසමින් පෙරයම් කිස නිම කරති.

මැදියම් කිස -

රාත්‍රී 10 න් පසු දෙවිවරු ද, බ්‍රහ්මයෝ ද පැමිණෙති. ඔවුහු ගොතාගෙන ආ ප්‍රශ්න විචාරති. බුදුහු ඒවා විසඳති. දහම් ද දෙසති. පැසුළුයම්කිස.

පශ්චිම යාමය කොටස් තුනක් කොට පළමුවන කොටස වූ රාත්‍රී 2 සිට 3 දක්වා ශරීර විඩාව සන්සිඳවා ගනු පිණිස සක්මනෙහි යෙදෙති. රාත්‍රී 3 සිට අලුයම 5 දක්වා ගන්ධ කුටියට වැඩමවා සිංහ සෙය්‍යාවෙන් දකුණැලයෙන් දෙපැයක් සැතපෙති. තෙවැනි කොටස වන අලුයම 5 සිට 6 දක්වා නිරෝධ සමාපත්තියට සමවැදී මොහොතකින් මහා කරුණා සමාපත්තියට සමවැදි පෙර විසූ බුදුවරුන් සමයේ පින් කළ පුද්ගලයන් බලති. අද මා පිහිට විය යුත්තේ කාට දැයි විමසා බලති. අංගුලිමාල, ආලවක ආදී පින් මේරූ අයට ද, මට්ටකුණ්ඩලී, සුනීත, රජ්ජුමාලා, පේසකාර දියණිය ආදීන්ට ද පිහිට වූයේ මේ අනුව ය.

බෝසත් දරුවනි, පින්වත් තරුණ දූ පුතුනි, බුදුරජාණන් වහන්සේගේ දින චරියාව අනුගමනය කරමින් කාල සටහනක් අනුව ආත්මාර්ථ පරාර්ථ සාධනය කර ගනිමින් දිවිමඟ සරසා ගන්නට උත්සාහ කරන්න.

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]