විනය ශාසනයේ ආයුෂය යි
ශාස්ත්‍රපති
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි
මර්ධනය හා දමනය යන වචන ද්වය ව්‍යවහාරයේ නිති භාවිත වේ. මින් මර්දනය යනු ස්වයං
පාලනයකින් තොර ව අන්‍යයකුගේ හෝ බොහෝ පිරිසකගේ ඕනෑ එපාකම් අනුව මෙහෙයවීමකි. දමනය නම්
තමන් විසින් ම අවබෝධයෙන් යුතු ව පාලනය වීමයි.
බුදු දහම මර්ධනයට වඩා දමනය අගය කරයි. ආලවක දමනය, අංගුලිමාල දමනය, සච්චක දමනය, හා
නාලාගිරි දමනය මීට නිදසුන් කොට දැක්විය හැකි ය. මර්දනය වනාහී දණ්ඩනය, තර්ජනය,
බියගැන්වීම, ආක්‍රොෂ පරිභවය හෝ ආහාරපාන නොදීම වැනි ක්‍රියා මත සිදු කෙරෙන්නෙකි.
එහෙත් දමනය, අවබෝධ කර දීම, ආදරය, කරුණාව, මෛත්‍රිය, පරිත්‍යාගය හා පෝෂණය මත සිදු
කෙරේ.
බුද්ධ දේශනාවෙහි විනය හා ශික්‍ෂා දමනයට උපයුක්ත කර ගනී. “විනයෝ නාම සාසනස්ස ආයු”
විනය ශාසනයේ ආයුෂයි. වැනි අදහස් සමාජගත වීමෙන් යම් සංස්ථාවක විනයට ඇති ස්ථානය
පිළිබිඹු කරයි. එහෙත් විනය පිණිස නීතිය උපකාරී කර ගනී. නීතිය ක්‍රියාත්මක කිරීමට
විටෙක දණ්ඩනය හෝ වෙනත් මර්ධන ක්‍රියා භාවිත වන බව සමාජය දෙස බැලීමේ දී පෙනේ.
බුදුසසුනට අනුව සංඝ සමාජය පාලනය කිරීමට විනය නීති පනවා තිබුණද ඒවා දණ්ඩනයෙන් තොර
හෙවත් හිංසනයෙන් තොර ශික්ෂා මාර්ගයකි. බුදුදහමේ ත්‍රිවිධ ශික්‍ෂාවකි. එනම්, සීල,
සමාධි, ප්‍රඥා නම් වේ. බුදුන් වහන්සේ වදාළ නිවන් මඟ මෙම ත්‍රිවිධ ශික්‍ෂා හොබවයි.
එහිදී ප්‍රඥාවට මුල් තැන ලැබෙයි. එයට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ඇතුළත් ය.
ප්‍රඥාවන්තයා සීලයෙන් යුක්ත වූවෙක් වේ. සීලය නම් කය වචන දෙකේ හීලෑකමයි. සම්මාවාචා,
සම්මා කම්මන්ත, සම්මා ආජීව ඒ හීලෑකම වඩන මාර්ගයයි.
සමාධිය, අසිත කාල දේවල, උද්ධකරාමපුත්ත, ආලාර කාලාම වැනි තවුසෝ බුදුන් වහන්සේට පෙර
වැඩූ ශික්ෂණ මාර්ගයකි. පංච මධ්‍යාන, සප්ත සමාපත්ති, අට්ඨ සමාපත්ති ඉන් උපදවා ගනු
ලබන ඵලයෝ වෙති. ඒ පිණිස සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ශික්ෂා වැඩිය යුතු
ය.
මේ උතුම් දහම පිළිපදිනු ලබන බෞද්ධයෝ විනයගරුක ශික්ෂාකාමී පිරිසක් වන්නේ පූර්වෝක්ත
ශික්‍ෂණය තුළිනි. ඒ සඳහා නිති පන්සිල්, පොහොය අටසිල්, උපෝසථ දසසිල්, සාමණේර සිල් හා
උපසම්පදා සීල රකින බුද්ධ ශ්‍රාවකයෝ සිව් පිරිසකි. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක,
උපාසිකා යන පිරිසයි.
වත්මන මේ සිව් පිරිස ම අඩු වැඩි වශයෙන් පිරිහෙමින් පවතින බවක් දක්නට ලැබෙයි. පැවිදි
පාර්ශ්වය ද අවිනේය, අධාර්මික, අස්සීල, අසාධු කොටසක් වෙමින් පවතී. පැවිද්දා දෛනික ව
පිරිය යුතු වත් පිළිවෙත් නොපුරයි. ඇවත් දෙසා නොගනී. පොහොය ගේ පාළු ය. පොහෝ පෞරුණු
නොකරයි. කළත්, ඒ සීමිත පිරිසකි. පැවිද්දා තුළ ශීල ගුණධර්ම බලනවාට වඩා සමාජය
පැවිද්දාගේ වත් පොහොසත්කම, නිලතල, දේශපාලන ශක්තිය සොයා කරන ගරු කිරීම අවිනේය
පිරිසක් බිහිවීමට පාදක වී ඇත. මෙය ශාසන විලෝමයට හේතු යුක්ත ය.
සසුනේ පිරිහීම දුරලන්නට නම්, නැවතත් වුඩ්ඩපචායනය හෙවත් උපසම්පන්න බවින් වැඩිමහල්ලාට
ගරුසරු දැක්වීම ඇරඹිය යුතු ය. දැන් වන්නේ මූලස්ථාන, විද්‍යස්ථාන කියා හෝ ධනපති
වෙහෙර අධිපති හෝ දේශපාලන ගැති හිමිවරු ලාබාල වුව ද වැඩිහිටි භික්ෂුහු ගරු කිරීමට
පෙළඹෙති. කොසොල් මහා රජු දුටු සොළොස් මහ සිහිනවල මේ බව මැනවින් දැක්වේ.
උපාසක උපාසිකා වන බෞද්ධ ගිහි සමාජය පංචශීලයෙන් තොර ය. ජීවන රටාව තුළ පන්සිල්
නොරැකිය හැකි බව ඔවුහු තර්ක කරති. බුදුන් වහන්සේ නොකළ යුතු යැයි දෙසූ වස විස
වෙළඳාම, සත්ව මාංශ වෙළඳාම, විදේශයට බැල මෙහෙරවරට කතුන් යවන වහල් වෙළඳාම, සුරාව,
සූදුව, ගණිකා වෘත්තිය සමාජයේ ප්‍රබලම ධනෝපායන මාර්ග කොට ගිහියෝ වැජඹෙති. ඡන්දය,
ද්වේශය, භය හා මෝහය යන සතර අගතිය ම සෑම සමාජ කණ්ඩායමක ම පදනම කොට පවතී. ප්‍රාණඝාතය,
අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාව යන සතර කර්මක් ක්ලේශ, ඉහළ පටන් පහළ දක්වා ම
භාවිත දහම් කොට ගෙන ඇත.
එහෙත්, එය අදහමයි. මින් පෙනී යන්නේ තෙවරක් බුදුන් වැඩි රට, මිහිඳු හිමි ධර්මය
ස්ථාවර කළ රට නැවතත් ක්‍රිස්තු පූර්ව හයවැනි සියවසටත් වඩා දුක්ඛිත තැනක පවතින බවයි.
හය හතර තේරෙන දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා ම අසංවර ය. කිපෙන සුළු ය. ඉවසුම්
නොමැත්තෝ ය. දරුවෝ මව ද පියා ද නොහඳුනති. මව්පියෝ ද දරුවන් නොහඳුනති. හේතුව අවිනය
බවයි.
මේ උතුම් වෙසක් දා අපගේ පරම පැතුම වන්නේ නැවතත් බුදුහිමියනි මේ දේශයට වඩිනු මැනවී
යන්නයි. “කාලෝ අයංතේ” මේ එයට සුදුසුම කාලයයි.
නැතහොත්, “අප අසරණ වුණා වගේ සිතට දැනෙනවා
බුදු හාමුදුරුවනේ”. |