දුගති උපතක්
නො ලබන මඟට පිවිසෙමු
බොහෝ බෞද්ධයනට මේ කුසල ධර්මයන් දියුණු කිරීමේ කැමැත්ත විවිධ ප්‍රමාණයන්ගෙන් පැවතුණද
ඒ සඳහා එම කුසල ධර්ම ඔසවා ගැනීමට සුතමය ඥානය දියුණු කර ගැනීම සඳහා ඇති පෞද්ගලික
උපකාර දුර්ලභ ය. ධර්ම ශ්‍රවණය වගේ ම ධර්ම සාකච්ඡාවලට එක්වීම මේ සඳහා බොහෝ ප්‍රයෝජන
අත්වන්නකි
මිනිස් ජීවිතයක් ලැබීම “කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නා සේ “ ඉතා දුර්ලභ
සිදුවීමකි. ඒ සඳහා පෙර සුගති ජීවිත කාලවල දී කළ අප්‍රමාණ පුණ්‍යමය ශක්ති ය, සීලමය
ශක්තිය, අවශ්‍යය. එලෙස ලබා ගත් මිනිස් ජීවිතයකට, සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ
ධර්මය හමුවීම ඊටත් වඩා දුර්ලභ ය.
එලෙස ධර්මයක් හමු නොවීම, පෙන්වා දෙන්නේ අෂ්ට මහා දුෂ්ටක්‍ෂණ ලෙසිනි. එවැනි
දුෂ්ටක්‍ෂණවලින් මිදී මේ මොහොත වන විට විශේෂයෙන් බෞද්ධ අප, අතිශය සුන්දරවූ ශ්‍රී
සද්ධර්මයේ ස්පර්ශය ලබන්නට පුණ්‍යවන්ත ය.
එලෙස භාග්‍යවන්ත වූ අපි දිනපතා මල් පහන් පූජා කිරීමේ සිට කඨින චීවර, අෂ්ටපරිෂ්කාර,
ආවාස පූජාකිරීම් ආදි අට මහා කුසල් දක්වා අප්‍රමාණ ආමිෂ පූජා පැවැත්වීම සඳහා
ශ්‍රද්ධාවෙන් උනන්දු වෙමු. එබඳු පුණ්‍ය කර්මයන් නිසා ඒ මොහොතේ සිතට දැනෙන සැනසීම
නිවන ලෙස දැනේ. නැතහොත් ඒවා නිවන ළඟා කර දීමට හේතුවක් වන බව විශ්වාසයේ ඇත.
කෙසේ වුව ද අප සසරේ කරන සියලු පුණ්‍යකර්ම නිවන් ලැබීම සඳහා උපකාරයක් වුවත්, සසරට
හිමි වන සසරේ සුගති උපත් ලබා දෙන කර්මයන් වුවත්, මාර්ග ප්‍රතිපදාව දියුණු කරන තාක්
කල්, සසරේ තිස් එක් තලය පුරාම සැරිසරන්නට හේතුවන කරුණු ය.
නිවන සාක්ෂාත් කිරීම සඳහා පින් සහ කුසල් යන කර්ම දෙක අවශ්‍ය වේ. එසේ නම් පින්,
කුසල් දියුණු කිරීම සඳහා සිතේ ශක්තිය හා වීර්යය අවශ්‍ය වේ. ඒ සඳහා බොහෝ දෙනකු ගේ
සිත දුර්වල ය.
ඒ නිසා බුදුරජාණන් වහන්සේ, යමකු සංග්‍රාම භූමියක දී මිනිසුන් දස ලක්ෂයක් දිනා
ගනිමින් ලබන ජයග්‍රහණයට වඩා තමන්ගේ සිත ජය ගැනීම උතුම් බව දේශනා කොට වදාළේ. පින්
කිරීමට නැමෙන, වෙහෙසෙන ඇතැම් සිත් කුසල කිරීමට පසුගාමී ය, ප්‍රමාද ය. එසේ නම්
අප්‍රමාද ව විසීමට සිත කුසලයට ශක්තිමත් කළ යුතු ය. ඒ සඳහා කිසිවකු දස අකුසලයෙන් සිත
මුදවා ගැනීමට වෙහෙසේ නම්, එය මහා කුසලයකට, නිවන් මාර්ගයට බැස ගැනීමකි.
ධර්ම ශ්‍රවණය කරන බෞද්ධයන් බොහෝ සේ වුවත් මෙලෙස දස අකුසලයෙන් සිත මුදවා ගැනීමට ඇති
වීර්යයෙන් හීන ය.
එසේම සෝවාන් මාර්ග අංගයන් ලෙස පෙන්වන, නිර්වාණගාමී ධර්ම මාර්ගය, එනම් පටිච්ච
සමුප්පාදය, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය, ආදි
ධර්ම දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ කාරුණික ඇසුර ලබා ගන්නේ අතළොස්සක් වන්නේ
මේ වීර්යය බොහෝ දෙනකුට නොමැතිකම නිසාවෙන් ය. එවැනි වූ ශ්‍රී සද්ධර්මය අප වෙත දේශනා
කරන ආර්ය ශ්‍රාවකයන් වහන්සේ, එම ධර්මය, මහත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන අතළොස්සක් වූ
බෞද්ධ පිරිස මුළු මහත් බෞද්ධ ලෝකයට ම අති මහත් සම්පතකි, ආදර්ශයකි.
සද්ධර්ම ශ්‍රවණය සඳහා ඇති කැමැත්ත හෝ ඕනෑකම ද කුසලයකි. යෝනිසෝ මනසිකාරය හා
ධම්මානුධම්ම පටිපදාවේ යෙදවීමට ඇති කැමැත්ත හා හැකියාව ද කුසලයකි. සතර සතිපට්ඨානය,
සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධන් වීර්යය, ත්‍රිවිධ සුචරිතය ආදි කුසලයන්ගේ නියුක්ත
වන්නාට සෝවාන් ආදී අධිගමයන් ගේ ලාභය හිමි වේ.
බොහෝ බෞද්ධයනට මේ කුසල ධර්මයන් දියුණු කිරීමේ කැමැත්ත විවිධ ප්‍රමාණයන්ගෙන් පැවතුණ
ද ඒ සඳහා එම කුසල ධර්ම ඔසවා ගැනීමට සුතමය ඥානය දියුණු කර ගැනීම සඳහා ඇති පෞද්ගලික
උපකාර දුර්ලභ ය. ධර්ම ශ්‍රවණය වගේ ම ධර්ම සාකච්ඡාවලට එක්වීම මේ සඳහා බොහෝ ප්‍රයෝජන
අත්වන්නකි. එහෙත් එය බොහෝ දෙනෙකුට නුහුරු දෙයකි. ඒ සඳහා විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන
ධර්මශාලා භාවිතයට ගනිමින් සතියකට පැය දෙක තුනක් හෝ වරුවක් ආදි වශයෙන් බොහෝ දෙනෙකුට
පහසු හා එකඟ විය හැකි නිශ්චිත කාල රාමුවක් යටතේ සංවිධානය කර ගත හැකි ය.
විහාරස්ථාන දුර බැහැර වීම් ආදි දුෂ්කර අවස්ථාවල දී ඒ සඳහා සුදුසු විවේක ස්ථාන,
සුදුසු කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබෙන පරිදි සංවිධානය කර ගැනීම කාලෝචිත වේ. පොහෝ දිනවල
සිල් සමාදන් වන හෝ නොවන හෝ අයට පවා එයින් මහඟු ඵල නෙළා ගත හැකි ය.
විශේෂයෙන් ධර්මශාලා හෝ බෞද්ධ සමිති ශාලා හෝ විවේක ස්ථාන ආශි‍්‍රත ව හෝ එම කුසල ධර්ම
දියුණු කිරීමෙහිලා අවකාශය භාවිතයට ගැනීම ප්‍රඥාගෝචර වන්නකි.
සෑම විහාර මන්දිරයක් ම බෞද්ධ සාහිත්‍යය හෝ සිදුවීම්වලට අනුව චිත්‍රණය කර තිබීමෙන්
බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව දියුණු වන්නාක් මෙන් ම ලබන දැනුම හා ආකල්ප අතිශයින්
ප්‍රයෝජනවත් වන්නකි. ඒ අර්ථයේ තවත් ඉදිරි පියවරක් ලෙස සුදු බිත්ති ලෙස හිස්ව පවතින
අවකාශය. සුදුස ලෙස භාවිතය තුළින් දහම් පාසල් දරුවන්ට මෙන් ම වෘද්ධ අවස්ථාව දක්වා
සෑම බෞද්ධයකුට ම එකී කුසලතා නැංවීමට යොදාගත හැකි ය.
ගැඹුරින් ම සලකා බලන කල මිනිස් භවයකින් පසු සසර දුගතියට සේන්දු වන බෞද්ධයන් ද ඉතා
විශාල ය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මිනිස්සු මහගෙදර යන පරිද්දෙන් සතර
දුගතියට යන බව මිසක් දෙව්ලොව යන ගමනක් ගැන නොවේ. එය ඉතා ආයාසයෙන් කර ගත යුත්තකි. ඒ
නිසා බෞද්ධ වැඩි පිරිසකට සසර දුගතියට “තිත” තියා සේවාන් ඵලය සාක්ෂාත් කිරීමට කළ
යුතු සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමෙන් විසි ආකාර මිථ්‍යා දෘෂ්ටියෙන් මිදීමට අවශ්‍ය
ධර්ම කරුණු මෙම අවකාශය තුළ ප්‍රදර්ශනය කිරීමෙන් එම ධර්මයන් වසරේ බොහෝ දින ගණනක දී
මනසට ස්පර්ශ වීමේ ඉඩකඩ ඇතිවේ.
සසර පවත්වා ගැනීමට දෘෂ්ඨිගත ව සිටින සත්ව පුද්ගල සංඥාව වෙනුවට අනාත්ම සංඥාව දියුණුූ
කළ හැකි ඇස, කන, නාසය, දිව, කය හා මන යන ආයතනවල ක්‍රියාකාරිත්වයේ යථාර්ථය ද පටිච්ච
සමුප්පාද දුක අරමුණූ ගැනීම තුළ සිදුවෙන ආකාරය පෙන්වාදිය හැකි ය.
චිත්ත වීථිවලට අනුව සිතේ සිදුවන ක්‍රියාත්මක ස්වභාවය නිසා ලෝකය සකස් වන හා කර්ම
රැස්වන ආකාරයත්, සසර ගමන යෙදෙන ආකාරයත් පැහැදිලි කළ හැකි ය. ස්කන්ධ, ධාතු ආයතනවල
ක්‍රියාකාරීත්වයේ මූලික ස්වරූපයන් ප්‍රදර්ශනය කළ හැකි ය. පංච උපාදානස්ඛන්ධය පිළිබඳ
ව අවබෝධය දියුණු කිරීමට හැකියාව ලැබේ. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම, ආර්ය අෂ්ඨාංගික
මාර්ගයට අදාළ ව එක් එක් මාර්ගාංගය සම්පූර්ණ කෙරෙන ධර්මතා පිළිබඳ ව මෙන්ම කුසල්
සිත්, අකුසල් සිත්, චෛතසික සිත් ආදි බොහෝ ධර්ම කරුණු මෙකී අවකාශයන් තුළ ප්‍රදර්ශනය
කළ හැකි ය.
පී.බී. වල්පොලගෙදර |