වෙසක් පුර අටවක පෝ දා
2024-05-15
ධර්මයෙහි අප්‍රමාද වන්න
අපමණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ඉපදෙමින්, මිය යමින් ගමන් කරන, කෙළවරක් නොදකින
දුක්ඛිත සසර මඟ නවතා උතුම් නිවනින් සැනසීම උදාකර ගැනීම බෞද්ධයාගේ ඒකායන අරමුණ විය
යුතු ය. ඒ උතුම් භාග්‍යය පහසුවෙන් ලද නොහැකි ය. ඒ වෙනුවෙන් අප්‍රමාදී වීම
අත්‍යවශ්‍ය ය. අප්‍රමාදී විය යුතු ධර්මයෙහි හැසිරීමට ය.
ලෝභ, ද්වේශ, මෝහාදී කෙලෙස්මලින් නිරන්තරයෙන් අපිරිසුදු වන සිත පිරිසුදු කිරීමට පමා
නොවිය යුතු ය. ඒ සඳහා වන මඟ හෙළි පෙහෙළි කර ගන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගත
යුතු වන්නේ ද තමන් විසින් ම ය. අන් කිසිවකුට එය තමන් වෙනුවෙන් කළ නොහැකි ය. කළ
හැකි, මාර්ගය පෙන්වා දීම පමණ ය.
එහෙත් බොහෝ දෙනකුට සිදුව ඇත්තේ පහන් දැල්ලෙහි ඇලී, ඒ වෙත ම ඇදී, දැවී මිය යන
පළඟැටියන් සේ තම සන්තානයෙහි ගිනි ගෙන දැවෙන රාග, ද්වේෂ, මෝහා දී කෙලෙස් ගින්නෙහි
ඇලී, ඒ වෙත ම ඇදී, දැවී මිය යන්නට ය. සසර පුරා එසේ ඇලෙමින්, දැවෙමින් යන ගමනෙහි
දුක්ඛිත බව බොහෝ දෙනකුට වටහා ගැන්ම අසීරු බව පෙනෙන්නේ දැවෙන බව දැන දැනත් ඒ ගින්නට
ම ඇදෙන මිනිසුන්ගේ ප්‍රමාණය අප්‍රමාණ වන බව ඇසෙන දකින හෙයිනි.
සත්ත්වයා කෙලෙස් පසු පස දුවන්නේ සැනසීම පතමිනි. සතුට තෘප්තිය අපේක්ෂාවෙනි. එහෙත්
අළුයට සැඟවුණු ගිනි පුපුරු සේ යම් මොහොතක එම කෙලෙස් ගිනිදැල් වර්ධනය වී තමන් දැවී
හළු කරන්නට සමත් බව වටහා ගත යුතු ය. ජීවිතය ඒ සා කටුක ය. එහෙත් ඒ ජීවිතයට සතුට
සැනසීම උදාකර ගත හැකි අපූර්ව මඟක් තිබේ. ඒ අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී
සද්ධර්ම මාර්ගයයි. නිර්වාණගාමී මඟ ටිකෙන් ටික පහසු කරවන, අපේ ජීවිතයට පහසුවෙන්
පුරුදු පුහුණු කළ හැකි ධර්මෝපදේශ විවිධ සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත ය.
ලෝක වාසී බොදුනුවන් වසරක් පාසා සැදැහැ සිතින්, ආදරයෙන්, ගෞරවයෙන් සමරන,
සම්බුදුපියාණන් වහන්සේගේ උදම් තෙමඟුල සිහිපත් කෙරෙන අසිරිමත් වෙසක් පෝ දිනය මෙවර
උදාවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ආමිෂ පූජාවෙන් සේ ම ප්‍රතිපත්ති පූජාවෙන් ද
තම ශාස්තෘන් වහන්සේට පූජෝපහාර දැක්වීම සැබෑ බෞද්ධයාගේ පිළිවෙතයි. විශේෂයෙන් ජීවිතයේ
යහපත් පැවැත්ම උදෙසා ප්‍රතිපත්තිගරුක වීම අත්‍යවශ්‍යය. පෙර සඳහන් කළ ලෙස නිවන් මඟ
පහසු වන්නේ ප්‍රතිපත්ති ගරුක පුද්ගලයාගේ ම ය. මෙලොව පරලොව දියුණුව සසඳන්නේ ද, දුගති
මඟ වළකා සුගති සැප සදන්නේ ද ඒ ධාර්මික ඇවතුම් පැවැතුම් ය.
බෞද්ධයාගේ ජීවිතයට ඉතා වටිනා එවැනි මාර්ගෝපදේශ ඇතුළත් සූත්‍රයකි මහා මංගල සූත්‍රය.
මංගල කරුණු තිස් අටක් සංගෘහිත එම සූත්‍රය බොහෝ බෞද්ධයින් උදේ සවස සජ්ඣායනය කළ ද එහි
අර්ථය ජීවිතයට ගළපා ගැනීම මන්දගාමී ය. එහෙයින් මේ වෙසක් සමයේ ඒ ගැන යම් අධිෂ්ඨානයකට
පැමිණ ධර්මෝපදේශ පිළිපදින්නට අප්‍රමාදී වන්නේ නම් එය තමන් තමන්ට ම මිතුරු වීමකි.
කල්‍යාණ මිත්‍රයා තම මිතුරා සියලු කරදරවලින් රැක ගන්නා සේ මේ දහම් කරුණු ජීවිතයට
පුරුදු කිරීමෙන් ලැබෙන රැකවරණය. මේ ජීවිතයට පමණක් නොව පරලොවට ද අසීමිත ය.
එම මංගල කරුණු අතර බාලයන් ඇසුරු නොකිරීම හා පණ්ඩිතයන් ඇසුරු කිරීම යන කාරණා ද්වය ම
ජීවිතයට මොනතරම් රැකවරණයක් ද යන වග තමන් ජීවිතයේ ලද අත්දැකීම් හා සමාජයේ යම් යම්
පිරිස් ලද අත්දැකීම් විමසා බැලීමෙන් ම තමන්ට පාඩමක් කර ගත හැකි ය.
බාලයා යනු අඥානයා ය. හේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට පටහැනි දස අකුසලයෙහි නිරත වන්නෙකි.
සිත, කය, වචනය මෙහෙයවා නිතර ම අකුසල් හි නිරත ව පාපකාරී, අපිරිසුදු ජීවිතයක්
ගෙවන්නෙකි. යම් හෙයකින් එවැන්නෙක් හා ඇසුරට යොමු වූයේ නම් තමන්ට ද වන්නේ අපිරිසුදු
ජීවිතයකට වැටී මෙලොවත් වනසා ගෙන පරලොව ද වැනසෙන්නට ය. පණ්ඩිතයා දස කුසලයෙහි
අප්‍රමාදී ය. පින් ඇතියෙකි. ඔහු අනුගමනය කරන්නා ද පිනැතියෙකි. දෙලොව දිනන්නෙකි.
ආලෝකය පෙනි පෙනී අන්ධකාරයේ නොවැටෙන්නට අපි සමත් විය යුතු වෙමු. ඒ සඳහා සම්බුද්ධ
දේශිතයට විමර්ශනශීලී ව අවධානය යොමු කරමු. |