දහම් පාසල් අවසාන විභාගයට අත්වැලක්: බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය - 02 කොටස

දහම් පාසල් අවසාන විභාගයට අත්වැලක්:

බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය - 02 කොටස

2549- දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2006 (2007)

I කොටස

1. (අ) බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වන චෛතසිකය නම් කරන්න.

(ආ) එම චෛතසිකය ප්‍රධාන ව කරන ක්‍රියා ගැන සඳහන් වන ප්‍රකට පාලි පාඨය ලියන්න.

(ඉ) පුද්ගලයා හා සමාජය කේන්ද්‍රකොට ගෙන හොඳ – නරක තීරණය කර ගැනීමට එම චෛතසිකය මිනුම් දණ්ඩක් වන අයුරු දක්වන්න.

(ඊ) සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට බෞද්ධ කර්ම සංකල්පය උපයෝගී කර ගත හැකි ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.

2 (අ) සතර මාර්ග ඥාන නම් කරන්න.

(ආ) එම මාර්ග ඥානයන්ගෙන් ප්‍රහීණ වන සංයෝජන ධර්ම වෙන් වශයෙන් දක්වන්න.

(ඉ) දෙවැදෑරුම් පරිනිර්වාණ අවස්ථා දක්වා ඒවායේ වෙනස පහදන්න.

(ඊ) නිර්වාණය අවබෝධ කළ රහතන් වහන්සේ ගැන හැඳින්වීමක් කරන්න.

3. (අ) ආර්ය සත්‍ය හතර නම් කරන්න.

(ආ) විපරිණාම දුක්ඛ යනු කුමක්දැයි දක්වන්න.

(ඉ) තණ්හාව නිසා මිනිසා කුසලයට මෙන් ම අකුසලයට ද නැඹුරු වන අයුරු පෙන්වා දෙන්න.

(ඊ) ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව ලෙස දක්වා ඇත්තේ කවර හේතු නිසා දැයි පහදා සම්මා කම්මන්ත , සම්මා ආජීව යන මාර්ගාංග දෙක හඳුන්වන්න.

4. (අ) හේතු ප්‍රත්‍යය ධර්ම මාලාවේ ප්‍රධාන අංග දොළහ නම් කරන්න.

(ආ) එම ප්‍රත්‍යය ධර්ම මාලාව කාලත්‍රයට බෙදා දක්වන්න.

(ඉ) පටිච්ච සමුප්පාද න්‍යාය විස්තර කරන මූල සූත්‍රය ලියා, අධිච්ච සමුප්පන්න වාදය යනු කුමක්දැයි පැහැදිලි කරන්න.

(ඊ) “බුදුදහමෙහි අරමුණ වන්නේ ගැටලුවක් විවරණය කිරීම පමණක් නොව විසඳුමක් ද ඉදිරිපත් කිරීමයි.” හේතු - ඵල දහම ඇසුරෙන් මෙය පැහැදිලි කරන්න.

II කොටස

5. (අ) පරමාර්ථ ධර්ම හතර නම් කරන්න.

(ආ) ඒවායින් දෙකක් හඳුන්වන්න.

(ඉ) කවර සිත් විශේෂයක් ක්‍රියා සිත් වශයෙන් නම් කර ඇත්තේ දැයි ලියා, එම සිත් පහළ වන්නේ කාහට ද යන බව දක්වන්න.

(ඊ) අරූපාවචර සිත් හතර නම් වශයෙන් ලියා එය දොළොස් වැදෑරුම් වන්නේ කවර භේදයකින් දැයි දක්වන්න.

6. (අ) භාවනා ප්‍රභේද දෙක නම් කරන්න.

(ආ) එම ප්‍රභේද හඳුන්වන්න.

(ඉ) ආනාපාන සති භාවනාව කමටහනක් වන්නේ කවර කාරණයක් නිසා දැයි දක්වා කර්මස්ථාන හතළිහ වර්ග වශයෙන් දක්වන්න.

(ඉ) එදිනෙදා ජීවිතයට භාවනාව වැදගත් වන අයුරු පෙන්වා දෙන්න.

III කොටස

7. පහත සඳහන් ගාථා සිංහලට නඟන්න.

යං යං ජනපදං යාති - නිගමෙ රාජධානියො
සබ්බත්ථ පූජිතො හොති - යො මිත්තානං න දූභතී

අක්කුද්ධෝ සඝරං එතී - සහාය පටිනන්දිතො
ඤාතීනං උත්තමො හොති - යො මිත්තානං න දූභතී
සක්කත්වා සක්කතො හොති - ගරු හොති සගාරවො
වණ්ණකිත්ති භතො හොති - යො මිත්තානං න දූභතී

පූජකො ලභතෙ පූජං - වන්දකො පටිවන්දනං
යසො කිත්තිඤ්ච පප්පොති - යො මිත්තානං න දූභති

අග්ගි යථා පජ්ජලතී - දේවතාව විරොචතී
සිරියා අජහිතො හොති - යො මිත්තානං න දූභතී

8. පහත දැක්වෙන පාලි පාඨය සිංහලට නඟන්න.

එවං මේ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, තත්‍ර ඛො භගවා භික්කු ආමන්තෙසි, “භික්ඛවො” ති. “භදන්තෙ” ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොං භගවා එතදවෝච.

මෙත්තාය භික්ඛවෙ චෙතො විමුත්තියා ආසෙවිතාය, භාවිතාය, බහුලීකතාය, යානීකතාය , වත්ථුකතාය, අනුට්ඨිතාය, පරිචීතාය, සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පාටිකංඛා, කතමෙ එකා දස?

සුඛං සුපති, සුඛං පටිබුඣතී, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියොහොතී, අමනුස්සානං පියො හොති,

දෙවතා රක්ඛන්ති, නාස්ස අග්ගි වා විසං වා සත්ථාංවා කමති, තුවටං

චිත්තං සමාධියති, මුඛවණ්ණෝ විප්පසීදතී, අසම්මුළ්හෝ කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තො බ්‍රහ්මලෝකුපගො හොති.

*****

පිළිතුරු

I කොටස

01 අ) චේතනා චෛතසිකය

ආ) “චේතනා හං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා”

ඉ) යම් කිසිවක් කිරීමට හෝ කීමට හෝ සිතීමට මුල් වන සිතිවිල්ල තමාගේ යහපත පිණිස හේතු වෙයි නම්, එසේ ම අනුන්ගේ යහපත පිණිසත් හේතු වේ නම් හොඳ ක්‍රියාවකි. කුසල කර්මයකි. එයට පටහැනි වනුයේ නරක ක්‍රියා හෙවත් අකුසල කර්මයයි. පුද්ගලයා හා සමාජය කේන්ද්‍ර කොට ගෙන හොඳ නරක තීරණය කර ගනු ලැබේ.

ඊ) බුදු දහමේ කර්ම සංකල්පයට අනුව කුසල කර්මවල සැප විපාකත්, අකුසල කර්මවල අකුසල විපාකයත් විඳීමට සිදුවේ. රහතන් වහන්සේට අතීත කර්මවල විපාක අවසන් ආත්ම භවයේ පවා විඳීමට සිදු වූ බව හෙළිවේ. පවෙන් හා අකුසල කර්මවලින් ඈත්ව පුද්ගලයා සදාචාරයකට යොමු කරලීමට මෙම අකුසල, කුසලයන් ගේ විපාක ලැබීම පිළිබඳ අවධානය වැදගත් වේ. සියලු කෙලෙසුන් නැසු රහතන් වහන්සේ, පසේ බුදුන් වහන්සේ, ලොව්තුරා බුදුන් වහන්සේට පවා අතීත කර්මවල විපාක අවසන් ආත්ම භවයේ පවා විඳීමට සිදු වූ බව හෙළි වේ.

පවෙන් හා අකුසල කර්මවලින් ඈත්ව පුද්ගලයා සදාචාරයට යොමු කරලීමට මෙම කුසලාකුසලයන්ගේ විපාක ලැබීම පිළිබඳ ව අවධානය වැදගත් වේ.

02)

අ) සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත්

ආ) සෝතාපත්ති - සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස

සකෘදාගාමී – කාමරාග , ව්‍යාපාද

අනාගාමී – ඕරම්භාගිය සංයෝජන

අරහත් – උද්ධම්භාගිය සංයෝජන

ඉ) ජීවත් ව සිටිය දී හෙවත් පඤ්ච ස්කන්ධයන් නිරුපද්‍රිත ව පවතිද්දී ක්ලේශ ප්‍රහාණය සිදුවන අවස්ථාව සෝපාදිසේස පරිනිර්වාණයයි. ස්කන්ධයන් නැවත ඇති නොවන අයුරින් විනාශ වීම හෙවත් කලුරිය කිරීම නිරුපාදිසේස (අනුපාදිසේස) පරිනිර්වාණය වේ.

ඊ) රූප රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන බැමි සිඳ දැමීමෙන් හෙතෙම සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන ලද්දකු බවට පත්වේ. ඒ සමඟ ම තමන් පෙර විසූ ආත්මභාවයන් පිළිබඳ දැනීම ද, දිවැස් ලැබීම ද, තමන් විසින් සියලු කෙලෙස් නැති කරන ලද බව දන්නා ආසවක්ඛය ඤාණය ද යන ත්‍රිවිද්‍යා පහළ විය යුතු ය. එවන් තැනැත්තා නිවන ප්‍රත්‍යක්ෂ කර ගත් රහතන් වහන්සේ ලෙස හැඳින්වේ.

03)

අ) දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය

ආ) විපරිණාම දුක්ඛ යන වෙනස්වීමට පත් වීමයි. සියලු දෙයක් ම වෙනස්වීමට ලක්වීම විපරිණාම දුක්ඛයයි.

ඉ) “ලෝකය දුක මත පිහිටියේ ය. යන්න වෙනස් අයුරකින් කිවහොත් ලොව පිහිටා ඇත්තේ තෘෂ්ණාව මත ය.

ආත්මාර්ථකාමීත්වය, මමත්වය, අස්මිමානය යනාදී නම්වලින් කෙරෙනුයේ ද තෘෂ්ණාවෙහි ම විවිධ අංශයන් හඳුන්වා දීමකි. මිනිසා අකුසලයට මෙන් ම කුසලයට ද නැඹුරු වන්නේ තෘෂ්ණාව නිසා ය. ඒ අනුව දුකෙහි හෙවත් සංසාරික ජීවිතයෙහි හේතුව තෘෂ්ණාව බව වටහා ගැනීම දුෂ්කර නොවේ.

ඊ) කෙලෙස් දාහය සංසිඳුවන, විශිෂ්ට ඥානය පිණිස, පූර්ණ අවබෝධය පිණිස, නිවන් පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය හේතු වේ. සම්මා කම්මන්ත යන්නෙහි දී යහපත් කටයුතු සිදුකිරීම හඳුන්වයි. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම යන ඒවායෙන් වැළකීම හඳුන්වයි.

සම්මා ආජීව යනු යහපත් දිවි පැවැත්මයි. එහිදී නොකළයුතු වෙළෙඳාම්වලින් ඉවත්වීම අදහස් කරයි. මස් වෙළෙඳාම, සත්ත්ව වෙළෙඳාම, ආයුධ වෙළෙඳාම, මත්පැන් වෙළෙඳාම, විෂ වෙළෙඳාම යන වෙළෙඳාම්වලින් වැළකීම අදහස් කරයි.

04. අ)1. අවිජ්ජා 2. සංඛාර 3. විඤ්ඤාණ 4. නාමරූප 5. සළායතන 6.ඵස්ස 7.වේදනා 8. තණ්හා 9. උපාදාන 10. භව 11. ජාති 12. ජරා - මරණ

ආ) අවිද්‍යාව නිසා සංස්කාර හට ගනී. විඥානය මවු කුසට බැස ගන්නේ ඒ සංස්කාරයන් නිසා ය. විඥානය නිසා නාමරූප ඇති වේ. නාමරූපයන් හේතුකොට ගෙන චක්ඛූ, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන ආයතන සය හට ගනී. ස්පර්ශය ඇති වන්නේ එකී ආයතන මඟිනි.

ස්පර්ශය නිසා වේදනාව ඇති වේ. තණ්හාව හට ගන්නේ වේදනා මුල් කොට ගෙන ය. ඒ තණ්හාව නිසා කාමාදී අරමුණූ හාත්පසින් අල්ලා ගනු ලැබේ. උපාදාන යනුවෙන් හැඳින්වෙන්නේ ඒ අල්ලා ගැනීමයි. භවය ඇති වන්නේ එහෙයිනි. භවය නිසා ජාති (හට ගැනීම) ද ජාතිය නිසා ජරා මරණ ආදිය ද හට ගනී.

අවිජ්ජා,
සංඛාර - අතීත

ජාති
මරණ
විඤ්ඤාණ - අනාගත

නාමරූප
සළායතන
ථපෝස
වේදනා
තණ්හා
උපාදාන
භාව - වර්තමාන

ඉ) දීඝ නිකායේ මහා නිදාන සූත්‍රය

අධිච්ච සමුප්පාදන්න වාදය යනු සත්ත්වයා උපදින්නේ හෝ මැරෙන්නේ කිසිදු හේතුවක් නිසා නොව අහම්බෙන් ය යන බව ඇතමෙකුගේ ප්‍රකාශයයි.

ඊ) බුදු දහමෙහි දී ගැටලුවකට විසඳුම ද වෙයි. තනි දෙයක පැවැත්මක් නැත. බීජය නැති නම් ඵලයක් ද ඇති නොවේ. යනුවෙන් එහි දැක්වේ.

II කොටස

05. අ) චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ යනු සතර පරමාර්ථ ධර්ම වේ.

ආ) චිත්ත පරමාර්ථ යැයි කියනු ලබන්නේ සත්ත්වයාගේ සිතටයි. එය අරමුණු දැනීමේ ශක්තියට ව්‍යවහාර කරන නමකි. රූප දැකීම, ශබ්ද ඇසීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශය දැනීම හා වෙනත් නානා දෑ සිතීම යනාදී දැනීම් සියල්ල ඇති වන්නේ චිත්ත පරමාර්ථ ශක්තියෙනි.

කෙටියෙන් පවසතොත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන යන සය වැදෑරුම් ඉන්ද්‍රියන්ට අරමුණු පහළ වන්නේ චිත්ත පරමාර්ථය තුළිනි. චිත්ත, සචේතනික වස්තූන් හෙවත් සත්ත්වයන් තුළ පවතී. අචේතනික වස්තූන් තුළ නොපවතී. එබැවින් ඒ නිසා සත්ත්වයන් කෙරෙහි ම පවතී.

එක් සත්ත්වයන් කෙරෙහි ඇත්තේ එක් සිතක් නොව සිත් පරම්පරාවකි. ඒවා වේගයෙන් ඉපිද නැති වන ස්වභාවයෙන් යුක්ත වන අතර අතොරක් නැතිව සිත් හටගනී. එක් සිතක හට ගන්නේ එක් අරමුණකි. දෙකක් එකවර හට නොගනී. සිතක් හටගන්නා කරුණු අතර පළමු ව පැවත එන සිත් පරම්පරාවක් තිබිය යුතු ය. දෙවැනි ව සිත හට ගැනීමට අරමුණූ හමුවිය යුතු ය. චිත්ත ධර්මයේ චුති, ප්‍රතිසන්ධි, භවාංග යනුවෙන් ත්‍රිවිධාකාර චිත්ත පරමාර්ථ නමින් දැක්වෙන මේ සිත කෙටි සිත් 89ක් ද විස්තර වශයෙන් සිත් 121ක් ද වේ.

චෛතසික සතර පරාමර්ථයන්ගෙන් දෙවැන්න වේ. සිතක් උපදින විටදී චෛතසිකයක් නැති වන සිත පමණක් නූපදී. චෛතසිකයන්ට ද සිතක් නොමැති ව ඉපදීමට නොහැකි ය. සිතින් කරනු ලබන යම් කාර්යයන් වේ නම්, චෛතසිකයන්ගේ ශක්තියෙන් ම කළ යුතු වේ. චෛතසික බලවත් වූ සිත ද බලවත් වේ. දුර්වල චෛතසික සහිත සිත් දුර්වල වේ. සිතක් සමඟ ම සිතට ම ඇතුළත් ව පවතින චෛතසික ධර්මයෝ පනස් දෙකකි. (52) චිත්ත චෛතසික දෙදෙනාගෙන් සිත ප්‍රධාන ය. චෛතසිකයෙන් අප්‍රධාන ය. අඤ්ඤාසමාන චෛතසික 13කි. අකුසල චෛතසික 14කි. ශෝභන චෛතසික 25කි. මෙසේ චෛතසික පනස් දෙකක් ලෙස සඳහන් වේ.

ඉ) කුසල් ද නොවූ, අකුසල් ද නොවූ, විපාක ද නොවූ සිත් ක්‍රියා සිත් නම් වේ. මේ සිත්වල විපාක ශක්තියක් නැත. එය ක්‍රියා මාත්‍රයක් පමණි. වැඩි වශයෙන් ක්‍රියා සිත් පහළ වන්නේ රහතන් වහන්සේට ය. කෙලෙස් නැසූ හෙයින් අකුසල් සිත් හටගන්නේ නැත. මතු භවයක් නැති හෙයින් කුසල් සිත් හට නොගනී.

ඊ) 1. ආකාසානඤ්චායතන

2. විඤ්ඤාණඤ්චායතන

3. ආකිඤ්චඤ්ඤායතන

4. නේවසඤ්ඤා නාසඤ්ඤායතන

යන අරූපාවචර සිත් හතර ය.

කුසල සිත් 4, විපාක සිත් 4 ක්‍රියා සිත් 4 වශයෙන් දොළොස් වැදෑරුම් වේ.

6) 1. සමථ 2. විදර්ශනා යනු භාවනා ප්‍රභේද 2ක් වේ. එය චිත්ත භාවනා හා පඤ්ඤා භාවනා යනුවෙන් ද හැඳින්වේ.

ආ) සමථ භාවනාවේ ප්‍රභේද 40කි. කසිණ, 10යි, අසුභ 10යි, අනුස්සති 10යි, අප්පමඤ්ඤා 04යි, ආහාර පටික්කුල සඤ්ඤායි, චතුවත්ථාන 01යි, ආරූප්ප 04 යැයි එම ප්‍රභේද 40වේ. විදර්ශනා භාවාන සප්ත විසුද්ධි, ත්‍රිලක්ෂණ ත්‍රිවිධ අනුපස්සනා දස විධ විදර්ශනා, ත්‍රිවිධ විමෝක්ෂමුඛ යනුවෙන් ප්‍රභේද වේ.

ඉ) ආනාපාන සතිය කර්මස්ථානයක් වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක සිත එකඟ කිරීම සඳහා යෝග්‍ය අරමුණක් කර ගන්නා හෙයිනි. දස කෂිණ, දස අශූභ, දස අනුස්සති, චතු බ්‍රහ්ම විහාර, චතු ආරුප්ප, ආහාර පටික්කුල, සඤ්ඤාව, චතුධාතු වවත්ථාන යනුවෙන් කර්මස්ථාන 40 යෙදේ.

ඊ) රාග, ද්වේෂ, මෝහ කෙලෙස්වලින් යුක්ත පුද්ගලයන්ට මානසික සැනසුමක් කිසිවිටෙක නැත. ඊට හේතුව කාමච්ඡන්දාදී නීවරණ මඟින් සිතීමේ ශක්තිය ආවරණය වීමෙනි. එම ධර්මයන්ගෙන් මිදෙන තරමට සැනසුම හා සහනය ලබා ගත හැකි වේ. එය සිදු කළ හැක්කේ භාවනාව තුළිනි. සිත එකඟ කර ගෙන ගෘහ ජීවිතය ඵලදායි තත්ත්වයන් මේ තුළින් ඉතා උසස් ලෙස ලබා ගත හැකි ය. එය තමන්ටත්, තමන්ගේ පවුල් පර්ෂදයටත්, බාහිර ලෝකයාටත්, ආදර්ශයක් ගෙන දෙන්නක් නිසා භාවනාව එදිනෙදා ජීවිතය සිහියෙන් යුතු ව පවත්වා ගෙන යාමේ අගනා ධර්ම මාර්ගයකි.

III කොටස

7) අ) 1. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොකෙරේ නම් හෙතෙම යම් යම් ජනපද නියම් ගම් රාජධානි ආදිය කරා ගියේ නමුදු ඒ සියලු තැන්හි පුදන ලද්දේ වෙයි.

2. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොකෙරේ නම් හේ කෝපයෙන් තොරව සිය ගෙට එයි. සභායෙහි දී සතුටු වූයේ වෙයි. නෑයන්ගේ උතුම් නෑයා වෙයි.

3. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහී නොකෙර් නම් අනුන්හට සත්කාර කොට සත්කාර ලබන්නෙක් වෙයි. ගෞරව සහිත වූයේ (අනුන් ගරු කරන්නේ ගෞරව ලබන්නෙක් වෙයි. වර්ණනය හා කීර්ති දරා සිටින්නෙක් වෙයි.

4. යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොකෙරේ නම් හේ අනුන් පුදන්නේ තමාත් පුදනු ලබයි. යසසට ද, කීර්තියට ද පැමිණෙයි.

5.යමෙක් මිත්‍රයන්ට ද්‍රෝහි නොකෙරේ නම් හේ ගිනි මෙන් දිලිසෙයි. දෙවියකු මෙන් බබළයි. සැපතින් නො පිරිහුණේ වෙයි.

8) මෙසේ මා විසින් අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනයෙහි අනේපිඬු සිටුවරයාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි'යි භික්ෂුන් ඇමතු සේක. ඒ භික්ෂූහු ස්වාමීනි යි භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

භාග්‍යවතුන් වහ්නසේ මෙසේ වදාළ සේක. මහණෙනි, නිතර ඇසුරු කරන ලද, වඩනා ලද, බහුල කරන ලද, යානාවක් මෙන් කරන ලද, පුරුදු කරන ලද, මනා කොට ආරම්භ කරන ලද, මෛත්‍රි පූර්වාංගම කොට ඇති, (නීවරණයන්ගෙන්) මිදුණු සිත නිසා අනුසස් එකොළසක් කැමැති විය යුත්තේ ය. ඒ කවරක් ද යත් සුව සේ නිදයි. සුව සේ පිබිදෙයි. නරක සිහින නොදකී. මිනිසුන්ට පි‍්‍රය වෙයි. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි. දෙවියෝ ඔහු රකී, ගිනි, විෂ හෝ ආයුධ ඔහුගේ සිරුරට නොවදී. මානාව සිත එකඟ වෙයි. මුහුණේ වර්ණය පැහැපත් වෙයි. සිහි මුළා ව කලුරිය නො කරයි. මත්තෙහි ධර්මාවබෝධයක් නොවන්නේ නම් (රහත් බවට නොපැමිණේ නම්) බඹලොව උපදී.

වෙසක් පුර අටවක

මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]