[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියලු බුදුවරුන් වහන්සේගේ නිජබිම ජම්බුද්වීපය යි

සියලු බුදුවරුන් වහන්සේගේ නිජබිම ජම්බුද්වීපය යි

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස් පෙරුම්දම් සපුරා අපරිමිත පුණ්‍යානුභාවයෙන් යුතු ව, දෙතිස්මහා පුරිස ලකුණින් සමලංකෘත පින් සිරුරක් දරා, සිද්ධාර්ථ ගෞතමයාණෝ ලුම්බිණි සල් වනයේ දී පියුම් මතින් වැඩ, සිහනද පතුරවමින් මෙලොව උපත ලද සේක.

බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී දස බිම්බර මරසෙන් පරදවා සව් කෙලෙසුන් නසා දසබල ඤාාණ, සිව් විසාරද ඤාාණ, නව අරහාදී සම්බුදු ගුණ සමුදායෙන් සමලංකෘත අනන්ත බුද්ධානුභාවයෙන් යුතු ව ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ සේක. බරණැස ඉසිපතන මිගදායේ දී නිකෙලෙස් සම්බුදු හදමඬලින් පැන නැංගා වූ අසිරිමත් සිරි සදහම්, දෙව් මිනිස් ලෝකයාට දායාද කරමින් දහම් සක ප්‍රවර්තනය කළ සේක. සදහම් අමා වැස්සෙන් අපමණ සත්වයන්ගේ සිත් සතන් නිවා සනසා සම්බුදු කිස නිමවා කුසිනාරානුවර මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සාල වන උද්‍යානයේ දී අනුපාදිසේස පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක.

සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ ඒ උත්තම පුණ්‍ය භූමීන් වැඳ පුදාගෙන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පහන් සංවේග උපදවාගත යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“ආනන්දයෙනි, සැදැහැවත් කුලපුත්‍රයකු විසින්, දැකිය යුතු, සංවේගයට පත් විය යුතු සතර ස්ථානයන් ඇත්තේ ය.

‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක’

‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද සේක.

‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑ සේක.’ ආනන්දයෙනි, සැදැහැවත් භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ, ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළ සේක.’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ විසින් අනුත්තර වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන ලද්දේ ය’ කියාත්, ‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑ සේක’ කියාත් පැමිණෙන්නාහු ය.

මේ සියලු අසිරිමත් සංසිද්ධීන් සිදුවූයේ ජම්බුදීප නම් වූ ඉන්දියාවේ ය.

එනමුත් වර්තමානයේ දී ඉතිහාසයේ කිසි දිනෙක නො වූ විරූ අයුරින් විකෘති අර්ථකථන දෙමින් සම්බුද්ධ භූමිය වූ දඹදිව් තලයට ගරහමින්, සැදැහැති බොදුනුවන් නො මඟ යවමින් බොහෝ අකුසල් රැස් කර ගන්නා පිරිසක් බෞද්ධ නාමයෙන් ම බිහි ව සිටීම මහත් අභාග්‍යයකි. මේ වනාහි “පින්වත් කස්සප, මාගේ බුදු සසුන විනාශ කරන අය බිහිවන්නේ භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකා යන සිව්වණක් පිරිස තුළින් ම යි” යන සම්බුදු වදන්වල සත්‍යතාව තහවුරු වීමයි.

ජම්බුදීප යන පාලි වචනය විකෘති කොට, බුදුන් උපන් දීපය යනුවෙන් අර්ථය ද විපරීත කොට, බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ යැයි කියමින් සිදුකරන ශාසන විලෝපයට සැදැහැති බුද්ධිමත් ජනතාව කිසිසේත් මුළා නො විය යුතු ය. ජම්බුදීපය යනු දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ උපන්, වැඩ සිටි, පිරිනිවන් පා වදාළ දඹදිව් තලය යි. සියලු බුදුවරු, පසේබුදුවරු, අසූමහරහත්හු, සක්විති රජවරු පහළ වන උත්තම දේශය යි.

භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයත්, පනවා වදාළ උතුම් විනය ප්‍රඥප්තීනුත් ඇසුරු කර ගෙන අපි නිවැරැදි නිගමනයන්ට එළැඹීම ඉතා වැදගත් ය.

“මාගේ ශ්‍රාවකයින් ධර්මධර, විනයධර, ව්‍යක්ත, ප්‍රතිබල, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිසක් වී, උපදින්නා වූ අශාසනික වැරැදි මතවාද, ධර්ම විනය ඉස්මතු කොට මැඩ පැවැත්විය යුතුයි.” යන ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව සිදු කළා වන්නේ ද එවිට ය.

තිසරණ සරණ ගිය සැදැහැති බොදුනුවන් අනාදිමත් කාලයක සිට දැන සිටියේ බුදුන් උපන් දේශය, ජම්බුදීපය හෙවත් දඹදිව ලෙසයි. සෑම ශ්‍රී මුඛ බුද්ධ දේශනාවකදීමත්, විනය පිටකයේත් සඳහන් වන්නේ ජම්බුදීප හෙවත් දඹදිව ලෙසයි.

ලංකාධරණි තලයට සම්බුද්ධ සන්දේශය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ද දේවානම්පියතිස්ස නිරිඳුන්ට වදාළේ මෙලෙස යි.

සමණා මයං මහාරාජ - ධම්මරාජස්ස සාවකා
තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා

“මහරජ, ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වූ අපි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ම දඹදිව සිට මෙහි පැමිණියෙමු.” කියා ය.

තව ද භාග්‍යවතුන් වහන්සේ අසිරිමත් ලෙස ඍද්ධි ප්‍රාතිහාර්ය පාමින් උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප නම් තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් ජටිලයන් දමනය කළ ආකාරය ගැන සුන්දර විස්තරයක් මහාවග්ග පාලි නම් උතුම් විනය ග්‍රන්ථයේ ඇතුළත් වේ. එහිදී ජම්බුදීපය හෙවත් දඹදිව කියා හඳුන්වන්නේ කුමන අර්ථයෙන් දැයි කියා ඉතා පැහැදිලි ව මෙසේ සඳහන් වේ.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ “කාශ්‍යප යන්න, මම පසුව එමි.” කියා උරුවේල කාශ්‍යප ජටිලයා පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද, ඒ දඹගසින් දඹ ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩහුන් සේක. උරුවෙල කාශ්‍යප ඒ ගැන විමසූ විට භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ සේක. “කාශ්‍යප, මම ඔබ මුලින් පිටත් කොට, දඹදිව යම් දඹ ගසකින් ප්‍රසිද්ධ වේ ද ඒ ගසින් ගෙඩියක් ගෙන පළමු කොට පැමිණ ගිනිහල්ගෙයි වැඩ උන්නෙමි. කාශ්‍යපය, මේ දඹ ගෙඩිය පැහැයෙන් පිරිපුන් ය. සුවඳීන් පිරිපුන් ය. රසයෙන් පිරිපුන් ය. ඉතින් කැමැති නම් අනුභව කරන්න” යැයි වදාළ සේක.’

බුදුරජාණන් වහන්සේ සිය සම්බුදු දිවිය තුළ දී නිබඳ ව සැරිසැරූ දඹදිව මධ්‍ය මණ්ඩලයේ සීමාවන් පවා, භාග්‍යවතුන් වහන්සේ විසින් ම මෙසේ පෙන්වා දී තිබේ.

“මහ බෝමැඩට පෙරදිගින් කජංගල නම් නියම්ගම ය. ඉන් පිටත මහා ශාලයෝ ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. පූර්ව දක්ෂිණ දිශාවෙන් හෙවත් ගිණිකොණින් සලලවතී නම් ගංගාව ය.

ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි. දකුණු දිගින් ශ්වේත කර්ණිකා නම් නියම් ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. බස්නාහිරින් ථූණ නම් බමුණු ගම ය. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මෙහා මධ්‍ය දේශය යි. උතුරු දිගින් උසීරධ්වජ නම් පර්වතය යි. ඉන් ඔබ්බෙහි ප්‍රත්‍යන්ත ජනපදයෝ ය. ඉන් මොබ මධ්‍ය දේශය යි.” එමෙන් ම දඹදිව් තල භූමියේ භෞතික හැඩය පවා ඉතා පැහැදිලි ව සූත්‍ර දේශනා තුළ මෙසේ සඳහන් වේ.

“උතුරින් දික්ව ද, දකුණින් ගැල්මුවක් සේ ද පිහිටියේ ය. (උත්තරේන ආයතං දක්ඛිණේන සකටමුඛං) (මහා ගෝවින්ද සූත්‍රය - දී. නි. 2) එනමුත් ලංකාදීපයේ පිහිටීම ඊට හාත්පසින් ම වෙනස් ආකාරයට දකුණින් දික්ව ද, උතුරින්

කුඩාවට ද පිහිටා ඇත. මේ අනුව දඹදිව යනු වර්තමාන ඉන්දියාව මූලික කර ගත් ඒ ආශ්‍රිත භූමි භාගය බව සම්බුද්ධ දේශනා තුළින් ම මනාව පැහැදිලි වේ.

එනිසා තෙරුවන් සරණ ගිය සැබෑ ගිහි පැවිදි ශ්‍රාවකයන් වශයෙන් අපි මිථ්‍යා ප්‍රබන්ධයන්ට මුළා නො වී, සම්බුදු පහස ලද සැබෑ පුණ්‍යභූමීන් පිහිටා ඇත්තේ දඹදිව හෙවත් වර්තමාන ඉන්දියාව ප්‍රමුඛ ආශ්‍රිත භූමියේ බව මැනවින් වටහා ගනිමු. භාග්‍යවතුන් වහන්සේ වදාළ අයුරින් එම උතුම් බුද්ධභූමි සැදැහැයෙන් වන්දනා කොට මහත්ඵල පුණ්‍ය ධර්මයන් රැස් කර ගනිමු.

දුර්ලභ ක්ෂණ සම්පත්තිය තුළ මනා කොට තිසරණය රැක ගෙන සේඛබල දියුණු කර ගනිමු. ඒ පිණිස ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑමට පෙරාතුව සතරමහාපදේශයන්හි වදාළ මෙම සම්බුද්ධ අවවාදයත් සිහි කරමු.

“මහණෙනි, භික්ෂුවක් මෙසේ කියයි. ‘ධර්මය යනු මෙය යි. විනය යනු මෙය යි. ශාස්තෘ ශාසනය යනු මෙය යි’ කියා ය. මහණෙනි, ඒ භික්ෂුවගේ කියමන සතුටින් නො පිළිගත යුත්තේ ය. ප්‍රතික්ෂේප ද නො කළ යුත්තේ ය. සතුටින් නො පිළිගෙන, ප්‍රතික්ෂේප නො කොට ඒ පද

ප්‍රකාශනයන් සූත්‍රයෙහි බහා බැලිය යුත්තේ ය. විනයෙහි ලා සැසඳීය යුත්තේ ය. ඉදින් ඒ භික්ෂුව ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි බහා බලද්දී, විනයෙහි ලා සසඳද්දී සූත්‍රයෙහි නො බැස ගනියි නම්, විනයෙහි නො සැසඳෙයි නම් ඒ පිළිබඳ නිෂ්ඨාවකට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයක් නො වේ. මේ භික්ෂුව වැරැදි ලෙස ගන්නා ලද දෙයකි’ යි මහණෙනි, මෙසේ මෙය බැහැර කර දමව්.

ඉදින් භික්ෂුවක් ධර්මය විනය ලෙස පවසන දෙය සූත්‍රයෙහි ලා බහා බලද්දී, විනයෙහි ලා සසඳද්දී, සූත්‍රයෙහි බැසගනියි නම් විනයෙහි සැසඳෙයි නම්, එහිලා නිෂ්ඨාවට පැමිණිය යුත්තේ ය. ‘ඒකාන්තයෙන් ම මෙය ඒ භාග්‍යවතුන් වහන්සේගේ වචනයකි. මේ භික්ෂුව විසින් මැනවින් ගන්නා ලද්දකි.’ යි මහණෙනි, මේ පළමු මහාපදේශය මතකයෙහි රඳවා ගනිව්.”

(මහාපරිනිබ්බාන සූත්‍රය - දී. නි. 2)

වෙසක් පුර පසළොස්වක

මැයි 22 බදාදා අ.භා. 06.46
පුර පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07.20 ගෙවේ. 23 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]