කෙලෙස්මලින් ආතුර වූ සිතට...

කෙලෙස්මලින් ආතුර වූ සිතට...

“මම” නම් වන පිළිකාව උදුරා නොදමන තුරු සසර මෙවැනි තත්ත්වයන්ට කොපමණ මුහුණ දීමට සිදු වේ ද? ඔබ එයට සූදානම් ද? අමතක නොකළ යුතුයි සතර අපා දුක්වලට ඊටත් වඩා මුහුණපාන්නට වන වග

“සුසුඛං වත ජීවාම - ආතුරෙසු අනාතුරා ...”

“කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් අතුරෙහි අපි කෙලෙස් ලෙඩ නැති ව සුව සේ වෙසෙමු.”

පින්වතුනි, අද මම ඔබගේ ධර්ම ඥානය දියුණු කිරීමට උපකාර පිණිස විග්‍රහ කිරීමට සූදානම් වන්නේ ගාථා රත්නයක්. මෙය අන්තර්ගත වෙලා තියෙන්නේ “ධම්මපදය” නම් ග්‍රන්ථයෙහි ය. ඔබ දන්නව ද ධම්මපදය නම් පුස්තකයට කියන තවත් නමක්. “හස්ථසාර ග්‍රන්ථය” හස්ථසාර කියන කොට අපට නම් මතක් වන්නේ මිල මුදල් ධන ධාන්‍ය නේද? අපි හිතන්නෙ අපේ ජීවිතවල එකම සාර්ථකත්වය ධන ධාන්‍ය කියලනෙ ඒවා අපේ සියලු ප්‍රශ්න විසඳනව කියලා හිතන්නෙ.

හැබැයි ඒ අතර ජීවිත අත්දැකීම්, අත්විඳීම් තුළින් නුවණ මෙහෙයවන්නේ නම්, එහෙම අනුවණ පටු දැක්මක නතර වෙන්නෙ නෑ. ඒ කියන්නෙ ජීවිතයේ සියලු සාර්ථකත්වය මුදල් මත සාර්ථක කර ගත හැකි යන අනුවණ දැක්ම.

එම නිසා තුන් ලොවක් මහා කරුණා දයා මෛත්‍රී ගුණයෙන් සනසා වදාළබුදුහිමිගේ දහම ජීවිතවලට එකතු කර ගැනීමට වෙර වීරිය දරනවා. ඒ සඳහා මහෝපකාර වන ගාථා රාශියක් මෙම ධම්මපදය නම් ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. ඉන් සුඛ වග්ගයේ දෙවැනි ගාථා රත්නයයි මම අද ඔබට ඉදිරිපත් කරන්නේ.

මෙහි සිංහල තේරුම විමසමු. ‘පින්වතුනි කෙලෙස්වලින් ආතුර වූ මිනිසුන් අතුරෙහි අපි කෙලෙස් ලෙඩ නොමැති ව සුව සේ වෙසෙමු.’

මෙය විමසීමේ දී අපට ගම්‍ය කර ගත හැකි කාරණා 03කි. පුද්ගලයා කෙලෙස්වලින් යුක්ත වග, කෙලෙස් හඳුනාගත යුතු වග හා එම කෙලෙස් ඉවත් කොට සුව සේ සැහැල්ලුවන් විසිය හැකි බවයි. එනම්, සැනසීම උදාකර ගත හැකි බවයි.

අප සිත් අවිද්‍යා, තෘෂ්ණා දෙකින් වැඩී ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. ඒ සමඟ ම ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් තුළින් නිරතුරුව ම පුද්ගලයා ක්‍රියාකරවයි.

එපමණක් නොව තථාගතයන් වහන්සේ මෙහිදී අවධාරණය කරන්නේ එම කෙලෙස් නිසා පුද්ගලයා රෝගාතුර වන වගයි. ඇතැමකුට සිතිය හැකියි කෙලෙස් නිසා රෝගාතුර වන්නේ කෙසේද කියා. එයට හේතුව නම් අපට අසනීපයක් කී විගස මතක් වන්නේ කයට වැළඳෙන කායික රෝග වන අතර, මනස මොන තරම් අසනීප වුණත් අපට ඒවා වැටහෙන්නේ නෑ. තවද කායික සියලු රෝගවලට මානසිකත්වය ම බලපාන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට ඇත. කෙසේ වෙතත් අප මෙහිදී අවධාරණය කරනුයේ මානසික රෝග පිළිබඳවයි.

එහිදී ඉහත කී “ලෝභ, ද්වේෂ, මෝහ’ මෙම මානසික රෝග උපද්දවන මනෝභාවයන් ලෙස පෙන්වා දේ. එම අකුසලයන් ක්‍රියාත්මක වන්නේ කුමන ක්‍රියාකාරකම් තුළ ද? පුද්ගලයා උපතේ සිට වර්ධනය වීමත් සමඟ ඇස උපකාරයෙන් රූප, කන උපාකරයෙන් ශබ්ද, නාසය උපකාරයෙන් ගඳ සුවඳ, දිව උපකාරයෙන් රස, ශරීරය උපකාරයෙන් ස්පර්ශය ග්‍රහණය කර ගනී. ඒ සමඟ ම තමා පි‍්‍රය, කැමැති දේවලට ඇලීමත්, අපි‍්‍රය අකැමැති, තරහ වෛරාදී දේ සමඟ ගැටීමත් සිදු කරයි. ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර, අඩු වැඩි තත්ත්වය ද වේ. උදාහරණ ලෙස එක් පුද්ගලයකු විසින් දැකීමට, ඇසීමට, විඳීමට කැමති දේ තව කෙනකුගේ ඇලීමට හේතු නොවේ.

කෙසේ වෙතත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමන් වෙත එල්බ ගැනීම පහසු දෙයක් නොවේ. තම තමාගේ අවශ්‍යතා සපුරා ගැනීම ද පහසු නොවේ. ඇතැමුන් තම තමාගේ ආර්ථික හා නිලයට, බලයට දරා ගැනීමට නොහැකි තරම් දේ තමා සතු කර ගැනීමට වෙර දරයි. ඒ තුළ අසීමිත කායික මානසික අපහසුතාවලට පත්වෙයි. උදාහරණ ලෙස ආශාව, කැමැත්ත, පි‍්‍රයතාවය, ආදරය, රාගය, පේ‍්‍රමය, තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාව, මානය, කුහකකම, පළිගැනීම වැනි මනෝභාවයන් බුදුරදහු පෙන්වා දී ඇත.

ඒවා කෙසේ හෝ තමන් සතු කර ගැනීමට වෙර දරයි. එහිදී මානසික ව ඉතා පීඩාවට වෙහෙසට පත්වීමට සිදු වේ. ඇතැම් විට එම මානසික අපහසුතා සති ගණන්, මාස ගණන් පමණක් නොව අවුරුදු ගණන් සිත පීඩා කරමින්, රෝගී කරමින් පවතී.

උදාහරණ ලෙස තම ආර්ථිකත්වයට නොගැළපෙන නිවසක් තනා ගැනීමට උත්සුක වේ. ණය වී ඒවා පියවා ගැනීමට නොහැකි වීම, දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ දී පාසල් සෙවීම, ගුරුවරු සෙවීම වැනි කරුණු කාරණා දැක්විය හැකි ය.

මෙසේ තමන්ට දරාගැනීමට නොහැකි බොහෝ උදාහරණ ඔබ ජීවිතය තුළ නැති දැයි විමසා බලන්න. මෙවැනි බාහිර දේ කොපමණ රැස් කළ ද ඒවා මේ ජීවිතයට පමණි. නමුත් එම ක්‍රියාකාරකම් නිසා මනස තුළ වර්ධනය කෙරෙන කෙලෙස් ශක්තිය සසර පුරාවට ම මානසික රෝගියෙක් කරමින් ක්‍රියා කරවීමට පුළුවන.

උදාහරණ ලෙස බූරුවකුගේ මුව ඉදිරියේ සිටින සේ කෙසෙල් ඇවරියක් එල්ලා පිටේ බඩු පටවා දුවන්නට සලස්වයි. බූරුවා කෙසෙල් ඇවරිය මුවෙන් ගැනීමට වෑයම් කරමින් ඉදිරියට දුවයි. බඩු බර අමතක වෙයි. නමුත් ඒ වෙහෙස මහන්සිය ඔහුට නොවේ ද? ගමනාන්තයෙන් පසු හෝ ඒ වේදනාව දැරිය යුතු වේ.”

ඒ අයුරින් අනවබෝධයෙන් සහ අන්ධ භාවයෙන් රූප ශබ්දාදීන්ට ගිජුවීම තුළ කෙලෙස් වර්ධනය වේ. එම අකුසල ශක්තීන් නැවත නැවත කෙලෙස්වලට ම ඇද දමයි. එම ස්වභාවයත් පුද්ගලයා තුළ මානසික දුක් කරදර, කනස්සල්ල, තැවීම්, දැවීම්, පෙළීම්, ශෝක, සන්තාප ආදී මනෝභාවයන් උපද්දවයි. තව තවත් මානසික රෝගියෙක් බවට පමුණුවයි. නමුත් ඒ බව තේරුම් නොගනී. මේ තත්ත්වය බුදුරජාණන් වහන්සේ කෙලෙස්මලින් රෝගී වීම ලෙස පෙන්වා දුන් සේක.

අනෙක් වැදගත් කරුණක් ද වේ. එනම් අපට වැලඳෙන කායික රෝග අතර පිළිකාව, හෘද රෝග, අංශභාග වැනි රෝග ඉතා භයානක වේ. එම රෝගයක් වැලඳුණු විට තමාට එය සුව කර ගැනීමට ඉන් මිදීමට තදබල වුවමනාවක් වෙයි. මුදල් නොමැති නම් ගෙයක් ගෙයක් පාසා, ගමක් ගමක් පාසා ඇවිදිමින් මුදල් සොයා රෝගයට ප්‍රතිකාර කර ගනියි.

නමුත් පින්වතුනි, එම රෝගයෙන් ජීවිතය නැති වුණොත් ? මේ සසර කෝටි සංඛ්‍යාත ජීවිත තුළ එකක් පමණකි. නමුත් ඉහත කී මනෝභාවයන් නිසා ඒවා උපාදාන කොට ඒ හේතුවෙන් නැවත නැවත ඉපදීම්, මියයාම්, කෝටි සංඛ්‍යාවක් සිදු වූ වග මොහොතකට හෝ ඔබට මතක් වුණා ද?

“මම” නම් වූ පිළිකාව නිසා මේ වන විට ජීවිත කීයක් ඉපදුණේ ද? මිය ගියා ද? අවම වශයෙන් මේ බුදුබණ ඇහෙන කාලයේවත් මේ ගැන අවධානය යොමු කිරීමක් තියේ ද? කායික පිළිකාව සුව කර ගැනීමට වෙර දරන්නේ කුමක් කිරීමට ද? ගේදොර ඉඩකඩම් ඉපයීම, දරුවන් සෑදීම වැනි ධනය, නිලය, බලය, කුලය, තනතුරු, ශරීරය සැකසීම් කිරීමට ද? මේ වන විටත් සසර තුළ මෙම කටයුතුවල කොපමණ නියැළුණේ ද? ඒවා තුළින් ඔබ ලබා ඇති ඵලය කුමක්ද?

අධ්‍යාපනය ලැබීම්, රැකියා කිරීම්, මුදල් ඉපයීම්, තනතුරු, සමාජ තලය, තත්ත්වය කොපමණ රැස් කළා ද? ඒවා දැන් තිබෙනවා ද? එහෙම නැතිනම් ඉපයූ විශාල ලාභය, ප්‍රයෝජනය කොතැන ද? මෙවැනි තත්ත්වයන් “මම මගේ, යන මුළාව තුළ රැස් කිරීමට කොපමණ දහඩිය හෙළා තිබේ ද? කොපමණ සුසුම් හෙළා තිබේ ද? මේ සසර තුළ මිනිස් ජීවිත ලැබූ වාරවල නිවාස කීයක් තනා තිබේ ද? රැකියා ස්ථානවල, නිවස තුළ, සමාජය තුළ, කොපමණ අපහසුතාවලට පත්වී තිබේ ද? මෙවැනි උදාහරණ එකින් එක එකින් එක සිතා බලන්න.

ඊළඟ පැනය එය නොවේ. “මම” නම් වන පිළිකාව උදුරා නොදමන තුරු තව සසර මෙවැනි තත්ත්වයන්ට කොපමණ මුහුණ දීමට සිදු වේ ද? ඔබ එයට සූදානම් ද? අමතක නොකළ යුතුයි සතර අපා දුක්වලට ඊටත් වඩා මුහුණපාන්නට වන වග. ඔබ හිතන්නේ සතර අපායේ මින් පෙර ඉපිද දුක් නොවින්දා කියා ද? ඉදිරියට නොවේ කියා ද?

පින්වතුනි, මෙම යථාර්ථය ගැන නුවණින් විමසන්න. මේ යථාර්ථය විමසීමට සසර පුරාවට අපට අවස්ථාව නොලැබේ. හේතුව බුදු කෙනකු මුණගැහෙන්නේ කල්ප ගණනාවකින් නිසා ය.

තවදුරටත් ඉහත කී දුක්වලට මුහුණ දෙනවා ද? නැති නම් ඉන් මිදී

මෙම ගාථාවේ කියැවෙන පරිදි කිසිදිනෙක කිසිවකින් ආපදාවක්, පීඩාවක්, රෝගයක්, කායික මානසික වද වේදනාවක් නැති සදා නීරෝගී වනවා ද?

තීරණය සහ ක්‍රියාත්මක වීම ඔබ සතුයි.

වෙසක් පුර අටවක

මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]